ඒකපාර්ශ්වික 20

මේඝා නිවසට එනවිට හවස හතරට ආසන්න වී තිබුණි. වෙනදා දැනෙන වෙහෙසකර බව වෙනුවට ඇගේ හිතට දැනුනේ තරමක සැහැල්ලුවකි. අහස් නිවස අසලින්ම තමාව බස්සවා ගිය නිසා පැය ගණනාවක් තිස්සේ ඌබර් එකක් දමන්නට හෝ දුරකථනය බලන්නට උවමනාවක් නොවූ බව මේඝාට සිහිවුනි. අත් බෑගයට අත දමා දුරකථනය ගත් මේඝා එය පරික්ෂා කරන විට ධනුකගෙන් සහ නිකිනිගෙන් මගහැරුණු ඇමතුම් කිහිපයක්ම තිබුණි. මේඝා මුලින්ම ගත්තේ නිකිනිටය 

” කොහෙද බං ඉන්නේ? මම කෝල්ස් කීයක් ගත්තද ? ” 

නිකිනිගේ හඬ කලබලය. ඒ තමන් ගැන පැය ගණනාවක්ම තොරතුරක් නැති නිසා බව මේඝා දනී

” මං ගෙදර ” 

මේඝා සෝෆාවේ දිගා වුනාය.

” උඹ කිව්වනේ උදේ ඔෆිස් යනවා කියලා ? ගෙදර මොකද්ද කරන්නෙ එතකොට  ” 

” මං ගියේ නෑ නිකී . උදේ මාව හම්බවෙන්න යාළුවෙක් ආවා. අපි පොඩි චැට් එකක් දාගෙන හිටියේ. පස්සේ එයා මාව ගේ ළඟින් බස්සගෙන ගියා ” 

තමා මුණගැහෙන්නට ගියෙ අහස්ව බව මේඝා ඒ මොහොතේ නිකිනිට කියන්නට ගියේ නැත. එය ගියහොත් මේ මොහොතේ තවත් ප්‍රශ්න වැලකට පිළිතුරු සපයන්නට සිදු  වන්නේය.

” දැන් ඔය කාල බෙහෙත් බීලද ඉන්නේ? ” 

” කෑවා. බෙහෙත් නම් අමතක උනා ” 

” ආයෙත් පටන් ගත්තද සෙල්ලම ? මේ සෙනසුරාදා ඔයාට ඩොක්ටර් විසිට් එක හරිද ? අමතක කරන්නෙපා මේඝා ” 

නිකිනි මේ උපදෙස් දෙන්නේ තමන්ට ඇති ආදරය නිසා බව දන්නා නිසාම මේඝා කිසිවක්ම කීවේ නැත. 

පසුගිය හෝරාවන් කිහිපය වේගයෙන් ගෙවී ගියේ කෙසේදැයි අහස් කල්පනා කළේය. මේඝා වැනි තරුණියක් ඒ සා විශාල දුකක් විඳ දරාගැනීමම පුදුමයකැයි ඔහුට සිතුනි. අහස්ගේ හිතට දැනුනෙ බරකි. ඔහුට ඒ බර නිදහස් කරගන්නට දැඩි ලෙස උවමනා විය. 

” රෑට Long Bar එක පැත්තේ යමුද ? ” 

අහස් කෝකටත් සිටින මිතුරා වන විශ්මිතට ඇමතුමක් දී ඇසුවේය

” ඇයි ඒ පාර උඹට බොන්න ඕන ප්‍රශ්නයක්ද ? ” 

විශ්මිත පිළිතුරු දුන්නේ සිනාසෙමිනි

” ඔව් ඒ වගේ එකක් තමයි. මේක ඇහුවහම උඹට බොන්න නෙමෙයි බීලා මැරෙන්න හිතෙයි ” 

” උඹ අරන් දෙනවා නම් ඉතින් බීලා මැරුණත් මොකද ? හතට විතර සෙට් වෙමුකො එහෙනම්  ” 

අහස් දුරකථන ඇමතුම අවසන් කර යළි කල්පනාවට වැටුනේ මේඝාගේ මුහුණු පොතට පිවිසෙන අතරේය. එහි මේඝාගේ බොහෝ ඡායාරූප තිබුණු අතර ඒ අතර නිම්නාද ද ඇය සමඟ විය. මෑත කාලයේ ඇය පළ කර තිබූ සමහර ඡායාරූපවල ඇගේ සිනහව යට තිබෙන අසීමාන්තික ශෝකය අහස්ට හඳුනා ගන්නට අපහසු වූයේ නැත. 

අහස් බොහෝ වේලාවක් මේඝාගේ ඡායාරූප අතර කාලය ගත කර විශ්මිත මුණගැසීම සඳහා යාමට සූදානම් වූයේය. වෙනදාට වඩා අද හිත කුමකින් හෝ බරවී ඇති බවත් , ඒ බර කෙසේ හෝ නිදහස් කර ගත යුතු බවත් අහස්ට ආයේ ආයෙම දැනුනි.

” ඌ මාර බුවෙක්නේ බං. මට පොඩ්ඩක් පෙන්නහන් ඔය කෙල්ලගේ ෆොටෝ එකක් ” 

මේඝා ගැන බොහෝ විස්තර ඇසීමෙන් පසුව විශ්මිත කීවේය. අහස් ආයෙම මේඝාගේ මුහුණ පොතට පිවිස ඇගේ ඡායාරූපයක් විශ්මිත වෙත ගෙන හැර පෑවේය.

” ශහ්… උඹට බැරිද මේකිව මට සෙට් කරල දෙන්න ? ” 

විශ්මිත මත්පැන් විදුරුව තොල ගෑවේ සිනාසෙමිනි.

” ඊශා වගේ ඔලුව කාලා ජීවිතේ අපායක් කරලා යන කෙල්ලෝ අස්සේ මේ වගේ කෙල්ලොත් ඉන්නවා කියලා අද මට සිරාවටම හිතුණා බං ” 

අහස් තවත් මත්පැන් විදුරුවක් ඇණවුම් කලේය. Long Bar එක අහස්ටත් විශ්මිතටත් නුපුරුදු තැනක් නොවේ.එතරම් සුපුරුදු තැනකත් අද අහස් උන්නේ නොසන්සුන් වීය. 

” උඹට මතකද අහස්,  ඊශා උඹට පොල්ල තියලා මාස තුනක් යන්නත් කලින් තව එකෙක් සෙට් කර ගත්තා. ඒකත් අර උඹ එක්ක කලින් ජිම් ගිය එකා එක්ක  ” 

ඊශා තම ජීවිතයට කළ හානිය අහස්ට අමතක නැත. එදවස ඒ හිත් වේදනාවෙන් මිදෙන්නට තමා තමාගේම හදවත සමග බොහෝ අරගල කළ බව අහස්ට මතකය. නමුත් මේඝා වෙනස්‍ ය. ඇය සියල්ල කර ඇත්තේ ආදරය වෙනුවෙනි.කුඩා කල සිටම පවුලෙන් පවා අහිමි වූ ආදරය සොයා කුඩා එකියක් ලෙස මේඝා නිම්නාද ඉදිරියේ වැඳ වැටෙන්නට ඇති බව අහස්ට සිතුනි. ඒ සිතුවිල්ල සමඟ ඔහුට දැනුනේ වේදනාවකි. 

මිනිසුන් ආදරය සොයා යන්නේ එක එක ආකාරයටය. ඊශා ආදරය පෙන්වා මිල අධික භෞතික දේවල් පසුපස හඹා යද්දි මේඝා කිසිවක්ම බලාපොරොත්තු නොවී ආදරය විතරක්ම සොයා ගොස් අතරමං වන්නට ඇත. ” ගෑනු ඔක්කොම එකයි ” කියා කවුදෝ කීවාට ඇත්තටම එහෙම නැති බව අහස්ට සිතෙන්නෙ ඒ නිසාය.

