” උඹත් එක්ක Facebook එකේ ෆොටෝ එකක් දානවා තියා උඹ දාන ෆොටෝ එකකට ලයික් එකක්වත් නොදානකොට උඹට තේරුනේ නැද්ද ඌ කරන්නේ මොන වගේ බොරුවක්ද කියලා ? ”
නිකිනි අසන්නේ උදේ පාන්දරම දුරකථනය ඔස්සේ හඬා වැටෙන මේඝාට පිළිතුරු දෙමිනි. කොහේදෝ සාදයක සිට වර්ෂාව තුරුලු කර ගෙන ගත් ඡායාරූපයක් නිම්නාද මුහුණු පොතට පළ කර තිබුණේ ආඩම්බරයෙනි. දවසක් මුළුල්ලේම මේඝාට හඬා වැටෙන්නට ඔය ඡායාරූපයම ප්‍රමාණවත් බව නිකිනි දනී.
” ඔය සතාව අමතක කරලා දැන් ඔයා ගැන හිතන්න ඕන කාලේ මේඝා මේක. ආදරේ කියන්නේ මොකක්ද කියලා අපිට ඇත්තටම තේරුම් යන්න නම් අපිට ආදරය කරලා නැති , අපිව රවට්ටපු මිනිහෙකුත් අපේ ජීවිතේ ඉඳලා තියෙන්න ඕනේ ”
ඒ ඇත්තය. ආදරය යනු සුන්දර විඳීමක් බවත් එහි අනෙක් පස ඇත්තේ දරුණු විඳවීමක් බවත් මේඝා තේරුම් ගත්තේ නිම්නාද නිසාය. එහෙත් ඔහුව ජීවිතයෙන් මකා දැමිය යුතු ආකාරය තවමත් මේඝාට සිතා ගන්නට හැකිව තිබුණේ නැත.
” සමහර වෙලාවට හිතේ තියෙන තුවාල සනීප වෙන්න මාසයක් දෙකක් , අවුරුද්දක් දෙකක් එහෙමත් නැත්තං මුළු ජීවිත කාලෙම උනත් යන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔයා ඔයාගේ ජීවිතේ දේවල් භාර ගන්න විදිය අනුව මේඝා ”
” අනිද්දට ඩොක්ටර් ළඟට යන්න ලෑස්ති වෙන්න ”
නිකිනි ඇමතුම අවසන් කළේ එසේ කියමිනි. ඔවුන් සෑම දෙයක්ම කරන්නේ තමා වෙනුවෙන් බව දන්නා නිසා මේඝා කිසිවක් කීවේ නැත. නමුත් බැලූ බැලූ අත අඳුර පමණක් පෙනෙන තම ලෝකයේ ආලෝකයක් සේයාවක් වත් නැති බව පමණක් ඇයට හැඟිණ.
නිම්නාද ඔහු ජීවත් වූ නවාතැන අත හැර වර්ෂා තාවකාලිකව ජීවත් වන නිවාස සංකීර්ණය වෙත පැමිණියේ විදෙස් ගත වීමට තවත් මාසයකටත් වඩා කාලයක් ගත වන නිසාය. දුක් මහන්සියෙන් මුදල් හම්බ කර උපයා ගත යුතුව තිබූ දේවල් නිරායාසයෙන්ම තමා වෙත පැමිණීමේ ප්‍රීතිය නිම්නාද විඳිමින් උන්නේය.
රැකියාවෙන් ඉවත් වුවත් නිවසේ සිට කළ හැකි වැඩ කටයුතු බොහෝමයක් නිම්නාදට තිබුණේය. එතරම් දක්ෂතා රැසක් තිබුනත් තමාට වාසනාව තිබෙන්නේ බොහොම අඩුවෙන් බව නිම්නාද සිතුවේය. නමුත් තමාට සපුරා ගත නොහැකි වූ බොහෝ බලාපොරොත්තු රැසක් වර්ෂා සමග ඉටු කර ගැනීම නිම්නාදගේ ලොකුම අරමුණ විය.
” නිම්නාද , අනේ මට හදිසියේම වැඩක් වැටුනා. මම ඒකට යන්න ඕනේ ”
වර්ෂා කෙටි සායකුත් එයටම ගැලපෙන අත් රහිත බ්ලවුසයකුත් හැඳ සූදානම් වී කාමරයෙන් එළියට පැමිණියේ නිම්නාද ලැප්ටොප් පරිගණකය දිග ඇරගෙන වැඩක නිරත වී හුන් වේලාවේය. නිරූපණ ක්ෂේත්‍රයට සමු දී විදෙස් ගත වනවා යැයි කී වර්ෂා මේ කරන්නේ කුමක්දැයි නිම්නාදට තේරුම් ගත හැකි වූයේ නැත.
” ඔයා උදේ එහෙම එකක් කිව්වේ නැහැනේ ? ඒකනේ අපි ලන්ච් වලට එළියට යන්න දාගත්තේ ? ”
නිම්නාද ඇසුවේ බලාපොරොත්තු සුන් වී ගිය හඬිනි.
” ලංකාවේ ඉන්න ටිකේ එන වැඩ භාර ගන්නෙ නැතුව ඉන්න බෑනේ නිම්නාද. අපි ලන්ච් වලට වෙන දවසක යමු. ඔයා අදට මොනවා හරි ඕඩර් කර ගෙන කන්න ”
වර්ෂා එසේ කී විට නිම්නාදගේ හිතට අකුණක් වැදුනාක් මෙන් එක වරම සිහි වූයේ මේඝාව ය.
” ඔයා ආස නිසා මං කහ බතුයි අලයි , චිකනුයි හැදුවා. සැලඩ් එකකුත් හදන්න ලෑස්ති කරලා තියෙන්නේ ”
බොහෝ සති අන්ත වල තමා මේඝාගේ නිවසට යන විට ඇය තම ප්‍රියතම ආහාරයක් හෝ අතුරු පසක් සකස් කර තැබූ ආකාරය නිම්නාදගේ මතකයට ආවේය.
” රස නැද්ද ? ”
තමා ඒවායේ ගුණ අගුණ කියන තුරු මේඝා නොඉවසිල්ලෙන් බලා සිටින බැල්ම නිම්නාදට සිහි විය. වර්ෂා සමඟ පැමිණියාට පසුව මේ තරම් තදින් මේඝාව සිහිවූ පලමු වතාව මෙය බව නිම්නාද තම සිතටම කියා ගත්තේය.
” වාහනේ කී එක කෝ ? ”
වර්ෂා කලබලයෙන් එහා මෙහා යමින් වාහනයේ යතුර සොයා ගත්තාය.
” මම එන්න රෑ වෙනව නම් කියන්නම් ”
නිම්නාද පිළිතුරක් දෙන්නටත් පෙරම වර්ෂා ඔහුගේ පිටට තට්ටුවක් දමා වාහනයේ යතුරද ගෙන පිට වූවාය. කියා ගන්නට නොතේරෙන කුමක්දෝ හැඟීමක් හිත වෙලා ගන්නා විට නිම්නාද නැවතත් ලැප්ටොප් පරිගණකය වෙත දෑස් යොමු කළේය.
මේඝා කාර්යාලයෙන් පිටතට පැමිණියේ ” කෙසෙල් කොළේ ” වෙත යාමටය. ඒ දහවල් ආහාරය සඳහා නිවසින් කිසිවක් රැගෙන ඒමට නොහැකි වූ නිසාය. කාර්යාලය ආසන්නයේ ඇති ” කෙසෙල් කොළේ ” බත් කෑමට මේඝාට ආසාවක් ඇති වූයේ හදිසියේය. එය පෙරදී නිතර යන එන තැනක් වුවත් මාස ගණනාවකින් එහි යන්නට හැකි වූයේ නැති නිසා මේඝා ඒ දෙසට දෙපා එසවූයේ ඇත්තටම හදවතේ නැගුනු ආසාවකිනි.
පියවර කීපයක් යන්නටත් මත්තෙන් මේඝාගේ දෙපා නතර වූයේ ඇයට තරමක් නුදුරින් නතර කල වාහනය දැකීමෙනි. එම වාහනයෙන් බැස මේඝා දෙසට ඇවිද ආවේ වර්ෂාය. ඇගේ මුහුණේ ඇඳී තිබුණේ මේඝාට දරා ගත නොහැකි මට්ටමේ උඩඟු සිනහවකිනි.
” ඔයා කොහෙද මේ කට්ට අව්වේ වේලි වේලි යන්නේ ?”
වර්ෂා ඇසුවේ සමච්චල් සහගත ලෙසය.
” මගේ ලන්ච් ටයිම් එක මේ ”
මේඝා පිළිතුරු දුන්නේ හැකි තරම් සන්සුන් වීමට උත්සහ කරමිනි. නමුත් ඇය උන්නේ ඇතුලාන්තයෙන් දැවෙමිනි. එය කෝපය නොව , ශෝකයම පමණක් විය.
” ඔයා ආපහු නිම්නාදට කතා කළේ නෑ නේ ? ”
වර්ෂා ඇසුවේ මේඝා බලාපොරොත්තු නොවූ පැනයකි. එහෙත් එයට දෙන්නට ඇත්තේ එකම පිළිතුරකි.
” නෑ “
” Good. ආයේ කතා කරන්නත් එපා. ඔයා කොච්චර පස්සෙන් ආවත් නිම්නාද ඔයා වගේ කෙල්ලෙක්ට කැමති වෙන්නේ නෑ මේඝා ”
වර්ෂා පිහි තුඩු වැනි වචන වලින් දමා ගැසුවාය. මේඝාගේ දෑස් වලින් පෙනෙන ඇය සඟවන්නට උත්සාහ දරන හැඟීම් වටහා ගන්නට වර්ෂාට අපහසු වූයේ නැත. ඇයට දැනෙමින් තිබුනේ කුරිරු සතුටකි. මේඝාට රිදවන්නට මීට වඩා හොඳ අවස්ථාවක් නැවත ලැබෙන්නට ඉඩ තිබිය නොහැක.
” තව පොඩි වැඩ වගයක් ඉතුරු වෙලා තියෙන නිසා තමයි අපි තාම ලංකාවේ ඉන්නේ. අනික අපි ඉක්මනටම මැරි කරනවා. හැබැයි ඉතින් සයින් කරලා නැති ටික විතරයි. ඇත්තටම කිව්වොත් නිම්නාද දැන් ඉන්නේ මගේ අපාර්ට්මන්ට් එකේ මාත් එක්ක ”
වර්ෂා ඇයට එල්ල කරන්න හැකි හොඳම ප්‍රහාරය එල්ල කළාය. මේඝා උන්නේ හැකි වෙර යොදා එයට මුහුණ දීමේ උත්සාහයක ය. හුන් තැනින් පැන දුවන්නට හැකි නම් යැයි ඇය සිතුවේත් , වාහනයක් වේගයෙන් පැමිණ මේඝා අසලටම කර නතර කලේත් එක විටමය.
ඉන් බැස ආවේ මේඝා කිසිසේත්ම ඒ මොහොතේ එතැනට බලාපොරොත්තු නොවූ අයෙකි.
” මොකද මෙතන වෙන්නේ ? ”