දෑස් පියා සිටි මේඝාගේ නෙතු පියන් අතරින් කඳුළු කැට බේරී වැටුණේ අමතක කළ නොහැකි මතකය නැවත නැවතත් සිහිපත් වීමෙනි. ජීවිතයේ දුක්බරම වූ අඩියකට තමා පය ගැසූ බව මේඝාට යලි යලිත් සිතෙයි.
මේඝාව වාට්ටුවට මාරු කරන ලද්දේ දින දෙකකට පසුවය.
” උඹ සුයිසයිඩ් කරගන්න ගියා කියලා මට තාම හිතාගන්නවත් බැරුව ඉන්නෙ බං . යන එකාට යන්න ඇරලා හිත හදාගන්නේ නැතුව මොකක්ද උඹ මේ කරගත්තේ ? ”
ධනුක පැවසුවේ මේඝාව බැලීමට රෝහලට පැමිණි විගසම ය.ඇය බැලීමට අවසර තිබුනත් ඇය හා කතා කිරීමට ලැබෙන්නේ අදය.ගෙවුනු දින කිහිපය පුරාම ඔහු වැඩිපුරම ගත කර ඇත්තේ රෝහල් කොරිඩෝවේය. අසීරුම මොහොතක පවා මේඝාව දරා හිඳින්නට ධනුක වගේම නිකිනිත් වග බලා ගෙන තිබුනේ මිතුරුකමට අරුතක් එක් කරමිනි. කඳුළු අතරින් ධනුක දෙස හිස් බැල්මක් හෙලූ මේඝා දුටුවේ කලබල ගමනින් දිව එන නිකිනි වය.
” අනේ ඇයි බං මේ ? ”
නිකිනිගේ හඬේ තැවරී තිබුණේ කෝපය සහ දුක මුසු බවකි.ධනුක බලා උන්නේ කියන්නේ කුමක් දැයි සිතාගත නොහැකිවය.
” මෙයාට කොච්චර කිව්වත් සිංහල තේරෙන්නේ නෑ නිකී .ඔයින් ගියා මදැයි.
” එයා එන එකක් නැද්ද ? ”
මේඝා ඇසුවේ එපමණකි.
” උඹ දන්නවද ඩොක්ට මොනවද කිව්වේ කියලා ? ”
එවර හඬ අවදි කලේ ධනුකය.
මේඝා , ධනුකත් නිකිණිත් දෙස බැලුවේ ජීවිතයේ අඩියටම වැටී සිටින මොහොතකත් තමාගේ දෑත් අත් නොහැර සිටින ආදරණීයන් දෙදෙනා ගැන උපන් ගෞරවයෙනි. කාර්‍යාලයට තමා සිටින තත්ත්වය දැනුම් දී නිවාඩු ලබා ගැනීමෙහි සිට නිවසට ගොස් තමාගේ ඇඳුම් පැළඳුම් රැගෙන ඒම පවා සිදුකර තිබුණේ ධනුකත් නිකිනිත් විසිනි. පවුලේ අය පවා අතහැර ඇති මොහොතක මොවුන් දෙදෙනා තමන් සමඟ සිටීම ගැන ඔවුන්ට තමන් කොතරම් ණයගැති දැයි මේඝාට සිතුනි.
” මම උඹේ ගෙදරට එන්න තව ටිකක් පරක්කු වුනා නං අද නිකීටයි මටයි මේ වෝඩ් එකේ නෙමෙයි ඉන්න වෙන්නේ , අර මෝචරිය ඉස්සරහා ”
ධනුක මේ නෝක්කාඩු කියන්නේ තමා කෙරෙහි ඇති ආදරය නිසා බව මේඝා දනී. නිකිනි කඳුළු පුරවා ගත් දෑසින් ඉවත බලාගෙන කල්පනා කරන දසුන මේඝාගේ හදවත තවත් කම්පා කරවන්නට සමත් විය.
” නිකී ”
අපහසුවෙන් වදන් ගලපා ගත් මේඝා නිකිනිගේ දෑතින් අල්ලා ගන්නට උත්සාහ කළේ තවමත් අප්‍රාණිකව ඇති සිරුර තම පාලනයට ගැනීමට උත්සාහ කරමිනි.
” අත ඇරපන් ”
නිකිනි උන්නේ වචනයට පෙරළා ගත නොහැකි වේදනාවෙනි. දෑතින්ම මුහුණ වසාගත් ඇය හඬන්නට පටන් ගත් විගස ධනුකගේද දෑස් කඳුළින් පිරුණු බව මේඝා දුටුවාය.
” උඹව අද මේ මෙඩිකල් වෝඩ් එකේ තියලා හෙට psychiatric ward එකට දානවා ”
ධනුක කීවේ ඇහෙන නෑහෙන ගානටය. මේඝා සිටින්නේ මානසිකව අතිශය දුර්වල සහ අස්ථාවර තැනක බව කීවේ වෛද්‍යවරයාය. මේඝා දැඩිසත්කාර ඒකකයේ සිටිද්දී ධනුක වෛද්‍යවරයා සමග බොහෝ දෑ කතා කළේය. මේඝා කුඩා කල සිට මුහුණ දුන් දෑ ධනුක වෛද්‍යවරයා වෙත පැවසූ අතර මෙතැන් පටන් ඇයව රැකබලා ගතයුතු ආකාරය ඔහු ඉතා කරුණාවෙන් පහදා දුන්නේය.
” එයාට ගොඩක් traumas තියෙන නිසා අපි එයාව හරිම පරිස්සමින් හැන්ඩ්ල් කරන්න ඕන. ඇත්තටම ඔයාලා දෙන්නා වගේ යාළුවො දෙන්නෙක් ඉන්න එක මේ වගේ වෙලාවක එයාට ලොකු හයියක් ”
මේඝා හිඳින්නේ කම්පාවෙනි. නිම්නාද ආදරය පෙන්වා කල රැවටීම ඇයට තවමත් විශ්වාස කළ නොහැක. මේ වන විටත් ඔහු සිටින්නේ වර්ෂා සමග විය හැක. හදවත පතුලෙන් සියුම් රිදුමක් නැගී එනු මේඝාට දැනේ.
” ඔයාව ඒ වෝඩ් එක දැම්මම කෙරෙන ට්‍රීට්මන්ට්ස් වලින් ඔයාට ලොකු හොඳක් දැනෙයි මේඝා. අපි මේ හැමදේටම මූණ දෙමු. අමාරුයි තමයි. ඒත් දැන් වෙන කරන්න දෙයක් නෑනේ . ඔයාට කවුරු නැතත් අපි දෙන්න ඉන්නවා ”
නිකිනි මේඝාගේ හිස අත ගෑවාය.මේ ආදරය එක අතකින් දරන්නට නොහැක. නිම්නාද කොහේදැයි අසන්නට වුවමනා වුවත් දැන් ඔහුව සොයා පලක් නැතැයි මේඝා හෙමින් සීරුවේ තේරුම් ගනිමින් උන්නාය. දින ගණනාවක් ඇතුළතදී ඉතා ඉක්මනින් සිදුවූ දේවල් කෙසේ වූවාදැයි පෙළගස්වා ගන්නට මේඝාට තවමත් හැකි වූයේ නැත.
” මං ඉවසුවේ උඹ හින්දා. උඹ හිටපු situation එක හින්දා. එහෙම නොවුනා නම් මම මෙලහට ගිහින් අරූගේ හොම්බට දෙකක් ඇනලා ”
ධනුක ඉවත බලාගෙන කීවේය.
නිම්නාද උන්නේ අතිශය කාර්යබහුල වූ දවස් කිහිපයක් ගෙවමිනි. අපූර්වා පැමිණ තවත් ලිපිගොනු කිහිපයක් ඔහුගේ මේසය මත තැබුවේ ඒවාද ඉක්මනින් අවසන් කළ යුතු බව කියමිනි.
” ඇයි මේ වැඩ ටික මෙච්චර ගොඩ ගැහුනේ අපූර්වා ? ”
නිම්නාද ලිපිගොනු පෙරලා බලමින් ඇසුවේ ඒවායේ පෙර වූ පිළිවෙල දකින්නට නැති නිසාය.
” මේඝා නැති නිසා නිම්නාද . ඔය ටික මේ දවස් වල බලන්නේ මිස්ටර් සුරවීර. අපිට ඉක්මනින් ඔය කමර්ශල් ටික ශූට් කරන්න ඩේට්ස් ෆික්ස් කරගන්නත් වෙයි ”
අපූර්වා පිළිතුරු දුන්නාය.මේඝාගේ අසුන දින දෙක තුනක් තිස්සේ හිස්ව තිබෙනු දුටුවත් නිම්නාද ඒ පිළිබඳව සොයා බලන්නට ගියේ නොගියේ එය මේඝා දැනගතහොත් එයද තවත් ගැටලුවක මූලාරම්භය විය හැකි නිසාය.
” මේ ටික ඉක්මනින් මට පිළිවෙලක් කරලා ඕනේ කියලා එයාට පණිවිඩයක් දෙන්න. නිවාඩු දාන්න කලින් තමන්ගේ ජොබ් එක හරියට කරන්න එයා දැනගන්න එපැයි ”
නිම්නාද යනු මොන තරම් ආත්මාර්ථකාමියකුදැයි අපූර්වාට සිතුනත් ඇය එවදන් පිට කළේ නැත.
” මේඝා තව ටික දවසක් යනකන් එන එකක් නෑ නිම්නාද . මේඝාට තරම් හොඳට බැරිවුනත් අපිට මේවා මැනේජ් කරගන්න වෙයි ”
නිම්නාද එවර අපූර්වා දෙස බැලුවේ කෝපයෙනි. මේඝා මේ තරම් රැකියාව ගැන නොසැලකිලිමත් වූයේ කෙසේද ?
” ඇයි ? ”
” මේඝා හොස්පිට්ල් එකේ ”
නිම්නාද තිගැස්සුනේ එවිටය.
” මොකක් වෙලාද ? ”
නිම්නාද ඇසුවේ නොඅසා බැරිකමටය.ඒද තෙතමනයක් නැති හඬිනි. සමහරවිට මෙය නිවාඩු අවශ්‍ය නිසා මේඝා විසින් කියන ලද බොරුවක්ද විය හැක.
” Suicide attempt එකක් ”
” මොකක් ? ”
නිම්නාද පුටුවෙන් නැගිට්ටේය. මෙය විය හැකිද ? මේඝා එවන් තීරණයක් ගත්තේ තමාවත් වර්ෂාවත් දුටු පසුවද ? එදින කෝපයෙන් කෑගැසුවද මේඝාට කීවේ මොනවාදැයි කියාවත් නිම්නාදට මතක නැත. එසේ නම් පෙර දිනක ධනුක තමා ඇමතුවේ ඒ ගැන දැනුම් දෙන්නට විය හැක.
නිම්නාද දුරකථනය අතට ගත්තේ වෙව්ලන දෑතිනි. තමා දෙස තවමත් බලා සිටින අපූර්වාට පිටව යන ලෙස සංඥා කරමිනි.