ප්‍රීතිමත් උදෑසනකට රාත්‍රියේදී මේ දේවල් කරන්න

ඔබ ඔබේ උදෑසන කාලය ප්‍රීතියෙන් ගත කරනවා කියන්නේ ඔබට ඔබේ සම්පූර්ණ දවසම ප්‍රබෝධමත්ම ගත කරන්නට පුළුවන් වෙනවා කියන එකයි. ඔබේ උදෑසන කාලය ප්‍රීතිමත්ව ගත කරන්න නම් ඔබට ඒ සඳහා හොඳ පෙර සූදානමක් තියෙන්නට අවශ්‍ය වෙනවා. ඒ ගැනයි මේ ලිපිය

සියල්ල ලැයිස්තුගත කරන්න 

උදෑසන කාලය කියන්නේ තරමක් කලබලකාරී වේලාවක්. ඒ නිසා ඔබට ඕනෑම දෙයක් අමතක වන්නට පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි උදෑසන කාලයේදී කළ යුතු සියලුම දේවල් ලැයිස්තු ගත කිරීම. මෙයින් ඔබට බොහෝ දේවල් මග හැරීම වළක්වා ගන්නට පුළුවන්. මේ ලැයිස්තුවට හෙට දවසේ දී ඔබ කළ යුතු දේවල් , ඔබ එළියට යන විට රැගෙන යා යුතු දේවල් , හෙට දවසේදී ඔබ මිලදී ගත යුතු දේවල් ආදී සියල්ල සටහන් කර තැබිය හැකියි.

ඇඳුම් සූදානම් කරන්න 

උදෑසන කාර්යාලයට යාමට ඔබට අවශ්‍ය වන ඇඳුම් , ඔබේ පවුලේ අයට අවශ්‍ය වන ඇඳුම් ආදී සියල්ලම පෙරදින රාත්‍රියේ දී සූදානම් කර තබන්න. ඒ වගේම ඔබට අවශ්‍ය කරන ආභරණ , අත් බෑගය පවා සූදානම් කරන්න . ඇඳුම් මැදීමට අවශ්‍ය නම් එයද සිදු කරන්න. මෙයින් උදෑසන කාලයේදී ඔබ අවශ්‍ය දේවල් සොයමින් නිවස පුරා යන ඔබේ කාලය ඉතුරු කරගන්නට ඔබට හැකියාව ලැබෙනවා.

මුළුතැන්ගෙය සූදානම් කරන්න 

ඊළඟ දිනයේදී ඔබ සකස් කල යුතු ආහාර පිළිබඳව කලින් දිනයේ රාත්‍රියේදී සැලසුම් කර තිබීම ඔබට ඉතා පහසුවක් වෙනවා. ඔබ රාත්‍රී ආහාර වේල සූදානම් කරන විටම ඊළඟ දින උදෑසන සහ දහවල් ආහාරය සඳහා අවශ්‍ය වන එළවළු , මස් මාළු වර්ග පිරිසිදු කර කපා  සූදානම් කර තබන්න. 

Self care සඳහා කාලය ගන්න

මෙය සුවබර නින්දක් ලබා ගැනීම සඳහා ඔබට විශේෂයෙන් ඉවහල් වෙනවා. උණුසුම් වතුරෙන් ස්නානය කිරීම , ෆේස් මාස්ක් එකක් භාවිතා කිරීම , ඔබේ නිය ආලේපන මාරු කිරීම වගේම භාවනා කිරීම , පොතක් කියවීම හෝ මනස සුවපත් කරන සංගීතයකට සවන් දීම වැනි දේවල් වල නිරත වීම ඔබට කළ හැකියි.  කාර්යබහුල දවසක් අවසානයේදී ඔබ වෙනුවෙන් විශේෂ වේලාවක් වෙන් කිරීම අත්‍යවශ්‍ය වන්නේ එයින් ඔබට ඔබ පිළිබඳව හොඳ හැඟීමක් ඇති කරවීමට හැකියාව ලැබෙන නිසයි.

ඔබේ නිදන කාමරය සුවඳවත් කර ගන්න 

ඔබ දවස පුරා මොනතරම් කාර්ය බහුල වුණත් ඔබ අවසානයේදී විවේක ගැනීම සඳහා පැමිණෙන්නේ ඔබේ නිදන කාමරයටයි. එය පිරිසිදු සහ ඔබට සුව බර හැඟීමක් ගෙන දෙන පහසු ස්ථානයක් විය යුතු වන්නේ ඒ නිසයි. ඔබ නින්දට යන අවස්ථාවේදී එය තවත් පහසු කරවීමට හැකි කරුණක් තමයි නිදන කාමරයෙන් ඔබට දැනෙන සුවඳ . මේ සුව නින්දක් ලබා ගැනීමට සහ පසු දින උදෑසන ඉතා නැවුම්ව අවදි වීමට හේතුවක් වෙනවා. ඉතින් ඒ සඳහා ඔබට සුවඳවත් ඉටිපන්දම් හෝ සුවඳවත් තෙල් වර්ග භාවිතා කරන්නට පුළුවන්. එසේත් නැත්නම් ඔබ කැමති ආකාරයේ මෘදු සුවඳකින් යුතු air freshner එකක් උනත් භාවිතා කරන්නට පුළුවන්.

කෘතඥතාවයෙන් දවස අවසන් කරන්න 

ඔබ නින්දට යාමට පෙර ඔබ ගත කළ දවස ගැන ස්තූතිවන්ත වන කාරණා ලියා තබන්න. ඔබට ඵලදායි දවසක් ගත කිරීමට හැකි වීම ගැන ස්තුතිවන්ත වන්න. මෙසේ ලැයිස්තුගත කිරීම මගින් ඔබේ යහ පැවැත්මේ දියුණුව පිළිබඳව ඔබටම අදහසක් ලබා ගත හැකි වනවා. ඔබ කෘතඥ පූර්වක වන දේවල් මෙනෙහි කිරීම මගින් ඔබ නින්දට යන විට ඔබ තුළ ඇති මානසික ආතතිය අඩුවීම සිදුවනවා.

ඔබ රාත්‍රියේදී මේ දේවල් කරනවා නම් ඔබට ප්‍රීතිමත් ලෙස ඔබේ උදෑසන කාලය ආරම්භ කරන්නට පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles