බබා කෝ…

කාලෙකට පස්සේ අකේන් බබාව බලන්න එයාගෙ පුංචියි බාප්පයි ආවා. චූටි අකේන්ට තෑගි ගොඩාරියකුත් හම්බුනා.. ආව වෙලාවෙ ඉඳන් බාප්පියි පුංචියි වටේ දැවටි දැවටි කතා කිය කිය අකේන් බබා සතුටු වුණා..

හවස තේ බොන වෙලාව ලං වෙලා අම්මයි පුංචියි කුස්සියට ඇවිත් තේ හදන්න පටන් ගත්තා..පුංචි පුටුවෙන් වාඩි වුණාට පස්සේ අකේන් බබා ඇවිත් පුංචිගෙ ඔඩොක්කුවෙන් වාඩි වුණා..

“පුතා.., පුංචිගෙ ඔඩොක්කුවෙන් නැතුව මෙන්න මේ පුටුවෙන් වාඩි වෙන්නකො දරුවො.. දඟලන්නෙ නැතුව ඉන්න ඔන්නනෙ ඉන්නව නම්..” පුංචි අකේන්ගෙ අම්මා , අකේන් බබා ළඟින් පුටුවක් තියන ගමන් කිව්වා..

” අනේ කමක්නෑ අක්කේ.. පුතා හිටපුදෙන්.. ” පුංචි , අකේන් බබාව තුරුල් කරගෙන කිව්වා.. ” ඒ උනාට පුංචිගෙ බන්ඩියෙ ඉන්න චූටි බබාට පුතාගෙ අත වැදුනොත් එහෙම එයාට රිදෙයිනෙ නේද? හොඳ පුතා වගේ මේකෙන් වාඩි වෙන්නකො..” අම්මා කිව්වා. චූටි අකේන් පුංචිගෙ බන්ඩිය දිහා බලලා , ආයෙත් පුංචි දිහාත් අම්ම දිහාත් බලල හිනා වෙලා හෙමීට නැගිටල පුටුවෙන් වාඩි වුණා..

” පුංචිගෙ බන්ඩියෙ බබෙක් ඉන්නවද??.. කෝ ඉතින් එයා පේන්නෙ නෑනේ?.. ” අවුරුදු හතක් උනු අකේන් බබාට දැන් ප්‍රශ්න ගොඩයි කියල බබාගෙ පුංචිට තේරුණා..

“ඔව්නේ පුතා.. එයා ඉතින් තාම හරි චූටිම චූටි බබෙක්.. හරියට ගම්මිරිස් ඇටයක් වගේ.. ” චූටි අකේන් ඇස් දෙක ලොකු කරගත්තා.. ” එච්චර චූටි ද පුංචි ?.. එයා කොහොමද බඩට රිංගුවේ?..”

” ආ.. එයා රිංගුවේ නෑ.. බාප්පියි පුංචියි ඩොක්ට අන්කල් කෙනෙක් ළඟට ගිහින් එයාව ඉල්ලගෙන ආවා.. “

” ඇයි එයා පුංචිගෙ බඩ ඇතුළට දැම්මේ? ඩොක්ට අන්කල් පුංචිගෙ බඩ කැපුවද? කෝ කපපු තුවාලේ පුංචි ?”

” නෑ නෑ.. ඒ ඩොක්ට ගාව තියෙනවා චූටි කුප්පිවල දාල අබ ඇට විතර චූටි බබාලා. ඩොක්ට අන්කල් ගාවට ගිහින් අපිට බබෙක් ඕන කිව්වම ඉන්ජෙක්ෂන් එකෙකින් පුංචිගෙ බඩ ඇතුලෙ ඉඩ තියෙන චූටි මල්ලක් ඇතුළට ඒ බබාව දානවා.. එතකොට බඩ කපන්න ඕන නෑනෙ..”

අකේන් බබා පුංචිගෙ බන්ඩියයි එයාගෙ බන්ඩියයි දිහා මාරුවෙන් මාරුවට බැලුවා.. ” මටත් තියෙනවද පුංචි ඒ වගේ මල්ලක්? බබෙක්ව දාන්න පුළුවන් එකක්? “

” නෑනෙ.. පුතා පිරිමි ළමයෙක්නේ.. පිරිමි ළමයින්ට ඒ වගේ මල්ලක් නෑ.. ඒකනෙ ගෑනු ළමයි විතරක් අම්මල වෙන්නේ.. ඒ දෙගොල්ලො ටිකක් වෙනස්නෙ නේද ??” පුංචි එහෙම කිව්වා..

” හ්ම්ම්.. අම්මත් ගෑනු ළමයෙක්නෙ.. අත්තම්මාත් ගෑනු ළමයෙක්නෙ.. පුතා පිරිමි ළමයෙක්.. තාත්තාත් පිරිමි ළමයෙක්..” ඒ පාර අකේන් බබා කිව්වා.. ” ඇයි පුංචි ඩොක්ට බබාව කුප්පියෙම දාල දෙන්නෙ නැත්තෙ ඉතින්..? ” ඒ ඊළඟ ප්‍රශ්නේ ..

” ආ.. එතකොට බබාට කෑම කන්න අමාරුයිනේ.. අනික එයාව අපි අතින් නැති වුණෝත් එහෙම.. තව, එයා තනියම ඉන්න බයයිනෙ, එයාට පාලු නෑනෙ පුංචිගෙ බන්ඩියෙ ඉන්නකොට.. ඇවිදින්න යන්න එන්නත් පුළුවන්නේ.. “

” එතකොට එයා පුංචි කන ඒව බන්ඩිය ඇතුලෙ ඉඳන් කනවද? එයා කක්කි දාන්නෙ නැද්ද එතකොට?.. බෝ බොන්නෙ කොහොමද ?”.. අකේන් බබාගෙ ප්‍රශ්න ඇහිල්ල ඉවරයක් නම් නැති පාටයි..

” ආ.. පුංචි කන කෑම බීම එකතු වෙන තවත් මල්ලක් බඩේ තියෙනවා.. ඒ මල්ල නම් ගෑනු ළමයින්ටයි පිරිමි ළමයින්ටයි දෙගොල්ලන්ටම තියෙනවා.. පුතාටත් තියෙනවා.. බන්ඩියෙ බබා ඉන්න මල්ලෙන් බටයක් ඇවිල්ල අර කෑම මල්ලට සම්බන්ධ වෙනවා. ඒකෙන් තමයි එයා කෑම කන්නෙයි බෝ බොන්නෙයි.. කක්කි දාන ඒවත් ඒ වගේ තමයි..”..

අකේන් බබාගෙ අම්මා උයන ගමන් මේ කතාව හොඳින් අහගෙන හිටියා.. කලින් දවසක හිටපු හැටියෙ බබාල හම්බෙන එක ගැන පුතා අහපු දේවල් වලට උත්තර නොදී මඟ ඇරපු හැටිත් අකේන්ගෙ අම්මට මතක් උනා. පුතාගෙ ප්‍රශ්න වලින් පුංචිව අපහසුතාවයකට පත් වෙයි කියල හිතුවත් එහෙම උනේ නැති එක ගැන අකේන් බබගෙ අම්මට සතුටු හිතුනා.. ඒත් තවත් දුරට ප්‍රශ්න අහන එක නවත්තගත්තොත් හොඳයි කියල හිතල අකේන් බබගෙ අම්මා ” පුතා, පුංචිට මහන්සි ඇති, ඕව පස්සෙ අහගන්නකෝ.. දැන් ගිහින් අර අලුත් කතන්දර පොත අරන් ඇවිත් පුංචිට කියවල පෙන්නන්නකො.. ” කියල කිව්වා. අකේන් බබා පොත අරන් එන්න දුවගෙන ගියා..

” ඒකට කමක්නෑ අක්කේ.. පුතාට ඒ ගැන කුතුහලය ඇතිනේ. ඔහොම තමයි. රෝස කැලෙන් ගෙනාව, සුරංගනාවියක් ගෙනත් දුන්න, පොල් තෙල් බීල බබෙක් ගිල්ල වගේ කතා නොකියා එයාගෙ වයසට තේරෙන තරමට ඇත්ත දේ කියල දෙන එක තමයි හොඳ.. එයාට එතකොට ඒක අමුතු දෙයක් කියල හිතෙන්නෙ නෑනෙ.. ” අකේන්ගෙ පුංචි කිව්වා..

“ඒ උනාට ඔය ප්‍රශ්න වල ඉවරයක් නෑනෙ. එක දවසක් කඩේකට ගියපු වෙලාවක බබෙක් හම්බෙන්න ඉන්න කෙනෙක් දැකල හයියෙන්ම මගෙන් ඇහුව බබාල බන්ඩියට යන්නෙ කොහොමද කියල. ඇත්තටම මම ඒ වෙලාවෙ එහෙම දෙයක් අහයි කියල හිතුවෙ නෑ, මම එහෙම දේකට උත්තර දෙන්න ලෑස්ති වෙලා හිටියෙත් නෑ.. කරගන්න දෙයක් නැතුව මම වෙන දෙයක් කියල කතාව යට ගැහුවා.. ලැජ්ජත් හිතුන මට, වටේ මිනිස්සුත් බැලුව අපි දිහා… ” අකේන්ගෙ අම්ම කිව්වා .

” ඕව ඔහොම තමයි. ප්‍රශ්න අහන්නෙ හොඳට මොළයෙන් හිතන බබාලා. එයාල හැම වෙලාවෙම අවට දේවල් වලට හොඳ අවදානය දෙනවා. ඒවයින් ඉගෙන ගන්නවා. බොරු දැනුම නැතුව ඒ ඒ වයසට තේරෙන විදියට පුළුවන් තරම් ඇත්ත කියන එක තමයි හොඳ්ම දේ.. ප්‍රශ්න අහන එක වැඩියි කියල දරුවට සැර ක්රන්න හොඳ නෑ කොයිම වෙලාවකවත්. ප්‍රශ්න මඟ අරිනකොට දරුවා ගනන් ගන්නෙ නෑ වගේ හිටියට එයාට දැනෙනවා අම්ම මඟ අරින බව. ඕව ගැටලු වෙන්නෙ දැන්ම නෙමෙයි, එයාල ටික ටික ලොකු වෙනකොට..”

අම්මයි පුංචියි කතාව නවත්වනකොටම අකේන් බබා කතන්දර පොත අරන් ඇවිත් පුටුවෙන් වාඩි උනා. හරිම ලස්සනට හෙමින් සැරේ පොතේ පිටු දෙකක් විතර කියවලා හිටපු ගමන්.. ” එතකොට බබා කෑම කාල ලොකු වෙන හින්දද පුංචි බබාල බන්ඩියෙ ඉන්න අම්මලගෙ බන්ඩියත් ලොකු වෙන්නෙ? ලොකූ බෝලයක් වගේ..?” කියල ආයෙත් අහන්න ගත්තා.. අකේන් බබාගෙ පුංචි හිනා වෙලා ඔව් කිව්වා.. “එතකොට පුංචිගෙ බන්ඩියත් තව ලොකු වෙනව නේද ??….”

“ඔව්නෙ.. එතකොට පුතාට බබා දඟලන හැටි අත තියල හොයන්නත් පුළුවන්.. ඔයා බබාගෙ අයියනේ.. එතකොට ඉන්න බබා ආදරෙයි.. ඔයාට කොහොමද අයියා කියල පොඩි තට්ටුවක් දායි එයත්..” ඒ පාර නම් චූටි අකේන්ට හරි සතුටුයි.

” එයා මාව අඳුරනවද? .. මං එයාගෙ අයිය කියල? ඉන්න බබා නංගියෙක්ද මල්ලියෙක්ද පුංචි ?..”

“ඒක නම් අපි තාම දන්නෙ නෑ.. එයා තමයි නංගියෙක් වෙනවද මල්ලියෙක් වෙනවද කියල හිතල එයාට කැමති කෙනා වෙන්නෙ..”
” ඉතින් ඩොක්ට ගාව නැද්ද මල්ලි බබාල ගන්න?.. ” ඒ පාර ටිකක් අමාරු ප්‍රශ්නයක්..

” නෑනෙ.. ඩොක්ට දන්නෙත් නෑ එයා කවුරු වෙයිද කියල.. පුතත් ආස කෑම ජාති, සෙල්ලම් බඩු එහෙම තියෙනවනෙ නේද?.. පුතා වගේම මේ බබත් කැමති අකමැති ඒව තියෙනවා.. එයා ආස දේවලුත් කරන්න දෙන්න ඕනනෙ නේද ..? නැත්නම් එයා පව්නෙ..” පුංචි කිව්වම අකේන් බබා ඔව් කියල හෙමීට ඔඔළුව වැනුවා .

” ඒ වුණාට එයා මල්ලි බබෙක් වෙන්න කැමති උනොත් හොඳයි.. මට සෙල්ලම් කරන්නත් පුළුවන් නෙ එතකොට..” අකේන් බබා කිව්වා..
” අපි බලමුකො නේද එයා කවුරු වෙන්න ආස වෙයිද කියලා.. හැබැයි මල්ලි උනත් නංගි උනත් පුතාට නම් ගොඩක් ආදරේ වෙයි එයා..” කියල පුංචි අකේන් බබාට උම්ම එකක් දුන්නා..

උත්තරා සඳමාලි

More Stories

Don't Miss


Latest Articles