ඒකපාර්ශ්වික 08

ලොකු අක්කාගේ ඇමතුමට මේඝා පිළිතුරු දීම ධනුක විසින් වැලැක්වුයේ එය කොහොමටවත් සැනසිලිදායක එකක් නොවන බව දන්නා නිසාය. සිතූ පරිදිම ලොකු අක්කා කතා කලේ මුදල් උවමනාවකටය. මේඝා අසනීපෙන් සිටින බවත් , ඇය සතුව මුදල් නොමැති බවත් නිකිනි පවසද්දී ලොකු අක්කා කීවේ ණයක් වී හෝ මුදල් සොයා දෙන්නැයි මේඝාට පවසන ලෙසය.

තම සහෝදරිය අසනීපෙන් වග දැනගන්නට ලැබුණු විට වද වෙන අක්කා කෙනෙකු වෙනුවට තමන්ගේ උවමනාව ගැන පමණක් සිතන ආත්මාර්ථකාමී අක්කා කෙනෙකු මේඝා වැන්නියකට කොහොම ලැබුනාදැයි නිකිනි කල්පනා කලාය. ඇය වහාම ලොකු අක්කාගේ අංකය බ්ලොක් කර දැම්මේ නොසන්සිඳුනු කෝපයෙනි.

” දැන් ආයි ගනින්කෝ බලන්න සල්ලි ඉල්ලන්න” 

නිකිනි සිතුවාය.

මේඝා නැවත රැකියාවට පැමිණියේ දින දෙකකට පසුවය. ඒ දින දෙක තුළ නිම්නාදගෙන් ඇමතුමක් හෝ නොවූ අතර මේඝා පසුපසින්ම සිටින්නට නිකිනි අමතක කලේ නැත. 

කාර්යාලයට පැමිණි මේඝාගෙන් කිසිවක් නොඅසා ඉන්නට කාර්යාලයේ සගයන් වග බලා ගත්තද ඔවුන් මේ වන විටත් සියලු දේ දැනගෙන ඇතැයි සිතමින් මේඝා උන්නේ දෙගිඩියාවෙනි. නිම්නාද මෙහි රැකියාවට එන්නට පෙර තමා සිටියේ සෘජුවය. ස්වාධීනවය. වැඩක් අවසන් කල පසු තවකෙකුට එහි පරීක්ෂා කරන්නට දෙයක් කිසි දිනක තිබුණේ නැත. එහෙත් සියල්ල කණපිට පෙරළී ඇත. කලබලයෙන් වැඩ අවසන් කර ඉතිරි වේලාවේම කල්පනාවේ සිටින මේඝාට නිම්නාද කාර්‍යාලයේ එහා මෙහා යනු පෙනුනද ඔහු සමග කතා කරන්නට අවස්ථාවක් ලැබුනේම නැත. 

” මේඝා. ඔයාට මීටින් එකක්. මිස්ටර් සුරවීර එක්කයි නිම්නාද එක්කයි ” 

අපූර්වා පැමිණ කීවේ මුහුණේ සිනහවක සේයාවක්වත් නොමැතිවය. ආයාසයෙන් මවාගත් සංසුන් බවකින් සිටින මේඝා කොයි මොහොතේ හෝ පුපුරා යන්නට හැකි බව අපූර්වා දනී.

සුරවීර මහතා සහ නිම්නාද සමඟ පැවති කතාබහේ දී අත්‍යවශ්‍යම කරුණු හැරුණු කොට නිම්නාද වෙනත් කිසිවක් මේඝා සමග කතා කලේ නැත. 

බොහෝ කාලයක් තමා සමඟ ජීවිතයේ සෑම දේම බෙදාගත් මිනිසා මෙසේ තමාව නාඳුනන සේ ඉන්නේ කෙසේද ? ධනුක කීවා සේ සැබැවින්ම ඔහු තමාට ආදරය කර නැතිද ? එකම දයාබර බැල්මකින් හෝ තමා දෙස නොබලා ඉන්නට නිම්නාද පරිස්සම් වූයේ කෙසේද ? 

මේඝා ලිපිගොනුවද රැගෙන ඇගේ ආසනය කරා පැමිණ හිඳ ගත්තේ ඕනෑවට එපාවට මෙනි. ඇය නැවත හැරී නිම්නාදගේ කුටිය දෙස බැලුවේ එකවරම ආ සිතුවිල්ලකට අනුවය. නිම්නාද දුරකථන ඇමතුමක ඉන්නා ආකාරය වීදුරු දොර අතරින් මේඝා දුටුවාය. ඔහුගේ මුහුණේ ඇඳී ඇත්තේ අමුතුම ආකාරයේ සිනහවකි. 

” ඔයා හොඳින් නෙමෙයි කියලා දන්නවා. ඒත් කවුරු නිසාවත් ඔයාගේ ජීවිතේ නාස්ති කරගන්න එපා මේඝා. ඔයා හරිම වටින කෙල්ලෙක් ” 

අපූර්වා මේඝාගේ පිටට අත තබා කියා ගියාය. නිම්නාද මේසය මත ඇති ලිපිගොනු එහා මෙහා කරමින් එය පිළිවෙලක් කරන්නේ පිටව යන්නට බව මේඝා සිතුවේ බිත්ති ඔරලෝසුවේ වෙලාව හතරයි තිහ ලෙස සටහන් වී තිබුණු නිසාය. මේඝා ජංගම දුරකථනය අත් බෑගයට දමා ගෙන නිසොල්මනේ බලා උන්නේ යමක් ඉව වැටී මෙනි.

සිතූ පරිදිම නිම්නාද මේඝා දෙසවත් නොබලා කාර්යාලයෙන් පිටවී විනාඩි කිහිපයක් ගතවන විටම මේඝාද කාර්යාලයෙන් පිටවුණේ විමසිල්ලෙන් අවට බලමිනි. කාර්යාලය ඉදිරිපිට නවතා තිබූ නිම්නාදගේ මෝටර් රථය ප්‍රධාන පාරට අවතීර්ණ වීමට සූදානමින් තිබෙනු දුටු මේඝා ත්‍රිරෝද රථයක් නවතා ගෙන එයට නැඟුණේ නිම්නාදට නොපෙනෙන්නය.

” අර වෙහිකල් එක පිටිපස්සේ යමු ”  

නිම්නාද පැමිණියේ නවම් මාවතේ පිහිටි Barista එක වෙතය. වාහන අංගනයේ වාහනය නැවතූ නිම්නාද එයට ඇතුළු වන විට මේඝා ත්‍රීරෝද රථයට මුදල් ගෙවා පිටතට වී මොහොතක් බලා සිටියාය. මේඝා තැවුනේ ඊළඟ මොහොතේ කුමක් සිදුවෙතැයිදෝ සිතා ගන්නට නොහැකිවය. 

” අපිට හැමදේම අලුතෙන් පටන් ගන්න පුළුවන් වර්ෂා. දැන් ඒකට කිසිම බාධාවක් නැහැ “

වර්ෂාව මුණගැහුනේ දින කිහිපයකිනි. මේඝාගේ ප්‍රශ්නය සමනය වන තුරු වර්ෂාව මුණ නොගැසී සිටින්නට නිම්නාද කටයුතු කලේ උවමනාවෙන්මය. වර්ෂා උන්නේ ප්‍රීතියෙන් ඉපිලෙමිනි. මෙම අවස්ථාව මඟ හැරිය යුතු නැත. පසුගිය දින කිහිපය නිම්නාද කෙසේ හැසිරුනත් පසුගිය කාලය පුරාවටම ඔහු තමා වෙනුවෙන් බලා සිටිය බව වර්ෂා දනී. 

” Forget all that නිම්නාද . මම දන්නවා මේඝාගේ ප්‍රශ්නේ නිසා ඔයා අවුලෙන් හිටියේ කියලා . එයා hopes තියන් හිටියා කියලා ඔයාට කරන්න දෙයක් නැහැනේ ” 

වර්ෂා කීවේ මේසය මත ඇති නිම්නාදගේ අත මත අත තබමිනි. 

” මම මගේ නම කැත කරගන්නේ නැතුව මෙච්චර කල් වැඩ කරපු නිසා මේ ප්‍රශ්නේ මගේ පිටින් යයි කියලා මම ඇත්තටම බය වෙලා හිටියේ වර්ෂා. මේඝා office ආවා අද. එයා හරිම නෝමල් විදිහට වැඩ කළා. අපිට තිබ්බ මීටින් එකේදිත් අවශ්‍යම දේකට ඇරෙන්න අපි කතා කළේ නැහැ ” 

” එහෙනම් ඉතින් දැන් ප්‍රශ්නයක් නැහැනේ ? ” 

වර්ෂා මෙනුපත බලා ඇණවුම සම්පූර්ණ කලාය. වළාකුලක තරම් සැහැල්ලුවක් නිම්නාදට දැනෙද්දී ඔහු සිතුවේ මේඝා ගේ ප්‍රශ්නය උග්‍ර වී වර්ෂාව අහිමි කර ගන්නට සිදුවුණා නම් යැයි කියාය. මේඝා තමාගේ ජීවිතයට පැමිණෙන්නට පෙර තමා බොහෝ සේ උත්සාහ කළේ වර්ෂා වෙත ළං වෙන්නටය. ඇගේ සමකාලීන නිරූපිකාවන් කිහිප දෙනෙකුම තමා පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටින බව නිම්නාද දැන සිටියත් වර්ෂා තුළ තිබූ ආඩම්බරකාරී සහ ආකර්ෂණීය බව ලඟ තමා නතර වූ අරුමය පිළිබඳව නිම්නාද සිතුවේය.  

අනෙක් අතට උපතින්ම පොහොසත් කෙල්ලක වූ වර්ෂාට තවත් දිනාගන්නට කිසිවක් තිබුණේද නැත. හිතු හැටියේ විදේශ සංචාරවල නිරත වෙමින් විදේශ රටක සිටින දෙමව්පියන් බලන්නට යන පවුලේ එකම දරුවා වූ වර්ෂාට මෙරට හිමි භෞතික දෑ සියල්ල හිමි වන බවත් , වර්ෂාගේ පෙම්වතා වූ විට ඒ සියල්ල භුක්ති විඳීමට තමාට ද හැකියාව ලැබෙන බව නිම්නාද දනී. වර්ෂාට ඇති මිතුරු සමාගම අති විශාල එකක් නිසා ඒ හරහා තමාට ද බොහෝ වාසි අත්කර ගත හැකි බව නිම්නාද සිතුවේය.

එහෙත් මේඝාට එසේ නැත. දැනටත් ඇය සතුව ඇත්තේ ඇගේ වෙහෙස මහන්සිය නිසාම උපයා ගත් දේවල්ය. ඇය සතුව ඇති එකම මිතුරු සම්පත ධනුක සහ නිකිනි පමණි. ඇගේ ලෝකය ඉතා කුඩා එකක් වූ අතර ඇය සතුටු වන්නේද එය තුළ පමණි. 

තරාදියක තබා මැන බැලූ විට වඩාත් බරැති වන්නේ වර්ෂාගේ පැත්තය. තමාගේ ඉදිරි කාලය හොඳින් ගත කරන්නට නම් තමා තෝරා ගත යුත්තේ වර්ෂාවය. මේඝා සමඟ ගත කළ කාලය සුන්දර නමුත් තරගකාරී ලෝකය තුළ වේගයෙන් ඉදිරියට යාමට නම් වර්ෂා වැනි සහකාරියක් සිටිය යුතුමය. 

නිම්නාද මේ සියල්ල සිතමින් සිටියදී වර්ෂා තවමත් ඔහුගේ අත අල්ලාගෙන ඔහු දෙස බලා සිටියාය. මේ සෑම මොහොතක්ම සුන්දර වන බවට සැකයක් නැති බව වර්ෂාද සිතුවාය.

කෝපි හලට ඇතුළු වූ මේඝා දෑස් කරකවා නිම්නාද සිටි තැන සොයා ගත්තාය. ඔහු සමග තරුණියක් අසුන්ගෙන සිටින බව මේඝා දුර තියාම දුටු අතර වෙව්ලන දෙපා සමඟ මේඝා සෙමින් සෙමින් ඉදිරියට පැමිණියේ තරුණිය මුහුණලා සිටින්නේ නිම්නාද දෙසට නිසාය. ඔවුන් දෙදෙනාට ලං වද්දී තරුණිය සිටින්නේ නිම්නාදගේ අත අල්ලාගෙන බව මේඝා දුටුවාය.

දෑසෙන් කඩාගෙන වැටෙන කඳුලු නවතන්නට මේඝා උත්සහ කලේවත් නැත. පියවරෙන් පියවර නිම්නාදත් වර්ෂාත් සිටින තැනට මේඝා ලංවන විට ඇයව මුලින්ම දුටුවේ නිම්නාදය. ඔහුට අසුනෙන් නැගිට්ට උනේ ඉබේමය. ඒ සමඟම වර්ෂාද පුදුම වී නැගිට හැරී බැලුවාය. මේඝාට වර්ෂාව හඳුනා ගන්නට ගියේ තත්පර දහයකටත් වඩා අඩු කාලයකි. සිදුවෙමින් පවතින දේ තේරුම් ගන්නට මේඝා අපොහොසත් වූයේ නැත. 

” ඇයි නිම්නාද ඔයා මට මෙහෙම කලේ ” 

මේඝා යටිගිරියෙන් කෑගසා හඬමින් ඉදිරියට පැන නිම්නාදගේ කමිස කොලරයෙන් අල්ලා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles