අපේ ඇස් කියන්නෙ බාහිර ලෝකය අපිට විවර කරල දෙන්න උපකාරී වෙන ඉතාම වැදගත් ඉන්ද්‍රයන් අතරින් එකක් කියල ඔබ දන්නවා.
ඒත්, කොයිතරම් වැදගත් ඉන්ද්‍රයක් වුනත්, අපි ඇසේ නීරෝගී බව සහ ඇස ආරක්ෂා කර ගැනීම කියන කාරණා ගැන දක්වන අවදානය ඉතාම අඩුයි.
නමුත්, ශරීරයේ සෑම කොටසකටම වගේම ඇසේත් විවිධ සෞඛ්‍ය ගැටළු ඇතිවෙන්න පුළුවන් වගේම මුලදීම ඒවා හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්යයි.
අන්න ඒ නිසා අක්ෂි රෝග ගැන ඔබ දැන සිටිය යුතුම ඉතාම වැදගත් කරුණු කාරණා කීපයක් ඔබත් එක්ක බෙදාගන්නයි මේ ලිපියෙන් අද අපි සූදානම් වෙන්නෙ.
මුලින්ම අපි බලමු අක්ෂි රෝගයක් කියන්නෙ මොකක්ද කියල?
අක්ෂි රෝග කියන්නෙ මොනවද?
අක්ෂි රෝගයක් යනු, ඔබේ ඇසේ ඕනෑම කොටසක වගේම ඇස් වටා ඇති ප්‍රදේශයන් වලත් ඇතිවෙන්න පුළුවන් සෞඛ්‍ය ගැටළුවක් විදිහට හඳුනාගන්න පුළුවන්.
මේ තත්වයන් එක්වරම ඇතිවී වර්ධනය වෙන්න පුළුවන් වගේම සෙමින් සෙමින් වර්ධනය වී දිගු කාලයක් පවතින / නිදන්ගත තත්වයන් වෙන්නත් පුළුවන්.
අපි මුලින් සඳහන් කල ආකාරයටම අක්ෂි රෝග අක්ෂි ගෝලය / ඇස තුළ ඇතිවෙන්න පුළුවන් වගේම ඇස් වල පේශි, අක්ෂි කුහරය, ඇස වටා ඇති සම සහ මාංශපේෂි වලත් ඇතිවෙන්න පුළුවන්.
වෛද්‍ය විද්‍යාවට අනුව අක්ෂි රෝග ඉතා විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන තියෙනව වගේම ඒවා ඉතා සුලභ, ඉක්මණින් සහ මුල් අවධියේදීම හඳුනා ගැනීමෙන් ප්‍රතිකාර ලබාදී සුවකල හැකි තත්වයන් විදිහට සඳහන් වෙනවා.
අක්ෂි රෝග සුලභ ඇයි ?
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට ලෝක ජනගහනයෙන් බිලියන 2.2 කට ආසන්න ප්‍රමාණයක් යම් අක්ෂි රෝගයකින් පෙළෙන බව සඳහන් වෙනවා.
අක්ෂි රෝග මෙතරම් සුලභ වීමට බලපාන ප්‍රධාන හේතුව ලෙස ඇස ඔබේ ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රයන්ගෙන් වෙන්ව හුදකලා ඉන්ද්‍රයක් ලෙස නොපැවතීම බවයි හඳුනාගෙන තිබෙන්නේ.
අනෙකුත් බොහෝ ශරීර කොටස් හා ඇස සම්බන්ධ නිසා ඒ ඒ ශරීර කොටස් වල ඇතිවෙන යම් යම් සෞඛ්‍ය ගැටළු ඇස් වලටත් බලපෑම් කිරීම සිදුවෙනවා. ඒ නිසා අක්ෂි රෝග ඇතිවීමේ ප්‍රවණතාව වැඩි බවයි සඳහන් වෙන්නෙ.
අක්ෂි දෝෂ ඇතිවෙන ආකාරය අනුව කොටස් කීපයකට බෙදා දක්වන්න පුළුවන්.
විවිධ වර්ගවල අක්ෂි දෝෂ
අක්ෂි රෝගය ඇතිවී ඇති ඇසේ කොටස අනුව,
අක්ෂි රෝගය ඇතිවූයේ ඇසේ ගැටළුවක් නිසාද, ශරීරයේ වෙනත් කොටසක ඇතිවූ සෞඛ්‍ය ගැටළුවක් නිසාද යන්න මත,
අක්ෂි රෝගය නිසා ඇතිවෙන රෝග ලක්ෂණ අනුව,
එක්වරම ඇතිවූ බරපතල තත්වයක්ද, ටිකෙන් ටික වර්ධනය වෙමින් දීර්ඝකාලීනව පවතින නිදන්ගත තත්වයක්ද යන්න මත සහ
පෙනීමේ දෝෂයක්ද, ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවූ යම් ගැටළුවක්ද යන හේතු අනුව අක්ෂි දෝෂ විවිධ කොටස් වලට බෙදා වෙන් කරන්න පුළුවන්.
අක්ෂි රෝග ඇතිවීමට බලපාන හේතු
ජාන වලින් උරුම වන අක්ෂි ගැටළු (වර්ණාන්ධතාව/ අන්ධභාවය)
කළල අවස්ථාවේදී හෝ කුඩා කාලයේදී ඇතිවෙන්න පුළුවන් ඇස් වල වර්ධන ගැටළු
පාරජම්බූල කිරණ වලට සහ රසායනික ද්‍රව්‍ය වලට නිරාවරණය වීම, ආර්ද්‍රතාවය, උෂ්ණත්වය, දූවිලි හෝ වාතයේ ඇති වෙනත් හානිකර අංශු වැනි පාරිසරික ගැටළු
වෛරස්, බැක්ටීරියා, දිලීර සහ පරපෝෂිත ආසාදන රෝග
අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත සෞඛ්‍ය ගැටළු
දුම්පානය, පෝෂණය හිඟකම
ඊළඟට අපි බලමු බහුලව හඳුනාගන්න ලැබෙන අක්ෂි රෝග මොනවද කියල?
බහුලව හඳුනා ගන්න ලැබෙන අක්ෂි රෝග
ඇසේ සුද ඇතිවීම
දූර දුෂ්ඨිකත්වය (පැහැදිලිව ලඟ නොපෙනීම සහ දුර පෙනීම)
අවිදූර දුෂ්ඨිකත්වය (පැහැදිලිව දුර නොපෙනීම සහ ලඟ පෙනීම)
ග්ලූකෝමා
වයසත් සමඟ වන අක්ෂි පරිහානිය / හතලිස් ඇඳිරිය
තුවාල නිසා ඇතිවෙන අක්ෂි දෝෂ
හොඳයි, අක්ෂි රෝග පිළිබඳ අවබෝධයක් දැන් ඔබට ලැබිල ඇති කියල අපි විශ්වාස කරනවා.
අපි මුලිනුත් කීව වගේ ශරීරයේ ඕනෑම කොටසක ඇතිවෙන සෞඛ්‍ය ගැටළු වගේම ඇස් වල ඇතිවෙන දෝෂත් මුලින් හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙන්නෙ එය ඉදිරි ප්‍රතිකාර සඳහා වඩාත් ප්‍රයෝජනවත් සහ වාසිදායක වන නිසයි.
ඒ නිසා, අක්ෂි දෝෂ ඇතිවීම ඔබට දැනුම් දෙන රෝග ලක්ෂණ ගැන අවබෝධයෙන් සහ අවදානයෙන් සිටීම ඉතාම වැදගත් ඒ නිසා අපි ඊළඟට බලමු අක්ෂි රෝග හඳුනාගන්න උපකාරී වෙන රෝග ලක්ෂණ මොනවද කියල?
රෝග ලක්ෂණ
ඇසේ වේදනාවක්, කැසීමක්, දැවිල්ලක් හෝ වෙහෙසකර ගතියක් දැනීම
ඇසි පිය හෙලීම අපහසු වීම, ඇස් වල කඳුළු පිරි ස්වභාවයක් හෝ ඇස් වලින් කඳුළු ගැලීමක් දක්නට ලැබීම
ඇසේ සුදු පැහැ කොටස රතු හෝ කහ පැහැයට හැරීම, ඇසේ බබා / කළු බෝලය පළලින් අඩු වීම
බොඳවී පෙනීම, දර්ශනයන් දෙකක් පෙනීම සහ බටයක් තුළින් බලනවා හෝ ටිකෙන් ටික නොපෙනී යන ස්වභාවයක් දැනීම
ඇස් චලනය / ඇස් එහෙමෙහෙ හරවමින් බැලීමට අපහසු වීම
වගේ රෝග ලක්ෂණ හඳුනාගන්න පුළුවන්.
දැන් අපි බලමු අක්ෂි රෝග ඇතිවෙන්න බලපාන හේතු මොනවද කියල.
ඉතිං මේ රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් ඔබට තියෙනව නම් වෛද්‍යවරයෙක් හමුවී හැකි ඉක්මණින් උපදෙස් ලබා ගැනීම වගේම ඔබ දියවැඩියාව, රුධිර පීඩනය හෝ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත යම් සෞඛ්‍ය ගැටළුවකින් පෙළෙනවා නම් ඔබේ ඇස් වල නීරෝගී බව ගැන වැඩි අවදානයක් යොමු කිරීම අත්‍යාවශ්‍යයි කියලත් අපි මතක් කරන්න කැමතියි.
ඒ වගේම වසරකට වරක්වත් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවී ඔබේ ඇස් පරීක්ෂා කරගැනීමෙන් අවදානම් කල්තබා හඳුනා ගැනීමේ හැකියාවත් ඔබට ලැබෙනවා.
එහෙනම්, තවත් මෙවැනි වැදගත් ලිපියකින් ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි අද ලිපිය අවසන් කරනවා.
සටහන – දුලානි නවෝද්‍යා