අල වලින් හදන රසම රස කොරියන් කෑම

කොරියන් කෑම, කොරියන් ටෙලි නාට්‍ය, කොරියන් ගීත වගේම කොරියන් විලාසිතාත් අද ලංකාවේ හරිම ජනප්‍රියයිනෙ.

මේ අතරින් කොරියන් ආහාර සංස්කෘතිය කියන්නෙ එයටම අනන්‍ය සහ ආවේණික රසවත් කෑම වලින් පිරුණු දෙයක්.  

ඔන්න ඒ නිසා smart lady අපි අද තීරණය කරා අල වලින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කොරියන් කෑම කීපයක් හදන විදිහ ඔබත් එක්ක බෙදාගන්න.

එහෙනම් බලමු මොනවද මේ කෑම වර්ග, කොහොමද ඒව හදාගන්නෙ කියල? 

Korean potato pancakes 

අවශ්‍ය ද්‍රව්‍ය

තුනපහ කුඩු තේ හැඳි ½ ක් 

මයෝනීස් මේස හැඳි 03 ක් 

පැණි තේ හැඳි 01 ක් 

සුදුලූණු පවුඩර් තේ හැඳි ⅛ ක් (සුදුලූණු පෙති කපා වියළා බ්ලෙන්ඩරයෙන් කුඩු කරගෙන සාදාගත හැක)

ලුණු කුඩු

ගම්මිරිස් කුඩු 

සාමාන්‍ය ප්‍රමාණයේ අල ගෙඩියක් 

ලොකු ලූණු ගෙඩියකින් ¼ ක් 

බඬ ඉරිඟු පිටි (කෝන් පිටි) මේස හැඳි 01 ක් 

තෙල් කෝප්ප ¼ ක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම භාජනයක් ගෙන එයට මයෝනීස්, තුනපහ කුඩු, පැණි සහ සුදුලූණු පවුඩර් එකතු කර හොඳින් කලවම් කරගන්න.

එයට ලුණු සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගෙන නැවත හොඳින් කලවම් කරගෙන පසෙකින් තබාගන්න.

අපි දැන් සෝස් මිශ්‍රණය සාදාගෙන අවසන්. 

දැන් පෑන් කේක් සාදාගනිමු, 

ඒ සඳහා, තරමක් විශාල භාජනයක් ගෙන එයට අල ගෙඩිය සහ ලොකු ලූණු ගෙඩිය ග්‍රේට් කරගෙන (සිහින්ව කපාගෙන) එකතු කරගන්න. 

එයට රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ කෝන් පිටි එකතු කරගෙන සියල්ල හොඳින් කලවම් කරගන්න. 

දැන් පැතලි භාජනයක් ලිපතබා එයට තෙල් ස්වල්පයක් එකතු කර තෙල් වලින් භාගයක් එකතු කර රත්වන තුරු තබන්න. 

තෙල් රත්වූ පසු සාදාගත් අල මිශ්‍රණය එයට දමා හැන්දක් හෝ ගෑරුප්පුවක් ආධාරයෙන් තැටිය පුරා තුනී කර ගන්න. 

දැන් අඩු ගින්දරේ විනාඩි 03 ක් පමණ මෙලෙස තබා සෙමින් අනෙක් පැත්ත හරවා ගන්න. 

ඉතිරි තෙල් භාජනයේ ඇතුළතින් පෑන් කේක් එක වටේ වත් කරගන්න. 

නැවත විනාඩි 03 ක් තබා ගන්න. විනාඩි 03 කට පසු භාජනයේ පියන වසා නැවත විනාඩි 02 ක් තබාගන්න. 

විනාඩි 02 කට පසු භාජනයේ පියන ඉවත්කර පෑන් කේක් එක නැවත ප්‍රවේශමෙන් අනෙක් පස හරවා නැවත විනාඩි 02 ක් බැඳගන්න. 

විනාඩි 02 කට පසු පෑන් කේක් එක භාජනයෙන් ඉවතට ගෙන සාදාගත් සෝස් එක සමඟ උණුසුම්වම රසවිඳින්න ඔබට දැන් පුළුවන්. 

Korean potato salad

අවශ්‍ය ද්‍රව්‍ය 

තම්බා පොතු ඉවත් කරගත් අල 500 g ක් 

තම්බාගත් බිත්තර ගෙඩි 02 ක් 

තම්බාගත් බඩ ඉරිඟු කරලක් 

ගර්කින් (හෝ පිපිඤ්ඤා) ගෙඩියක් 

සිහින්ව ලියාගත් රතුළූණු ගෙඩි 03 ක් පමණ

මයෝනීස් කෝප්ප 01 ක් 

ලුණු කුඩු 

ගම්මිරිස් කුඩු 

සාදාගන්නා ආකාරය 

මුලින්ම බිත්තර දෙකට පලාගන්න. 

ඉන්පසු, දෙකට පලාගත් බිත්තර පලු තරමක් විශාල කැබලි වලට කපාගෙන පසෙකින් තබාගන්න. 

ගර්කින් ගෙඩියත් දෙකට පලා හැන්දක් ආධාරයෙන් මැද සූරා ඇට ඉවත් කරගන්න. 

දෙකට පලාගත් ගර්කින් පලු දෙක නැවත දෙකට පලා තීරු හතරක් ලබාගෙන එයත් හැපිය හැකි ප්‍රමාණයේ කුඩා කොටු හැඩයට හරහට කපාගන්න. 

තරමක් විශාල භාජනයක් ගෙන එයට තම්බාගත් අල එකතු කර හොඳින් පොඩි කරගන්න. 

තම්බාගත් බඩ ඉරිඟු කරලේත් ඇට වෙන් කරන්න. 

එයට සිහින්ව ලියාගත් ලූණු, කොටු කපාගත් ගර්කින්, බිත්තර කැබලි, තම්බාගත් බඬ ඔරොඟු මයෝනීස්, රස අනුව ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

මේ සලාදය රෝස් කරගත් උණුසුම් පාන් සමඟ ආහාරයට ගැනීම වඩා සුදුසුයි. 

ඔබ කැමති නම් ග්‍රේට් කරගත් කැරට් ස්වල්පයක් එකතු කරගෙන රස සහ පෙනුම වැඩි කරගන්නත් පුළුවන්. 

Korean stir fry potatoes

අවශ්‍ය ද්‍රව්‍ය 

පොතු ඉවත්කර දිග තීරු කපාගත් අල ගෙඩි 02 ක් 

දිගැටි තීරු කපාගත් මස් (අත්‍යාවශ්‍ය නැත. වැඩි වශයෙන් ඌරු මස් යොදාගන්නා නමුත් ඔබේ රස අනුව කුකුල් මස් හෝ ඔබ කැමති මස් වර්ගයක් යොදා ගන්න පුළුවන්)

සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩි ½ ක් 

වියළි මිරිස් කරල් 03 ක් 05 ක් 

ලුණු කුඩු

ගම්මිරිස් කුඩු 

තෙල් 

සාදාගන්න ආකාරය 

මුලින්ම තැටියක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කර තීරු කපාගත් මස් පැත්තෙන් පැත්ත පෙරළමින් හොඳින් බැඳගන්න.

දැන් මස් එම භාජනයෙන් ඉවත්කර එයට නැවත තෙල් ස්වල්පයක් දමා අල තීරුත් පැත්තෙන් පැත්ත හරවමින් එලෙසම බැඳගන්න. 

අල රන්වන් පැහැවෙන තෙක් බැඳුණු පසු එයට ලූණු, කලින් බැඳගත් මස්, වියළි මිරිස්, රස අනුව ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

ලූණු මැලවී අල වල මැද හොඳින් ඉදෙන තෙක් තබා ලිපෙන් ඉවත්කරගන්න. 

ඔන්න මේ විදිහට අල භාවිතයෙන් ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසවත් කොරියන් කෑම හදල බලල ඒ අත්දැකීමත් ගන්න අපි ඔබට ආදරෙන් ආරාධනා කරනවා. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles