මුතු බෙලි හදවත 35 වන කොටස

ගීතා ඒ වෙලාවේ කිසිත් නො කියා මුණිවත රැක්කා ය. නමුත් ඇගේ හිත සුළි සුළඟක් සේ චණ්ඩ ප්‍රචණ්ඩ ස්වභාවයක පැවතිණ. ඇතුළතින් ඇය නො කඩවා දොඩමළු වූවා ය. විලාප තබා හැඬුවා ය. නමුත් පිටතින් ඒ කිසිත් නැතිව පුටුව මත වැතිර සිටියා ය. ඇගේ වත මැළවී ද ඇය තෝන්තුවාවට පත් ව සිටියා ය. පිටස්තර කාන්තාවක ඉදිරියේ සිය අමනාපය ප්‍රකාශ නොකර ඉන්නට ඇය උත්සාහ කළත් ඒ අමනාපය ඇගේ නිහඬ ඉරියව් වලින් මැනවින් ප්‍රකට විය.

“අම්ම කැමති නෑ දුමාල්”

ආපසු එන්නට රියට නැගුණ ආදිත්‍යා දුක්බර මිමිණිලි හඬකින් කීවා ය. දුමාල් මුදු ලෙස ඇගේ හිස් මුදුන පිරිමැද්දේ ය.

“ඒ ගැන අම්ම එක්ක තරහ වෙන්න බෑ දුමාල්. එහෙම තමයි අම්මලා. එයාලට හැම වෙලේම ඕනෙ තමන්ගෙ දරුවන්ට හොඳම දේ දෙන්න. හොඳම දේ වෙන්න. මගෙ අම්ම තාමත් කැමති මං විකුම් එක්ක සෙට්ල් වෙනවනං. ඒ අම්මල හිතන හැටි. හොඳම කියල එයාලට දැනෙන හැටි. විකුම් ගෙ අම්ම මාව බදාගෙන ඇඬුවා ඩිවෝස් වෙනව කියල දැන ගත්තහම. එයා දුක් වෙන්නෙත් එයාගෙ පුතා ගැන. අම්මල එහෙමයි දුමාල්. මගෙ පුතා ගැන මාත් හිතන්නෙ එහෙමනෙ. මට විකුම් ව ඕනෙ නෑ කියල හිතුණෙ එයා මගෙ දරුවව ප්‍රතික්ෂේප කරපු වෙලාවෙ. එයා කිව්ව වළලගනිං කියල මේ අසරණයට. අනාත නිවාසෙකට දාන්නම හැදුව. අම්මල හැම වෙලේම දරුවො වෙනුවෙං පෙනී ඉන්නව දුමාල්. දරුවන්ට යහපතක් කිරීම වෙනුවෙන් පෙනී ඉන්නව. ඔයාගෙ අම්මත් අම්ම කෙනෙක්නෙ. එයා තාත්ත කෙනෙකුත් නැතුව හුඟන් දුක් විඳගෙන ඔයාව උස් මහත් කරපු අම්ම කෙනෙක්. එයාට මේ වගේ දෙයක් දැනෙනව වැඩි ඇති”

දුමාල් ආදිත්‍යා ට බාධා නොකර ඇයට හිතේ දුකින් නිදහස් වෙන්නට ඉඩ හැරියේ ය. ඇය ඔය කියවන්නේ හිතේ දුකට බව ඔහු ට නො වැටහෙනවා නොවේ. නමුත් ඇය තමන්ගේ දුක අමතක කර හෝ අනුන් ව සාධාරණීකරණය කරන්නට කැමති විදිහේ පොහොසත් හිතක් ඇති තරුණියකි. ඈ සිය පුතා ගෙන් වෙන් වෙන්නට ගත් තීරණය අරබයා හඬා වැටෙන්නට තරම් විකුම් ගේ මව සඳසීලී සංවේදී වූයේ ත් එබැවින් බව දුමාල් ට සිතා ගන්නට පුළුවන.

“මට පුළුවන් වෙයි අම්මට මේක තේරුං කරල දෙන්න. අනිත් එක අම්මත් දරුවෙක් එක්ක තනි වෙලා හිටිය ගෑනු කෙනෙක්”

“ඒත් අම්ම ඉදිරිපත් කරන තර්කෙ මොකද්ද කියල මං දන්නව”

ආදිත්‍යා ගේ දෙතොල් මත වේදනාත්මක මඳහසක් විය.

“මොකද්ද…”

“අම්ම දරුවෙක් එක්ක කොල්ලෙක්ගෙ කරේ එල්ලුනෙ නෑ කියන එක”

“ආදි”

දුමාල් ආදිත්‍යා ගේ අත්ල තදින් අල්ලා ගත්තේ ය. කිසිදු හේතුවක් මත ඇය ව අත් නො හරින බවට වචන වලින් තොර ව කළ ප්‍රකාශයක් සේ ය එය.

“ඔයා ගැන විශ්වාසෙං ඉන්න. මං ගැන විශ්වාසෙං ඉන්න. අම්ම කැමති වුණත් නැතත් මං ඔයාව මගෙ ළඟට ගන්නව. මේ පොඩි එකා අමතක කරන්න මට මැරිල ඉපදෙන්න වෙයි ආදි”

පපුව මැද්දේ ලෝදිය පැහැවනා ගිනි කඳු වලට පවා සිසිලසක් ගැන බලාපොරොත්තු තියෙනවා ඇත. ආදිත්‍යා හෙමි හෙමිහිට සිහිල් වාතයෙන් පෙනහලු පුරවා ගත්තා ය.

ආදිත්‍යා ව බැස්වූ දුමාල් යළිත් ගියේ සිය මව වෙතට ය. ඔහු ව දුටු ගීතා දුමාල් ගේ පපුව මැද්දේ මුහුණ හොවා ගෙන ඉකි ගගහා අඬන්නට ගත්තා ය. දුමාල් නිහඬව ඇගේ හිස පිරිමදිමින් සිටියේ ය.

“මට මේක උහුලගන්න බෑ දරුවො”

ඉකිළුම අතරින් ඇය කියා ගත්තා ය.

“එහෙම හිතන්න එපා අම්මෙ”

“පුතා දරුවෙක් ඉන්න ගෑනු කෙනෙක් ගන්නව බලං ඉන්නෙ කොහොමද මං…”

“අම්මට අමතකද…අම්මත් දරුවෙක් එක්ක තනි වෙලා දුක් විඳපු ගෑනු කෙනෙක්. මාත් අම්ම කෙනෙක් ළඟ තනි වෙලා දුක් විඳපු කොල්ලෙක්. එදා අපිට ආදරේ කරන්න කෙනෙක් හිටියනං..අපි ව බලා ගන්න කෙනෙක් හිටියනං…ඒක වැරැද්දක්ද අම්මෙ…”

“ඒත් පුතා”

“මුදලාලිව බැන්දට පස්සෙ අම්මට සැනසිල්ලක් දැනුණෙ නැද්ද….ආරක්ෂාවක් දැනුණෙ නැද්ද…ඉතිං ආදිත්‍යාට ඒ දේවල් ලැබෙන එක වරදක්ද අම්මෙ…”

“පුතා…මුදලාලි කියන්නෙ බැඳල නෝනා මැරිච්ච කෙනෙක්. එයා මාව බැන්දෙ එයාගෙ දරුවො දෙන්නව පවා එකලාසයක් කරල දීල. ඒත් පුතා උගත් වැදගත් මහත්තයෙක්..තරුණ ඉලන්දාරියෙක්. දික්කසාද ගෑනු කෙනෙක් බඳින්න හේතුවක් පුතාට නෑ”

“හේතුවක් තියෙනව අම්මෙ”

දුමාල් ගේ හඬ අතිශය නිවුණේ විය. නමුත් ගීතා ඔහු දෙස බැලුවේ තිගැස්සී ගෙන ය.

“මං එයාට ආදරෙයි. ඒකයි හේතුව”

දුමාල් ගෙන් ඈත් වූ ගීතා ටික වෙලාවක් පුටුවක් මතට වැටී කල්පනාවේ නිමග්න ව සිටියා ය. සිය පුතු තමන්ට හැර වෙනත් ස්ත්‍රියකට ආදරය තරනවා කියන දැනුවත් වීමට බොහෝ මවුවරුන් ප්‍රතිචාර දක්වන්නේ කැළඹීමකිනි. ගීතා ට ද ඒ පොදු ධර්මතාවයෙන් මිදිය හැකි වූයේ නැත.

“ඒ කියන්නෙ…ඒ සම්බන්දෙ නිසාද අර ළමය දික්කසාද වෙන්නෙ…”

දුමාල් ගෙන් ලොකු සුසුමක් බැහැර විණි. අම්මා ට බොරු කියන්නට ඔහු ට හිත හදා ගත හැකි නො විණ.

“සමහර විට…”

“ඒක පුදුම උත්තරයක්නෙ”

“එයා ඒ ජීවිතේ ඇතුළෙ ප්‍රශ්න ගොඩක හිටපු කෙනෙක් අම්මෙ. ඒත් මාව මුණ ගැහුණෙ නැත්තං එයා දික්කසාදයක් ගැන නොහිතා දිගටම ඒ දුක් විඳගෙන ඉන්නත් තිබුණා”

“මොනවද පුතා ඔයා මේ කරන විකාර…එයාට ඒ පවුල් ජීවිතේ ගැන බලා ගන්න ඇරල ඔයා පැත්තකට වෙන්න. අච්චර හොඳ යෝජනාවක් ඇවිත් තියෙද්දි…ඔයා මේ මොන විනාසයක් කර ගන්න හදනවද කියල මට තේරෙන්නෑ”

ගීතා යළිත් හැඬුම්බර වූවා ය. එසේ ම ඇගේ හඬෙහි විධානයක ලක්ෂණ ගැබ් වී තිබිණ.

“කොහේ කෙනෙක්ද ඔය…දැං දික්කසාද නඩු දාලද තියෙන්නෙ…”

“ඔව්. එයා හරි සාමාන්‍ය වැදගත් පවුලක ළමයෙක් අම්මෙ”

“ළමයෙක් වෙන්නෙ කොහොමද…එයා ළමයෙක් ඉන්න අම්ම කෙනෙක්නෙ”

ගීතා ගේ නො රිස්සුම ඒ විදිහට පහ කර ගන්නට ඉඩ දී දුමාල් නිහඬ වූයේ ය.

“ළමයෙක් එක්ක ම කසාදයක් කර ගන්න කොහොමද පුතා ඔයා හිතුවෙ…”

“අම්ම”

ගීතා යළිත් කඳුළු සලන්නට පටන් ගත්තා ය. හරි හැටි ගෙයක් දොරක් නැතිව, ගස් ගල් යට, සොහොන් ගෙවල් වල ලොකු කර ගත් කොල්ලා මේ වගේ අපරාදයක් කර ගන්නට යත්දී දරා ගෙන ඉන්නේ කෙසේ දැයි ඇය දෛවයෙන් ප්‍රශ්න කළා ය.

“එයා විකුම් විජයවික්‍රමවයි අම්මෙ බැඳල හිටියෙ”

“කවුද විකුම් විජයවික්‍රම කියන්නෙ…”

“අර ඇමති…සේනක විජයවික්‍රමගෙ පුතා”

ගීතා තිගැස්සී ගියා ය. ඇය අමාරුවෙන් කෙළ බිඳක් ගිල ගෙන, ඒ රිදුම පිරිමැදගනු වස් උගුර අත ගා ගත්තා ය.

“කළු ගල් වල ඔළුව හප්පගන්නෙ නැතුව ඉඳහං පුතේ”

එවර ගීතා වඩාත් දුර්වල වී සිටියා ය. ඇය ට දැනුණේ සියොළඟ පණ නැතිව ගියා සේ ය.

“උඹ ඕක නතර කරන්න ඕනෙ. මං කැමති නෑ”

ඇය තදින් කියා සිටියා ය.

“මොකද අම්මෙ මේ…”

දුමාල් තව දුරටත් කරුණාවෙන් ම කතා කළේ ය.

“ඒගොල්ලංගෙ ඇමතිකං වලට අපි ඒ තරං බය වෙන්න ඕන නෑ. අනික මං මේ විකුම් ගෙ වයිෆ්ව උස්සං යනව නෙවෙයිනෙ. ඒගොල්ලො දික්කසාද වුණාට පස්සෙයි මං ආදිව බඳින්නෙ”

“මං කැමති නෑ”

එය තද තීන්දුවකි. දුමාල් ගේ හිත හෙළවී ගියේ ය. අම්මා කැමති නොවුණත් ඇය ව අත් නො හරින බව ආදිත්‍යා ට සපථ වී ඇතත්, දුමාල් ට ගීතා ගේ ආශිර්වාදය උවමනා ය. අනිත් අතට ඔහු වෙනුවෙන් සිය තරුණ විය කැප කළ අම්මා ගේ කඳුළු මැදින් සිය ජීවිතය පටන් ගන්නට ඔහු ට උවමනා නැත.

“අම්ම පොඩ්ඩක් මගෙ පැත්තෙනුත් හිතන්න අම්මෙ. අම්මගෙ පැත්තෙන් මට අම්මව තේරෙනව. මට විතරක් නෙවෙයි ආදිටත් අම්මව තේරෙනව. මට අම්මගෙං ඉල්ලන්න තියෙන්නෙ…මගෙ සතුට ගැන හිතන්න කියල විතරයි”

දුමාල් එදා ගීතා ගෙන් සමු ගෙන ගියේ ඇය ව කඳුළු සයුරක අතැර දමා ය.

දික්කසාද නඩු නොකියන්නට විකුම් ගේ පාර්ශවය තීරණය කොට ගත්තේ ය. ඒ නඩු කියා ආදිත්‍යා ව ඉල්ලා සිටීම සිය තත්වය ට නො ගැලපෙන බව අවසාන වශයෙන් සේනක හා විකුම් විසින් තීරණය කරනු ලැබීම නිසා ය. එය සඳසීලී ටත් සැනසිල්ලක් විය. නඩුව පහසුවෙන් හා ඉක්මනින් නිමා වී ආදිත්‍යා ට ද ඇය පතන නිදහස් ජීවිතය හිමි වන නිසාවෙනි.

ඒ අතර තුර කාලයේ ආදිත්‍යා පුරුදු පරිදි සිය දෛනික කටයුතු කර ගෙන ගියා ය. ආමන්තා ව පෙර පාසලෙහි හිඳුවා මින්දුල ගේ චිකිත්සක ප්‍රතිකාර සඳහා ඔහු ව ගෙන ගියා ය. මින්දුලට වෙනත් දරුවන් ඇසුරු කිරීමේ අවස්ථාව සලසා දෙමින් ඔහු ව ද පෙර පාසලෙහි ඉගෙනුම් කටයුතු වලට යොදා ගත්තා ය. හැකි අවස්ථා වල ආමන්තා හෝ දුමාල් සමගින් මින්දුල ව පිටත සමාජය සමග මුහු කිරීම සඳහා ගෙන ගියා ය. ඒ අතරේ පෙර පාසලේ ඉගැන්වීමේ හා පරිපාලන කටයුතු ද නිසි ලෙස කලමණාකරණය කර ගත්තා ය.

ඒ සියල්ල ඇගේ ආත්ම තෘප්තියට හේතු විය. ඇය වඩාත් කඩිසර තැනැත්තියක වී සිටියා ය. ජීවිතය ගැන බලාපොරොත්තු දල්වා ගෙන උනන්දුවෙන් වැඩ කටයුතු කරගෙන ගියා ය. ඒ සියල්ල අතරේ දික්කසාදය කියන රතු එළිය හැම මොහොතක ම ඇගේ හිතේ ඈත කොනක දැල්වී ගෙන තිබිණි.

සති අන්තයක උදේ වරුවේ දුමාල් හමු වන්නට ආදිත්‍යා පොරොන්දු වී සිටියා ය. මින්දුල ව සාමාන්‍ය දරුවෙකු ලෙස පුහුණු කිරීමේ මධ්‍යස්ථානය වෙත ගෙන යන්නේ සෙනසුරාදා ට නිසා ආදිත්‍යා ට ගෙදරින් පැන ගන්නට අපහසු වූයේ නැත. නැතහොත් ලලිතා කෝටියක් හරස් ප්‍රශ්න විමසන්නී ය. පෙර පාසලේ කටයුතු කලින් ම අරඹා නොතිබෙන්නට, ලලිතා ඇය ට ගෙයින් දොට්ට බැසීමේ නිදහසක් නොදී හිඳිනු ඇතැයි ආදිත්‍යා සිතයි. සැමියා අතැර ගෙදර පැමිණි දුවක් යනු අම්මා කෙනෙකුට ඒ තරම් හිත් බරකි!

මින්දුල ගේ පුහුණු කටයුතු නිම වීමෙන් පස්සේ ඔවුන් ගියේ ගංගාරාම විහාරස්ථානය වෙත ය. වැඳ පුදා ගැනීමෙන් පසු මින්දුලගේ දෑතින් අල්ලා ගෙන ඔහු ව ඇවිදවමින් සිටියදී, හදිසියේ ම ඔවුන් ඉදිරියේ පහළ වූ දසුනෙන් ආදිත්‍යා කැළඹී ගියා ය. ඒ, සුුදු ජාතික ඇඳුමෙන් සැරසුණ තාත්තලා පුතාලා ය. සේනක සහ විකුම් ය!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles