ඒකපාර්ශ්වික 25

ආදරය වනාහී ගෞරවය මත පවතින බැඳීමක් බවත් ගෞරවයක් නොමැති තැන ආදරයට පැවතිය නොහැකි බවත් නිම්නාදට තේරුම් යමින් තිබුණේ වර්ෂා තමා සමග එකට එක කියමින් ගැටෙන්නට පටන් ගැනීම නිසාය. කුමන තත්ත්වයක් යටතේ වුවත් මේඝා කිසිම දිනක තමන්ගේ හිත රිදෙන ආකාරයෙන් හෝ උස් හඬින් තමාට කතා කර නැති බව වර්ෂාගේ මේ හැසිරීම සමග නිම්නාදට පසක් විය.

වර්ෂාවත් මේඝාවත් සංසන්දනය කර බැලීම අරුත්සුන් දෙයක් වුවත් වර්ෂා සමග බැඳෙන්නට පෙරද තමා මේ දේම කළ බව නිම්නාදට සිහිවූයේ සිගරට්ටුවක් දල්වාගෙන නිදි වර්ජිත රාත්‍රිය පහන් කරන විටය.

තමා කෙරෙහි ඇති ආදරය නිසා මේඝා පසුගිය දින වල හැසිරුණු ආකාරය සහ වර්ෂා හැසිරෙන ආකාරය අතර විශාල වෙනසක් පවතින බව නිම්නාද තේරුම් ගත්තේ එවන් මොහොතකය.

” අපි කෙනෙක්ට ඇත්තටම ආදරෙයි නම් අපි ඒ කෙනාව තදින් අල්ලගෙන ඉන්නවට වඩා එයා සතුටු දෙයක් කරන්න දෙන එකයි වටින්නේ. හරියට බැලුවොත් ආදරේ කියන්නේ නිදහස දෙන එක. ඒ නිදහස හරි විදියට පාවිච්චි කරන එකයි අනිත් කෙනාගේ වගකීම ” 

ආදරය ගැන මොකක්දෝ කතාබහකදී මේඝා එසේ කී බව නිම්නාදට සිහි විය. ආදරය පිළිබඳව මේඝාගේ කියවීම අන් බොහෝ දෙනෙකුට වඩා ඉතා වෙනස් බව නිම්නාද දැන ගත්තේ අද ඊයේක නොවේ. එහෙත් ආදරයට වඩා මුදල් වල බර වැඩි බව නිම්නාද තීරණය කළේ වර්ෂාගේ නැවත ආගමනයෙන් පසුවය. නමුත් ඇත්තටම මුදල් වලට වඩා වැඩි බරක් ආදරයේ ඇති බව නිම්නාද සිතුවේය. 

මේඝා උන්නේ බිඳෙන් බිඳ සුවපත් වෙමිනි. එහෙත් හදවතේ ඇති වන තුවාල එසේ පහසුවෙන් සුව නොවන නිසා එයට කාලයක් ගත වන බව ඇය පිලිගත්තේ වෛද්‍යවරයා හමුවී ආවාට පසුවය. වෙනදාට වඩා කාර්‍යාලයේ කටයුතු වලද උනන්දුවෙන් නියැලෙන්නට  මේඝා උත්සහ කලාය. නමුත් වරින් වර මතකයට එබෙන නිම්නාදගේ මතකය මේඝා ආයාසයෙන් දරා ගන්නට උත්සාහ කලාය.

” මේඝා ඔයාට ගිෆ්ට් එකකුයි ෆ්ලවර් බොකේ එකකුයි ආවා ” 

එක උදෑසනක පිළිගැනීමේ නිලධාරිනිය මේඝා කාර්යාලයට ඇතුළු වෙන විටම පැවසුවේ මල් කලඹකුත් කුකීස් අඩංගු කුඩා පෙට්ටියකුත් මේඝා වෙත පාමිනි.මේඝා එය ගත්තේ කුතුහලයෙනි. අද තමාගේ උපන්දිනය වත් නොවේ. 

” කාගෙන්ද ? ” 

මේඝා මල් කළඹ හරවා බලමින් ඇසුවේ එහි කිසිවක් සඳහන් නොවූ නිසාය. ඇය ඉන්පසුව අතට ගත්තේ කුකීස් අඩංගු පෙට්ටියය.එය රතු රිබන් පටියකින් සරසා තිබුනු අතර ඒ අතර කුඩා කාඩ් පතක් විය.

” To Dear Megha – With Love ♥️ ” 

යනුවෙන් පමණක් එහි සටහන් විය.මේඝා නැවත බැලුවේ පිළිගැනීමේ නිලධාරිනිය දෙසයි.

” කවුද මේක ගෙනාවේ ? ” 

මේඝා නැවත ඇසුවාය.

” බෝයි කෙනෙක් ගෙනාවේ. ඔයාට දෙන්න කියලා ” 

” කුරියර් එකක්ද ? ” 

” නෑ එහෙම මුකුත් ඩොකියුමන්ට් එකක් වත් තිබ්බේ නෑ සයින් කරන්න. ඕකේ ලියලත් නැද්ද මේඝා ? ”  

” නෑ . කවුරුහරි දැකලා පුරුදු කෙනෙක්වත්ද ආවේ ?” 

” නෑ මේඝා.හැබැයි පිළිවෙලට ඇඳලා කරලා හිටපු බෝයි කෙනෙක් ” 

මේඝා තම අසුන වෙත ආවාය.මෙවන් දේවල් තමාට මින් පෙර ලැබී නැත.එසේ නම් මෙය එවන්නට ඇත්තේ නිම්නාද විය යුතුය. සමහරවිට ඔහු තමාව හැර යාම ගැන දැන් පසුතැවිලි වනවා ඇත. මේඝාට දැනුනේ සියුම් සතුටකි. තමා විඳි දුකේ නිමාව දකින්නට දැන් කාලය පැමිණ ඇත.

දුරකථනය නාද වද්දීත් මේඝා උන්නේ මල් කළඹ දෙස බලාගත්වනමය. ඇමතුම ආවේ අහස්ගෙනි.

” හෙලෝ අහස් ” 

මේඝාගේ හඬ උද්‍යෝගිමත්‍ ය. පැහැදිලිය. 

” අද නම් කෙල්ල සතුටින් වගේ ? ” 

අහස් කීවේය. මේඝා ඇත්තටම සතුටින් සිනාසුනාය.එය අව්‍යාජ එකකි.

” අහන්නකෝ අහස් ? ” 

මේඝා කීවේ කුඩා ළදැරියකි මෙනි.

” අහන් ඉන්නේ ” 

” නිම්නාද මට ගිෆ්ට් එකක් එවලා. ෆ්ලවර් බොකේ එකකුයි කූකීස් බොක්ස් එකකුයි ” 

අහස් මොහොතක් නිහඬව උන්නේය. දිය යුතු පිළිතුර කුමක්ද කියා සිතා ගන්නට නොහැකිව අහස් තැවුනේය.

” එයාට කරපු වැරද්ද තේරිලා ඇති ” 

මේඝා නැවත කීවාය.

” ඔයා එහෙම හිතනවද මේඝා ? “

අහස් බැරිම තැන ඇසුවේය. 

” මේ වගේ දේවල් එවන්න වෙන කවුරුත් නෑනේ මට ” 

” ඒත් නිම්නාද එහෙම කරයිද ? ” 

අහස් ඇසුවේ නොඅසා බැරි කමටය.

” බලමුකෝ. එයා මට කතා කරයිනේ එහෙම උනොත් ” 

” ඔයා එයාට කෝල් කරන්නද යන්නේ මේඝා ? ” 

” නෑ නෑ. එයාම ගන්නකන් ඉන්නවා ” 

අහස් එතනින් එහා කිසිවක් ඇසුවේ නැත. මේඝා තුළ නිම්නාද කෙරෙහි ඇති බලාපොරොත්තු අලුත් වී ඇත. එය කෙසේ නම් වෙනස් කල හැකි වේද ?

මේඝා හවස නිවසට ආවේ පිරුණු හැඟීමෙනි. මගදී ඇය ෆුඩ් සිටියට ගොඩ වී නිවසට අවශ්‍ය කළමනා කිහිපයක්ද මිලදී ගත්තාය.  සමහරවිට නිම්නාද නිවසට එන්න බැරි නැත. එසේ ආවොත් පෙර මෙන් ඔහු කැමතිම දේවල් සකස් කර දිය යුතුය.

උදෑසන ලැබුණු මල් කළඹෙහි මල් වෙන් කර මේඝා ඒවා පිළිවෙලින් මේසය මත තැබුවාය. වීදුරු මල් වාස් එකට හරි අඩක් වතුර පුරවා මේසය මතට ගෙන ආ මේඝා මල් ඉති එකින් එක ගෙන වාස් එක පිරවූයේ සතුටිනි.සැහැල්ලුවෙනි. වාස් එක මල් වලින් පිරෙන්නා සේ තමාගේ සිතද සතුටින් සහ බලාපොරොත්තු වලින් පිරී යන අයුරු මේඝාට දැනුනි.

නිකිනි සිටියේ මේඝාගේ නිවසේ දොරකඩ සිට මේඝා මල් වාස් එක පුරවන අයුරු දෙස බලාගෙනය. මේඝා ගේ මේ විපර්යාසය කුමක්දැයි සිතා ගැනීමට ඇය උත්සාහ කරමින් සිටියාය. මෙවැනි වෙනසක් සිදුවීම හොඳ නමුත් මෙය මේ තරම් ඉක්මනින් සිදුවේ යැයි තමා මෙන්ම ධනුකත් කිසි විටකත් බලාපොරොත්තු වූයේ නැත. අනෙක් අතට මේඝා මේ තරම් ඉක්මනින් වෙනස් වන්නට හැකියාවක්ද නැත. එසේ නම් මේ හදිසි වෙනස කුමක්ද ? 

නිකිනි නිවස තුළට පය තැබුවේ එසේ සිතන අතරේය. 

” මේඝා ? ” 

නිකිනිගේ හඬට මේඝා තිගැස්සුනාය. ඇය උන්නේ වෙනම ලෝකයක අතරමං වී විය යුතුය.

” නිකී ඔයා ? මේ වෙලාවේ ? ” 

මේඝා ඉදිරියට ආවාය. ඇගේ දෑස් දිලිසෙන්නීය.

” office ඇරිලා යන ගමන් ආවේ. ඔයා ගෙදර කියලා දන්න නිසා ඔලුව දාලා යන්න හිතුනා ” 

නිකිනි දෑස් යොමු වූයේ මේසයේ අනෙක් කෙලවරේ වූ කුඩා පලතුරු බඳුන දෙසය. එය පිරී ඇත්තේ මාස ගණනාවකින් ය. නිකිනි ඊලගට බැලුවේ මේඝා සකසමින් හුන් මල් වාස් එක දෙසටය.

” මොකෝ මේ කාලෙකින් මල් අරගන්න හිතිලා ? ” 

නිකිනි මල් වාස් එකේ වූ මලක පෙත්තක් අත ගෑවේ සියුම්වය. 

” ගත්තේ නෑ. හම්බුනා නිකී ” 

මේඝා කීවා නොව , මිමිණුවාය. නිකිනි මේඝා දෙස බැලුවේ පුදුමයෙනි. නමුත් මේඝා තමන්ට වෙනදා මෙන් මුහුණ දෙන බවක් නොපෙනේ. කුමක් හෝ අමුත්තක් දැනෙන්නේ ඒ නිසාය.

” හම්බුනා කිව්වේ ? ” 

නිකිනි ආයෙම ඇසුවාය. 

” ඔෆිස් එකට එවලා තිබුනා ” 

මේඝා එවර උත්තර දුන්නේ බිම බලාගෙනය.ඇගේ හැසිරීම අමුතුය. එසේ නම් කුමක් හෝ වී ඇත.

” කවුද එවලා තිබ්බේ ? ” 

නිකිනි මේඝාගේ ලඟට ඇවිදගෙන ආවාය. ඉන්පසුව මේඝා උත්තර දෙනතුරු බලා සිටියාය.

” නිම්නාද ” 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles