දරුවන් වෙනුවෙන් ජීවිතය බිලි දුන් අම්මා කෙනෙකුගේ ආදරය – Aranmanai

අම්මා කෙනෙක් කියන්නෙ දරුවන් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන් අරුම පුදුම ආදරණීය බලයක් තියෙන කෙනෙක්. ඒක අපි හැමෝම පිළිගන්නවා. අම්මා කෙනෙක්ගෙ ආදරය කියන්නෙ වෙලාවට දිව මතුරක්. ඒ වගේම සමහර වෙලාවට දරුවන්ව ඕනම භයානක ඉරණමකින්, නපුරු බලවේග වලින් බේරගන්න බලයක්, අවියක් වගේ දෙයක්.

ඉතින් අද චිත්‍රපටයක් ගැන ලියවෙන මේ ලිපියෙන් අපි ඔයාලා එක්ක බෙදාගන්න යන්නෙ දරුවන් වෙනුවෙන් ජීවිතය බිලි දුන්න අම්මා කෙනෙක්ගෙ අපූරු ආදරයක් ගැන කියවෙන චිත්‍රපටයක් ගැන.

මේ චිත්‍රපටයෙ නම Aranmanai 4.

Aranmanai 4 කියන්නෙ සුන්දර් සී විසින් අධ්‍යක්ෂණය කරලා 2024 අවුරුද්දෙ රිලීස් කරපු ඉන්දියානු දෙමළ භාෂා හාස්‍යජනක ත්‍රාසජනක චිත්‍රපටයක් . එය Avni Cinemax සහ Benzz Media (P) Ltd විසින් නිෂ්පාදනය කරලා තියෙනවා . මෙම චිත්‍රපටයට Sundar විසින් ප්‍රමුඛ පෙළේ රංගනයෙන් දායක වන අතර එයට Tamannaah Bhatia , Raashii Khanna , Ramachandra Raju , Santhosh Prathap , Kovai Sarala , Yogi Babu , VTV Ganesh and Delhi Ganesh කියන නලු නිළියනුත් රඟපෑමෙන් දායක වෙනවා .මේ චිත්‍රපටය Aranmanai චිත්‍රපට මාලාවේ සිව්වන චිත්‍රපටය වගේම මට අනුව නම් මේ චිත්‍රපට මාලාවෙ ලස්සනම චිත්‍රපටයත් මේ Aranmanai 4 චිත්‍රපටය.

මේ අපූරු කතාව පටන් ගන්නෙ මෙන්න මේ විදියට.

ඊසාන දිග ඉන්දියාවේ පූජකයෙක් එයාගෙ දුවත් එක්ක බෝට්ටුවක් පැදගෙන ගඟක් තරණය කරනව. ගඟ දිගේ යන ගමන් මේ පූජකවරයා එහෙම නැත්තම් මේ තාත්තා තමන්ගෙ දූට එක එක දේවල් කිය කිය යන්නෙ. මෙයාලා යන්නෙ පන්සලක තියෙන පූජාවකට.  කොහොමහරි මේ තාත්තා බෝට්ටුව පදවන හබල වැදිල ගඟ පතුලෙ තියෙන යම් කිසි දෙයක් බිඳිලා, ඒකෙන් යමක් එළියට එනවා අපිට පෙන්වනවා. මේ වෙන කෙනෙක් නෙවෙයි බාක් කියන යක්ෂ ආත්මය. මේ යක්ෂ ආත්මය තාත්තට හොරෙන් බෝට්ටුවෙ වාඩිවෙලා ඉන්න දුවගෙ වෙස් ගන්නවා.

කොහොමහරි එක පාර දුවගෙ වෙනසක් දකින පූජකවරයා බාක්ව තමන්ගෙ යටතට ගන්න මන්තරයක් මතුරනව. මොකද තමන්ගෙ ඇත්ත දුව මැරිල කියල ගෙදර ගිහින් කිව්වොතින් තමන්ට තමන්ගෙ බිරිඳගෙන් ගැලවීමක් ලැබෙන්නෙ නෑ කියල මේ තාත්තා දන්නව. ඉතින් එයා තමන්ගෙ දුවගෙ වෙස් ගත්ත යක්ශයට කියනව “මේ උඹ කරපු වරදට නුඹට සිදුවෙනව මගේ දුව විදියට මගේ බිරිඳ ඉස්සරහ රඟපාන්න” කියල. එහෙම කියන බන්ධනයකින් යක්ෂයව තමන් යටතට ගන්න පූජකයා ආපහු තමන්ගෙ ගමට ගිහින්, දුව විදියට ඉන්න යක්ශයවයි බිරිඳයි අරගෙන වෙන ගමකට පිටත් වෙනවා.

මෙතනින් පස්සෙ චිත්‍රපටය අපිට පෙන්වන්නෙ වෙනම ගමක්. මේ ගමේ තියෙන පරණ, ඒත් ලස්සන, මාළිගාවක් වගේ වලව්වක ඉන්න අම්මා කෙනෙකුයි, තාත්තෙකුයි දරුවො දෙන්නෙකුගෙයි කතාව තමයි අපි ඊලඟට සිනමා පටය ඔස්සේ දකින්නෙ.

මේ අම්මාගෙ නම සෙල්වි. තාත්තගෙ නම සන්තෝශ්. දරුවො දෙන්න ශක්ති සහ සරවනන්. සන්තෝස් එයාගෙ රස්සාව විදියට කරන්නෙ පරණ ගෙවල් අරගෙන ඒව මොඩිෆයි කරල ලොකු ගණනකට විකුනන එක. සෙල්වි කරන්නෙ ගෙදරට වෙලා උයා පිහාගෙන දරුවො දෙන්නත් බලාගෙන ඉන්න එක.

මේ ගම හරි ලස්සනයි. ලස්සන වනාන්තරයක් එහෙමත් තියෙනව. ඉතින් දවසක් උදේ සන්තෝශ් යනවා ජොගිං වලට. මගදි හමුවෙන මිනිස්සු එක්ක කතා කර කර හිනාවෙවී යන සන්තෝශ් ටිකෙන් ටික මේ කැලෑ පාරෙ යද්දි අපිට පේනව එකපාර හැම පැත්තෙන්ම එක දුමාරයක් සන්තෝශ්ව වටකරගන්නව.

තප්පර ගාණකට පස්සෙ සන්තෝශ් බිමට ඇද වැටෙනව. මොකක් හරි නපුරක් බව බලන් ඉන්න අයට තේරෙන්න ගන්නවා.

ඊලඟ මොහොතෙදි අපි දකිනව අර කැලෑ පාරෙ කලන්තෙ දාපු සන්තෝශ් මෙන්න ආයෙ කිසිම දෙයක් වුණේ නෑ වගේ තමන්ගෙ ගෙදරට ඉක්මනට එනව. එන ගමන්ම එයා දරුවො දෙන්නගෙ නම කිය කිය කෑගහනව. “ශක්ති, සරවනන්” කියලා. එහෙම කතා කරන ගමන්ම දරුවො දෙන්න පේන්න නැති හන්ද මෙයා කුස්සියට යද්දි සෙල්වි ඉන්නව කුස්සියේ කෑම හද හද.

සෙල්වි සහ සන්තෝශ් කියන්නෙ හරිම ආදරණීය, හරිම ආදර්ශමත් ජෝඩුවක්.

සන්තෝශ් සෙල්විගෙන් අහනව “කෝ දරුවො දෙන්න” කියල.

සෙල්වි කියනව “කිස් එකක් දුන්නොත් තමයි දරුවො දෙන්න ඉන්න තැන කියන්නෙ” කියල.

මොකක් හරි අපිට නොපෙනෙන, නොතේරෙන හේතුවකට අපිට දැනෙන්න ගන්නව සන්තෝශ් ඉන්නෙ දරුවො දෙන්න ඉන්නෙ කොහෙද කියල දැනගන්න ලොකු උවමනාවකින් බව. ඉතින් එයා සෙල්වි ඉල්ලන විදියට සෙල්විට ලං වෙනව කිස් එකක් දෙන්න. එතකොට තමයි සෙල්වි කුස්සියෙ පැත්තක තියන වීදුරුවකින් දකින්නෙ මේ ඉන්නෙ තමන්ගෙ ආදරණීය සැමියා නෙවෙයි එයාගෙ වෙස් ගත්ත යකෙක් බව.

වෙන වෙලාවක නම් කලබල වෙන්න තිබුණා. ඒත් තමන් අම්මා කෙනෙක්. තමන් හැමදේටම කලින් තමන්ගෙ දරුවො දෙන්න ගැන හිතන්න ඕන.

සෙල්විට ජීවිතාශාවට කලින් ඉස්සර වෙනව දරුවන්ව මේ නපුරු බලවේගයෙන් බේරගන්න තියෙන උවමනාව. එයා කිසිම බයක් නෑ වගේ සන්තෝශ්ට කියනව “දරුවො දෙන්න ළිඳ ලඟ සෙල්ලම් කරනව. ඔයා ගිහින් බලන්න” කියල. සන්තෝශ්, එහෙම නැත්තම් සන්තෝශ්ගෙ වෙස් ගත්ත බාක් කියන යක්ශය දරුවො දෙන්න හොයාගෙන ළිඳ ළඟට යද්දි සෙල්වි දුවල යනවා දරුවො දෙන්න ඉන්න උඩ තට්ටුවට.

මොන යකෙක්ගෙන් උනත් දරුවො දෙන්න බේරගන්න අම්මා කෙනෙක් කොච්චර කැපකිරීමක් කරනවද කියන එක මේ චිත්‍රපටය ඇතුලෙදි අපිට පෙන්වන්නෙ ඇත්තටම ඇස් වලට කඳුලු ගංගාවක් එක් රැස් කරන ගමන්.

Thamannaa Bhatia අම්මා කෙනෙක්ගෙ ඒ ආදරය, කැපවීම පෙන්වන විදියත් ඇත්තටම හරිම අපුරුයි. ඉතින් කොච්චර දරුවන් දෙන්නාව හංගන්න හැදුවත් යක්ශයට පුලුවන් වෙනව දරුවන් දෙන්නව හොයාගන්න. ඒත් මේ ඉන්නෙ යකෙක් කියල දන්නෙ සෙල්වි එහෙම නැත්තම් අම්මා විතරයි. දරුවො දෙන්න දකින්නෙ තමන්ගෙ තාත්තව. තාත්තගෙ රූපෙ ඇතුලෙ හැංගිල ඉන්නෙ යකෙක් බව දරුවො දෙන්න දන්නෙ නෑ.

ඉතින් තාත්තගෙ වේශයෙන් ඇවිත් දරුවන් දෙන්නව බිලිගන්න බලාගෙන ඉන්න යකෙක් ගෙන් තමන්ගෙ දරුවො දෙන්නව බේරගන්න අම්මා කෙනෙක්ට මොන තරම් නම් කැපකිරීම් කරන්න වෙනවද?

ඒ වගේම අම්මා කෙනෙක් දරුවන් වෙනුවෙන් මොන තරම් භයානක ඉරණමක් උනත් කැමැත්තෙන් භාරගන්නවද?

ඒ ගැන දැනගන්න මේ ලස්සන, සංවේදී වගේම හාස්‍යජනක කොටස් ඇතුළත් කරපු අපූරු චිත්‍රපටය වන Aranmanai 4 ඔයාලා බලන්නම ඕන!

අම්මා කෙනෙක්ගෙ ආදරයට, දරුවන්ව මේ ලෝකයෙ තියෙන ඕනම නපුරු බලවේගයකින් බේරගන්න පුලුවන් බවත්, අම්මා කෙනෙක්ගෙ ආදරය මරණයෙන්වත් දරුවන්ව දාලා යන්නෙ නැති බව මේ චිත්‍රපටයෙන් පෙන්වනවා.

ඉතින් අදම බලන්න – මේ Aranmanai 4.

Related Articles

Don't Miss


Latest Articles