මේඝා කෝපි කෝප්පය නහයට ලංකර දිගු හුස්මක් ගත්තාය. කෝපි සුවඳින් ආත්මයම පිරී යන බව දැනෙද්දි මේඝා තිගැස්සී ගියේ නිවසේ සීනුව නාද වන හඬිනි. වෙලාව රාත්‍රී නමයත් පසු වී ඇත.මේඝා දොර ලඟට ගියේ සෙමිනි.ඇයට සිහිවූයේ නිම්නාදවය. නිම්නාද පැමිණ ඇති බව ඇයට නිකමට මෙන් සිතුනි.හදවත වේගයෙන් ගැහෙන්නටත් , අතැඟිලි වෙව්ලන්නටත් පටන් ගත්තේ එකම විටය. වේගයෙන් හුස්ම ගනිමින් මේඝා එකවරම දොර හැරියාය.

” මේඝා.. මොකද බං ? ” 

දොර අසල උන්නේ නිම්නාද නොවේ.ධනුක සහ නිකිනි ය. බොහෝ කලබල ස්වරූපයකින් වේගයෙන් හුස්ම ගනිමින් දොර විවෘත කළ මේඝාව දුටු සැනින් නිකිනි ඉදිරියට පැන ඇගේ අතින් අල්ල ගත්තාය

” මේඝා ඇයි මේ ? ” 

නිකිනි වේගයෙන් මේඝාව සෙලවූයේ බියෙනි

” මං.. මං හිතුවේ.. ” 

” අරූ ආවා කියලනේ ” 

ධනුක නිකිනිවත් මේඝාවත් තල්ලු කරගෙන නිවසට ඇතුලුවී අත තිබූ පාර්සල් කීපය මේසය උඩින් තැබුවේ කෝපයෙනි.මේඝා තවමත් උන්නේ ගල් ගැසීය. මේසය මත තිබූ කෝපි කෝප්පය අතට ගත් ධනුක මේඝා දෙස බැලුවේ රවමිනි

” මේ බලපංකෝ ඉතින් . නින්ද යන්න බෙහෙත් බොන ගෑනි මහ රෑට කෝපි හදාගෙන බොනවා.උඹව නම් හදන්න බෑ මේඝා ” 

නිකිනි මේඝාගේ අතින් අල්ලාගෙන විත් සෝෆාව මත වාඩි කරවූයේ ඇය ඔවුන්ගේ පැමිණීම නොව නිම්නාදගේ පැමිණීම අපේක්ශා කරන්නට ඇතැයි අනුමාන කරමිනි.ධනුක , රැගෙන ආ බර්ගර් එක පිඟානක් මත තබා මේඝා ඉදිරියෙන් තැබුවේද ඇයට රවමිනි

” ඇත්තමයි මේඝා උඹවනං ගලේ ගහලවත් හදන්න බෑ. මෙන්න මේක කාලා හිටපං. දවලුත් බෙහෙත් බීලා නෑලුනේ. රෑටවත් ඔය ටික පොවලා යන්න අපි ආවේ ” 

” මේ ගෙදර හතර මායිමේ කෑමක් නෑ කියලා දන්න නිසා තමයි කෑමත් අරගෙනම ආවේ ” 

ධනුකගේ කතාවට නිකිනි අඩුවැඩිය එකතු කලාය. මේඝා පිඟාන දෙස ඔහේ බලා උන්නා මිස කිසිවක් කීවේ නැත.

” කවුද අර දවල් හම්බ වෙන්නෙ ගියැයි කිව්ව අපි නොදන්න යාලුවා ? ” 

ධනුක ඇසුවේ මේඝාගේ රාත්‍රී බෙහෙත් වේල තෝරන අතරේය.

” ආ.. මාත් අහන්න තමයි හිටියේ. ඔෆිස් එකෙනුත් පැනලා ගිහින් හම්බවුනේ කොල්ලෙක්වද ? ” 

නිකිනි සිනාසෙමින් මේඝාට තට්ටුවක් දැම්මාය.

” ඔව් ” 

මෙතෙක් වෙලා නිහඬව සිටි මේඝාගේ පිළිතුර ඇසුනු විට ධනුකත් නිකිනිත් මුහුණෙන් මුහුණ බලාගත්තේ එකවිටය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles