බිරිඳට අසීමිතව ආදරේ කළ සැමියෙක් වුණත් ඊර්ෂ්‍යාව නිසා වෙනස් වෙන්න පුලුවන් – Abhimaan

හින්දි සිනමා ලෝලීන් වඩාත්ම ප්‍රේම කරන චිත්‍රපටියක් කියලා හැඳින්වීම තමයි අභිමාන් ගැන දිය හැකි හොඳම නිර්වචනය. 1973 වසරේ ජූලි 27 වෙනිදා අභිමාන් තිරගත වීම අරඹනවා.

රිශිකේෂ් මුකර්ජී අභිමාන් අධ්‍යක්ෂණය කරනවා.රාග් රාගිනි කියලා නම දෙන්න හිටපු අභිමාන් චිත්‍රපටය ලියන්න තිර පිටපත් රචකයන් කිහිප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. A star is born චිත්‍රපටියේ ආභාෂය මෙයට ලැබුණු බව පැවසුවත් මෙය කිශොර් කුමාර් සහ ඔහුගේ පළමු බිරිඳ ගුහා ඨාකුර්ගේ කතාව, එහෙමත් නැතිනම් සිතාර් වාදන ශිල්පි රවි ශංකර් සහ ඔහුගේ බිරිඳ අන්නාපූර්ණ දේවිගේ කතාව බව කියැවෙන වාද විවාද ඉන්දීය සිනමාව ආශ්‍රිතව එකල පැවතුණා. තවම නැතුවා නෙවෙයි.

මීට ආසන්න ජනප්‍රියත්වයට පත් වූ ප්‍රේම කතාවක් විදියට අපේ කාලයේ චිත්‍රපටිය වෙන්නේ ආශිකි 2 ඒත් අලුත් පරම්පරාවේ අපේ ආදර කතාවක් වෙන රාහුල් ආරෝහිගේ ආදර කතාවට වඩා අපේ අම්මලා තාත්තලා ආදරේ කරපු අභිමාන් චිත්‍රපටියේ සුබීර් සහ උමාගේ ආදරය ප්‍රබලයි,ගැඹුරුයි. කාලය එක්ක ආදරේ පවා වෙනස් වෙන නිසා රාහුල් එක්ක සබීර් වත් ආරෝහි එක්ක උමාවත් සංසන්දනය වැරදි වෙන්නත් පුලුවන්.

හැබැයි ඇත්තටම අභිමාන් කියන්නේ සැබෑ ආදර කතාවක්.ආදරයට වඩා විවාහය ප්‍රබලයි.දෑත දරාගෙන එන ගමනක අත්වැල අතරමඟ ගැලවී යාම ඇත්තටම විය යුත්තක් නොවන බව හැත්තෑවේ දශකයේ හිටිය පෙම්වතුන්ට වගේම අපටත් හැඟීම්බරව කියලා දෙන අහිමාන් චිත්‍රපටිය ආදරවන්තයන්ට අත්පොතක්.එක එක රහට ආදරේ කියලා දෙන නෙල්ලි ගෙඩියක්.

සුබීර් තමන්ගේ පාර හදා ගත්තු ගායකයෙක්.විවාහ වෙන්නේ නෑ කියලා ලොකු කතා කියන ඕනෑම කොල්ලෙක් අහම්බයකින් දකින ඇස් දෙකක් ළඟ ආයේ කොහෙවත්ම නොයා නතර වීම දෛවය ලියන කතාවක්. සුබීර් එහෙම නතර වෙන්නේ උමා ළඟ.ගමක ඉඳන් සින්දු කිය කියා ඉන්න උමා සුබීර්ගේ ආදරවන්තිය වෙලා බිරිඳ බවට පත් වෙනවා. අලුත් මනමාලියක් වෙලා මුම්බායි එන උමා ගායිකාවක් වීමේ ගමන පටන් ගන්නෙ සුබීර්ගෙ උවමනාවට. සුබීර් උමාට ධෛර්යය සහ ආදරය දෙමින් ඇගේ ගමන ස්ථාවර කර ගන්න උදව් කරනවා.

ඒත් ඇය ඉහළ යන්නේ ඔහුටත් වඩා වේගයෙන්. ඇය ඔහුට වඩා ෆෑන්ස්ලාගේ ආදරය දිනා ගන්නවා.අය කරන මුදල ඉහළ යනවා.තමන්ගෙම බිරිඳ තමන් පරයා ඉහළ යාම සුබීර් ආදරවන්තයාගෙන් ඉරිසියාකාරයෙක් බවට පත් කරනවා.උඩඟුකමයි ඉරිසියාවයි රිලේෂන්ශිප් එකක් කෑලි වලට කැඩිලා යන්න ලොකුම හේතු දෙකක්. මේක අතීතයේ වගේම වර්තමානයේ ත් ආදර කතා කේදාන්ත ලෙස අවසන් කරන්න බලපාන හේතුවක්. තමන්ගෙ ජීවිතේ වැඩියෙන්ම ආදරය කරන කාන්තාව නිසා තමන්ගෙ හිතේම මතුවෙන ඊර්ෂ්‍යාවේ සිතුවිලි එක්ක සටන් කරන සුබීර් බීමට ඇබ්බැහි වෙනවා.බිරිද තමන්ට වඩා ක්ශේත්‍රයේ ඉහල තැනක ඉන්නෙ කියන හැගීම සුබීර්ව හීනමානයට පත් කරනව. ඒ නිසාම කාටවත් දරන්න බැරි මුදලක් තමන්ගේ ගී වෙනුවෙන් අය කරන්න පටන් ගන්නවා.

මේ දේවල්වලට හේතුව අවබෝධ කර ගන්න උමා ගායන වෘත්තීය අත් අරින්න හිතුවත් දෙන්නගෙම කළමනාකරු වුණු චන්දර් එයට ඉඩ දෙන්නේ නෑ.උමාට ඇත්තටම අවශ්‍ය වුණේ ගායිකාවක් වෙන්න නෙවෙයි ඔහු සමඟ ගී ගැයීම බව සුබීර් අමතක කිරීම ඇත්තටම උමාට වේදනාවක්.ඇය වෙන් වී යන්නේ ඒ නිසා.
වෙන් වීමත් එක්ක උමා ගැහැනියකට විඳින්න වෙන තවත් ලොකුම වේදනාවක හිමිකාරියක්.වෙනවා. මිස්කැරේජ් එකක්! සමහරවිට එය සුබීර්ගේ වෙන්වීමටත් වඩා ඇයට ප්‍රබලව දැනෙන්න ඇති. සුබීර්ට ඇය නැවත අවශ්‍ය වුණත් වේදනාවන් නිසා ඇය ගලක් බවට පත් වෙලා අවසන්.නමුත් දෙන්නාගේ මුණ ගැහීමට හේතු වුණු වෙන් වීමට හේතු වුණු සංගීතය නැවතත් මේ දෙන්නා එකතු කරනවා.බිදුණු හිත් එකතු වෙන්නේ ප්‍රේක්ෂකයන් වඩාත් සංවේදී කරමින්.Tere Mere Milan Ki Yeh Raina ගීතය මේ චිත්‍රපටියේ වඩාත්ම සංවේදී තැනක්. උමා ගීතය අතරමැද ඉකි ගසද්දී කිශෝර්ගේ සහ ලතාගේ කම්පිත සහ ප්‍රේමණීය ගී හඬ අපට කියන්නේ එකම එක දෙයක්. “ආදරයක් කිසි දවසක අවසන් වෙන්නේ නෑ..”

අමිතාභ් භච්චන් සහ ජයා භච්චන්ගේ රංගනයේ අපූර්වත්වය නිසා උමා සහ සුබීර් අදටත් හින්දි සිනමා ලෝලීන්ගේ හදවතේ ජීවත් වෙනවා.අභිමාන් චිත්‍රපටයේ සංගීතය එස්.ඩී බර්මන්ගේ.එස්.ඩී බර්මන් ට 1974 ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම සංගීත අධ්‍යක්ෂණට හිමි සම්මානය හිමි වූවා. 1974 වසරේ ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය වෙන්නේ ජයා භච්චන්.

අභිමාන් චිත්‍රපටියේ ගීත හත අද දක්වාම ජනප්‍රිය ගීත හතක්. අපේ රටත් අභිමාන් උන්මාදයට පත් වූ රටක්. අපේ රටෙත් එම්පයර් සිනමා ශාලාවේ දවස් පන්සිය අනූවක් අභිමාන් තිරගත වෙන්නේ ඒ නිසා.

අභිමාන් අපේ කාලයේ චිත්‍රපටයක් නෙවෙයි තමයි. හැබැයි ආදරය ගැන වඩා ගැඹුරු විදියට අපට කියා දෙන කතාවක්. ඒ වගේම අතීතයටත් වර්තමාන‍යටත් පොදු ආදරය විනාශ කරන අපි ලගම ඉන්න සතුරන් ගැන කියල කතාවක් රැගත් චිත්‍රපටයක් නිසා අභිමාන් ඕනෑම කාලයක ආදවන්තයන් රසවිදිය යුතුම කතාවක්.

අන්න ඒ නිසා ඒ සංවේදනාව ඔබ විඳිය යුතුම එකක්.

Related Articles

Don't Miss


Latest Articles