ඒකපාර්ශ්වික 13

” නිම්නාදගේ තැනට අපි වෙන කෙනෙක් ගන්නකන් අපිට මේ හැමදේම මැනේජ් කර ගන්න වෙනවා මේඝා ” 

සුරවීර මහතා කීවේ මේඝා සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීය. පෞද්ගලික ජීවිතයේ කුමක් සිදුවූ වත් නිම්නාද තම රැකියාව අකුරටම ඉටු කල බව කාටත් නොරහසකි. 

” මේඝා කලින් වෙච්ච හැමදේම අමතක කරලා පරණ විදියටම වැඩ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.  ඔයා කරපු කිසිම වැඩක් මීට කලින් කවදාවත් වැරදිලා නැහැනේ. ඉතින් ඒ දක්ශකමෙන් ඉස්සරහට දිගටම ප්‍රයෝජන ගන්න ” 

හදවතින් මියගියද තමා ජීවත් විය යුතු බව මේඝා තේරුම් ගනිමින් උන්නාය. බැඳුණු වගකීම් අත්හැරිය නොහැකි කල මේඝා යලිත් කෙසේ හෝ රැකියාව කරමින් දින ගත කළේ හැඟීම් යටපත් කරමිනි. 

” මේඝා ඔයාට කෝල් එකක් ” 

අසංක කීවේ කාර්යාලයේ ස්ථාවර දුරකථනය මේඝා වෙත පෙන්වමිනි.

” හෙලෝ “

මේඝා ඇතුලාන්තයෙන් සැලෙමින් පිළිතුරු දුන්නාය.

” තමුසේ මාව බ්ලොක් කරලා නේද ? මොකද සල්ලි ඉල්ලයි කියලද ? ” 

දුරකථනය දිගේ ගලා එන්නේ ලොකු අක්කාගේ හඬය. ඇය මේ කියන්නේ කුමක් ගැනද ? 

” මං ඔයාව බ්ලොක් කරේ නැහැ ” 

ලොකු අක්කා සමච්චලයට සිනා සෙයි.

” අනේ මේ මේඝා. අපිවත් බ්ලොක් කරලා දාලා තමුසෙ මොකෙක් හරි අල්ලගෙන නටනවද ඔහෙට වෙලා. අම්මා මෙහේ අසනීප වෙලා තමුසෙට ගානක්වත් නැති හැටි බලනවාකෝ. පණිවිඩයක් දෙන්නවත් විදිහක් නෑ. තමුසෙගේ ඔෆිස් එක හොයාගෙන කෝල් කරන්න වෙලා දැන් අපිට ” 

ලොකු අක්කා මේ කෑගසන්නේ තමා සිටින තත්ත්වයවත් නොදැන නොවේද ? එවැන්නක් සොයා බලන්නටවත් සහෝදරකමක් මතක් නොවෙන සහෝදරියන් සිටින විට අල්ප මාත්‍රයක තරම්වත් දෙයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි නොවේද ? 

මේඝා ඇමතුම විසන්ධි කළේ ලොකු අක්කා ගැන තිබූ කලකිරීම තව තවත් වැඩි වන්නට මත්තෙන්ය. 

තමන්ගේ ආසනයට ගිය මේඝා සුරවීර මහතා ඊමේල් පණිවිඩයක් මගින් ඒවා තිබුණු අලුත්ම වෙළඳ දැන්වීමේ විස්තරය දිග හැර ගත්තාය. 

” මේඝා . අපි මේකට ගන්න ඉන්නේ අහස් ව ” 

” අහස් ” 

” ඔව්. ඔයාට මතක නැද්ද අවුරුදු දෙකකට විතර කලින් අපි එයත් එක්ක වැඩක් කලා. අහස් අබේරත්න අනේ “

අපූර්වා පරණ මතකයක් අවදි කරන්නට උත්සාහ කරන්නීය. එහෙත් ” Rainbow Eye ” වෙත රැකියාවට ආ දින සිට සිය ගණනක් දෙනා සමග කටයුතු කර ඇති නිසා මෙවැනි නමක් විශේෂයෙන් මේඝාට මතක් වන්නේ නැත.

” මේ ඉන්නේ ” 

අපූර්වා මුහුණු පොතට පිවිස කඩවසම් තරුණයෙකුගේ ඡායාරූපයක් පෙන්නුවාය. 

” ආ. මම මෙයාව දන්නවා. මෙයා වැඩ කරන්න හරිම කම්ෆටබල් මනුස්සයෙක් ” 

” අපි කීප සැරයක්ම මෙයාව වැඩ කීපයකට ගන්න හැදුවට ඉතිං නිම්නාද රිජෙක්ට් කළානේ ” 

මේඝා සුසුමක් හෙළුවාය. නිම්නාද සමග එකතු වී කළ වැඩ දැන් තනිව සිදු කරන්නට වෙන්නේ තමාටය. එය වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ වේදනාවකි. නිම්නාද මේ වන විටත් ඇත්තේ වර්ෂා සමගය. සමහරවිට තමාට පෙන්වූ ආදරය ඔහු වර්ෂාටද පෙන්වනවා ඇත. 

” නිම්නාදව මතක් නොකර අපි වැඩ කරමු ” 

තමාගේ සිතැඟි තේරුම් ගෙන මෙන් අපූර්වා කීවාය.

ඉන්පසුව ගෙවී ගියේ මේඝාට පහසු දවස් නොවේ. කාර්යාලයේ වැඩ අධික වූ අතර නිවසට පැමිණෙන මේඝා අකමැත්තෙන් සහ අපහසුවෙන් වුවත් යමක් ගිල දමා නියමිත බෙහෙත් මාත්‍රාව ලබාගෙන නින්දට යන්නීය. සුවසේ නිදන්නට මෙසේ බෙහෙත් ලබාගන්නට වේ යැයි මේඝා කිසි දිනක සිතා තිබුණේ නැත. එහෙත් නිම්නාදගේ ආගමනය සහ හැරයාම තමාගේ ජීවිතයේ කණපිට පෙරලූ වග මේඝාට දැන් පිළිගන්නට සිදුවී ඇත. 

එහෙත් , නිම්නාද සිහි වී හදවත බර වන සමහර දවස් ගෙවා ගත යුතු ආකාරය මේඝා දැන උන්නේම නැත.එවන් දිනවල නිම්නාද සමඟ හවස් වරු ගෙවූ කොහේට හෝ යාම මේඝා පුරුද්දක් කර ගත්තාය. එහෙත් එයද වේදනාවක් මිස සැනසීමක් නම් නොවීය.

මේඝා ඈත අහසට නෙත් යොමා උන්නේ හිස් හැඟීමකිනි.ඈ කල්පනා කලේ මීට මාස ගණනාවකට පෙර තමා සතුව තිබූ සිනහව පලා ගියේ කොහේටදැයි කියාය. ජීවිතය හැම අතකින්ම සර්ව සම්පූර්ණ වෙද්දී තමාට අවැසි ම දෙයක් අහිමි වනවා යැයි කවුදෝ කී කතාවක් මේඝාට සිහිපත් වූයේ හදිසියේ ම ය

” හැමදේම අඩුවක් නැතුව තිබිලත් මට ඕනම කරපු එයාගේ ආදරේ විතරක් මට නැති වුණා “

මේඝා ගේ දෑසට කඳුළු උනා ආවේ නිරායාසයෙනි.එය දැන් ඇයට අරුමයක් නොවේ. ඉන් මිදෙන්නට උවමනා වුවත් දුකේදීත් සතුටෙදීත් සිදු වූයේ කඳුලු ඉස්සර වීම ය.

” මේඝා ” 

මේඝාගේ ඉදිරියෙන් හිඳගත්තේ නිකිනි ය.මේඝා ඇරයුම් කරන ඕනෑම වේලාවකදී ඇය වෙනුවෙන් පැමිණෙන්නට නිකිනි වග බලා ගත්තේ තම මිතුරියට තමාව උවමනා බව හොඳින්ම දන්නා නිසාය.

” පොඩි මීටින් එකක් තිබුණා.ඒකයි පරක්කු උනේ.ඔයා ඇවිත් ගොඩක් වෙලාද ? ” 

මේඝා මද සිනාවක් පෑවා පමණි.නිකිනි , අවන්හලේ සේවකයෙකුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් වටපිට බැලුවේ මේඝා හැමදාමත් පැමිණෙන මුහුදු වෙරළ ආසන්නයේ අවන්හල ඇයටද නිවස තරම්ම සමීප බැවිනි.

” චොකලට් මිල්ක් ශේක් එකයි , ඔරේන්ජ් ජූස් එකයි ” 

නිකිනි අවන්හලේ සේවකයාට ඇණවුම භාර දෙන විටත් මේඝාගේ දෑස් දිලිසෙන ආකාරය දැක්කාය.

” ඔයා ඉතින් චොකලට් දාපු ඕන ජරාවක් කන බොන නිසා මට ලේසියි. ආයෙ අහා අහා ඉන්න දෙයක් නෑ කෙලින්ම ඕඩර් කරන්න විතරයි තියෙන්නේ ” 

නිකිනි එසේ කියද්දී මේඝා ආයාසයෙන් මවාගත් සිනහවකින් නිකිනි දෙස බැලුවාය.ඒ සිනහවේ ගැඹුරු අර්ථයක් ගැබ්ව ඇතැයි නිකිනිට නොහිතුනා නොවේ.

” ඉතින් ” 

මේඝාගේ නිහඬ බව තවදුරටත් බලා සිටීමට බැරිම තැන නිකිනි හඬ අවදි කලාය

” මුකුත් නෑ නිකී ” 

මේඝා කීවේ අහක බලා ගත්වනමය.

” යකෝ. ඔය ටික කියන්නද එන්න කිව්වේ ? ” 

නිකිනි ඇසුවේ මේඝා ගේ ශෝකය මුසු මුහුණ දෙස බලමිනි

” තාමත් මට හිත හදා ගන්න බෑ නිකී.මං මොකද්ද කරන්න ඕනේ ? ” 

මේඝාගේ ස්වරය හැඬුම්බර වනයුරු නිකිනිට දැණිනි.ඇයට තම මිතුරිය ගැන දැනුනේ අනුකම්පාවකි. නිකිනි ශෝකයෙන් පිරුණු තම මිතුරියගේ මුහුණ දෙස බලා උන්නාය.

” මේඝා. ඔයා තාමත් හිතන්නේ ඔයාගේ ජීවිතේ ගැනවත් , ඔයාගෙ ආත්ම ගෞරවය ගැනවත් නොහිතපු මනුස්සයා ගැනද ? ” 

නිකිනිගේ හඬෙහි තැවරී තිබුනේ කෝපයකි

” ඔව්. මං කොහොමද ආදරේ කරපු කෙනෙක්ට වෛර කරන්නේ ? ” 

” කවුද කිව්වෙ වෛර කරන්න කියලා ? එයා ඔයාව අත ඇරලා දාලා ගිය තැන තවත් නතර වෙලා ඉන්නෙ නැතුව ඉස්සරහට යන්න කියලයි මම ඔයාට මේ දවස ගානෙම කියන්නේ ” 

නිකිනි කීවේ අවන්හලේ සේවකයා පිලිගැන්වූ මේඝාගේ ප්‍රියතම පානය ඇයට පිළිගන්වන අතරේ ය

” අපි කියන තරම් මේක ඔයාට ලේසි නෑ කියලා මම දන්නවා මේඝා. ඒත්.. ” 

නිකිනි කියන්නට ගිය වචන ගිල ගත්තාය

” කියන්න හදපු දේ කියන්න නිකී ” 

” නෑ මම කියන්න ගියේ , ඔයා මේ කාලේ නාස්ති කරන්නේ ඔයාව පොඩ්ඩක්වත් වටින්නේ නැති මනුස්සයෙක් වෙනුවෙන්. මේ නාස්ති කරන කාලේ ඔයාට බැරිද වෙන දෙයක් වෙනුවෙන් යොදවන්න ? “

එක එල්ලේම තමා දෙස බලා හිඳිමින් සිටින මිතුරියට දිය යුතු පිළිතුර මේඝා දැන උන්නේ නැත.එහෙත් මතක යනු ලෙහෙසියෙන් අමතක කල නොහැක්කක් බව මිතුරියට කියා දීමට මේඝාට උවමනා විය

” අපි හිමීට ඉස්සරහට යමු. මම දන්නවා ඔයාට ඒක කරන්න පුළුවන් මේඝා ” 

නිකිනි මේඝා ගේ අත මතින් අත තිබ්බේ මිතුරිය කෙරෙහි උපන් සැබෑම ආදරයකිනි.

” මට ඔයාට කියන්න දෙයක් තියෙනවා මේඝා. ඒත් මේක අහලා ඔයා නටන්න නම් තියා ගන්න එපා හරිද ? ” 

නිකිනි එසේ කියද්දි මේඝාට දැනුනේ බියකි. ඇය කියන්නට යන්නේ නිම්නාද ගැනද ? 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles