මේඝා නිවසට ආවේ ධනුක සහ නිකිනි සමඟය. මේඝාට පිහිට වූ අහස්ට මේඝාගේ නිවසට ආරාධනා කරන්නට ධනුක දෙවරක් සිතුවේ නැත. නිවසට පැමිණි විගසම සෝෆාවේ වාඩි වූ මේඝා දෑස් පියා ගත්තාය.
” ඔයා හුඟක් වෙනස් වෙලා මේඝා. මං මුලින්ම Rainbow Eye එකට එනකොට දැක්ක කෙනා නෙමෙයි දැන් ඉන්නේ.ඇයි ඒ ? ”
අහස් ඇසුවේ රෝහලේදීය. හැඬෙන්නට ආවත් මේඝා එය ආයාසයෙන් දරා සිටියේ නිම්නාද ගැන මතකය නැවත ආවර්ජනය කරන්නට බියෙනි. නිදහසේ විඳි ජීවිතය මෙතරම් සංකීර්ණ සහ කටුක එකක් වන්නට විශාලම හේතුව වූයේ ඔහුට ආදරය කිරීමය. එහෙත් ඔහුට අනුව ආදරය කර ඇත්තේ සහ ආදරය ගැන බලාපොරොත්තු තබා ගෙන සිට ඇත්තේ තමා පමණකි. නිම්නාද තමා සමඟ ජීවිතය බෙදා ගත් ආකාරයට එය කෙසේ නම් විශ්වාස කරන්නද ?
ධනුක, නිකිනි සහ අහස් පිටව ගියේ රාත්‍රිය වන තෙක් මේඝා සමඟ ගත කිරීමෙන් පසුවය. අහස් වැඩිපුරම කතාබහ කලේ ධනුක සහ නිකිනි සමඟ වුවත් එම කතා බහ මේඝාගේ අතීතය පිළිබඳව නොවන්නට අහස් වග බලා ගත්තේ එය ඒ මොහොතේ හාරවුස්සන්නට සුදුසු එකක් නොවන බව සිතමිනි.
මේඝා ඉරිදා දවස ඔහේ ගෙවා දැම්මේ සඳුදා සිට නැවතත් කාර්යාලයේ වැඩ ආරම්භ කළ යුතු හෙයිනි. පෙර දිනයේ සිදුකෙරුණු රූගත කිරීම සාර්ථකව අවසන් කර ගත හැකි වුනු නිසා මේඝා සිටියේ ඒ පිළිබඳ තෘප්තිමත් වූ හැඟීමකිනි.
” Good morning මේඝා. ඔයාට කොහොමද ? අද ඔෆිස් යනවද ? ”
සඳුදා උදෑසනම මේඝාට ලැබුනු කෙටි පණිවිඩය අහස් ගෙනි. මේඝා එයට ” ඔව් යනවා ” ලෙස පමණක් සටහන් කර පිළිතුරු යැව්වේ කාර්යාලයට යාමට සූදානම් වන අතරතුරය. කළ යුතු වැඩ බොහෝමයක් බොහෝ දුරට සම්පූර්ණ කර තිබූ නිසා සඳුදා දිනක වුවද මේඝාට කාර්යාලයට යාමට එතරම් කලබලයක් තිබුණේ නැත.
” මං අද කොල්ලුපිටියට එනවා ඔයාව හම්බවෙන්න ”
අහස් එසේ සටහන් කර මේඝාට පණිවිඩයක් එව්වේ දෙවරක් නොසිතමිනි. එය ඇරයුමක්ද නැත්නම් විධානයක්ද කියා සිතන්නට මේඝා වෙහෙස වූයේ නැත. විශේෂයෙන් කාර්යබහුල නොවන දවසක් නිසා අහස් මුණගැහෙන්නට බාධාවක් නැතැයි කියා මේඝා ඒ මොහොතේ සිතුවාය. ඒ නිසා කාර්‍යාලයට ඇමතුමක් ගෙන නිවසේ සිට වැඩ කිරීමට මේඝා අවසර ලබා ගත්තාය.
අහස් කොල්ලුපිටියට පැමිණියේ උදෑසන දහය හමාරට පමණය.පැමිණිය යුතු තැන මේඝාට දන්වා තිබූ නිසා අහස් උන්නේ අවන්හලට වී ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙනි.
එකොළහ පහු වනවිට මේඝා අවන්හලේ දොරෙන් ඇතුලු වන ආකාරය අහස් බලා උන්නේ මද හිනාවක් මුහුණෙහි රඳවාගෙනය. ඒ හිනාව ව්‍යාජ එකක් වූයේ ඉතා සැහැල්ලුවෙන් ළදැරියක සේ හුන් මේඝාගේ සිනහව ඇය වෙතින් සම්පූර්ණයෙන්ම පලා ගොස් ඇති ආකාරය දුටු විටය.
මේඝා අවන්හල පුරාම දෑස් යවා අහස්ව සොයා ගෙන ඔහු වෙත පැමිණ අසුන් ගත් විට ඇයට දැනුනේ සැහැල්ලුවකි. හිතවත් කවුරුන් හෝ ලඟ ඉන්නවා යැයි දැනෙන හැඟීමකි . ඒ සියල්ල අතරේ අහස් උන්නේ මේඝාගේ ඉරියව් නිරික්ෂණය කරමිනි.
” සොරි මං පොඩි වෙලාවක් පරක්කු උනා ”
මේඝා වටපිට බලන්නේ කලබලයෙනි.
” ඔයාට මෙතන කම්ෆර්ටබල් නෑ වගේද මේඝා ?”
අහස් ඇසුවේ සෙමෙන් නමුත් ඒ මොකද්දෝ දයාබර බවකින් බව මේඝාට නොදැනුනා නොවේ.
” න්.. නෑ..මේ.. මෙතන සමහර මෙමරීස්… ”
මේඝාට වචන එන්නේ නැත. අහස් මේසය මත තිබූ වාහනයේ යතුරද , දුරකථනයද අතට ගත්තේ එසැණිනි
” Ok then , Shall we go somewhere else? ”
” No, let’s stay here ”
අහස් නැවත දුරකථනයද යතුරද මේසය මත තිබ්බේ වෙලාවද බලමිනි
” ඔයාට ඉක්මනින් ආපහු යන්න ඕනෙද මේඝා ? ”
” නෑ. මං අද Work from home arrange කර ගත්තා ”
” එහෙනම් අපි ලන්ච් ගමු මෙහෙන් ”
අහස් කීවේ මෙනූ පත පරික්ශා කරමිනි. මේඝා කන්න ආස මොනවා දැයි කියා කිසිඳු අදහසක් නොතිබුනද ඇය කැමති වේ යැයි සිතන යමක් වේදැයි අහස් මෙනූ පත පෙරලමින් සිතුවේය.
” මට බඩගිනි නෑ අහස් මං කොෆි එකක් බීපු ගමන් ආවේ ”
මේඝා කියන්නේ අපහසුවෙන් වචන අහුලමින් නිසා අහස්ට දැනුනේ අනුකම්පාවකි
” ඇත්තද ? ඔය බඩගිනි නැති එක නම් ලෙඩක්. ඔය ලෙඩේ මටත් කාලයක් සැරටම තිබ්බා ”
හිතේ සැනසීමක් නැති විට බඩගින්න දැනෙන්නේ නැති වග අහස් අත්දැකීමෙන්ම දනී. මේඝා කැමති වේ යැයි සිතා Sea food noodles ද , Orange juice දෙකක් ද ඇණවුම් කල අහස් කොහෙදෝ බලාගෙන කල්පනා කරන මේඝා දෙස මොහොතක් බලා සිටියේය
” ඉතින් දැන් හොඳයි ද ? ”
මේඝා ඇසුවේ අහස් දෙස බලමිනි. ඇය ඇසූ දේ අහස්ට එකවරම වැටහුනේ නැත
” මොකද්ද ? ”
අහස් අනිත් අතටම ඇසුවේය
” කාලයක් තිබ්බා කිව්ව ලෙඩේ ? ”
මේඝා කියනවිට අහස්ට එකවරම සිනා ගියේත් මේඝාත් ඒ සිනාවටම එකතු වූයෙත් අවට ලෝකය ගැන අමතක වූවා සේය.
” ඉතින් මට කියන්න , ඔයා මොකක් හරි ලොකු කතාවක් හිතේ තියාගෙන විඳවනවා නේද ? ”
අහස් මේඝාගේ මුහුණට එබුණේ සිනහව නවතාය.මේඝා දෑස් ඉවතට ගත්තේ නිකිනිත් ධනුකත් පමණක් දන්නා ඒ ශෝකාලාපය අහස් වෙතත් දිගහරිනවාදෝයි සිතමිනි.
” මං ගෙස් කරනවා ඒක ඔයාගේ රිලේශන්ශිප් එකක් ගැන ප්‍රශ්නයක් කියලා. මොකද… අවුරුදු ගානකට කලින් මං දැක්ක මේඝා නෙමෙයි දැන් ඉන්නෙ”
වසර ගණනාවකට පෙර සිටි තමාට සිදු නොවූයේ මොනවාදැයි මේඝා එවර සිතුවාය. නිම්නාද ගියේ සියල්ල රැගෙනය. ඉතිරි වූයේ ජීවිතය පමණකි. එයද රැකුණේ හොඳම යාලුවන් වන ධනුකටත් නිකිනිටත් පින් සිදුවන්නටය.
” ඔයා හරි ”
අවසන මේඝා කියා දැම්මාය. ආදරය වනාහි මිනිසුන්ගේ ජීවිතවල කොයිතරම් පෙරළියක් කරන්නට හැකි දෙයක්දැයි අහස් සිතුවේ මේඝාගේ ඒ පිළිතුරත් සමඟය.
” මොකද උනේ ? හ්ම් ? ”
අහස් හරිබරි ගැහී වාඩි වුනේ දිගු කතාවකට සවන් දෙන්නට මෙනි.
” එයා මාව දාලා ගියා ”
මේඝා කීවේ කෙටියෙනි. ඒත් දුකෙනි
” එච්චරද ? ”
අහස් කම්මුලට අතක් තියා ගත්තේය.
” නෑ.. ”
අහස් බලා උන්නේය. මේඝාට කතා කරන්නට දිය යුතු බව අහස් සිතු නමුත් ඇය වචන අහුලන බව පමණක් ඔහු දුටුවේය. අවන්හලේ සේවකයා පිළිගැන්වූ දොඩම් වීදුරුවෙන් උගුරු කීපයක් මේඝා එක දිගට පානය කලේ ඒ අපහසුවෙන් යැයි අහස්ට සිතුනද ඔහු කිසිවක් කීවේ නැත. නමුත් මේඝා ඉන්නේ හොඳ තත්වයක නොවන බව තේරුම් ගැනීමට ඇගේ ඒ ඉරියව් පමණක්ම අහස්ට ප්‍රමාණවත් විය.
” මට හැමදේම නැති වුණා . මගේ ජීවිතේ අද මෙහෙම හරි බේරිලා තියෙන්නේ මගේ හොඳම යාළුවො දෙන්න නිසා ”
මේඝා නතර විය. දෑස් කඳුලින් පෙගී එනු ඇයට දැනුනි.
” ඔයා කියාගෙන යන්න. අඬන්න ඕන නම් අඬන්න. මෙතන ඔයාට මොකුත් කියන්න කවුරුත් නෑනේ. ඒත් අහගෙන ඉන්න මම ඉන්නවා ”
අහස් එවදන් පිටකර අවසන් වන විට මේඝා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.
” මං කියන ඕන දෙයක්, ඕන වෙලාවක් අහන් ඉන්නවද ? ”
මේඝා ඇසුවේ ඇත්තටමය.