ඒකපාර්ශ්වික – 30

මේඝා හැඬුවාය. ලොකු අක්කාගේ ආගමනය නිසා දුක අලුත් කර ගත් මේඝා තමාව දියවී යතැයි සිතෙන තෙක් හැඬුවාය. අහස් උන්නේ ඒ හැම කඳුලක්ම තමාට ගත හැකි නම් යැයි සිතෙන තැනක ය.

” මං ජීවත් වෙන්නෙ වත් කොහොමද කියලා හොයලා නොබලන මිනිස්සු සල්ලි ඕන උනාම විතරක් මාව හොයා ගෙන එන්නේ කොහොමද අහස් ” 

මේඝා මේ ප්‍රශ්නය අසන්නේ දහ වෙනි වතාවට විය යුතුය . හඬා ඉදිමී තිබූ මේඝාගේ දෑස් , අවුල් වී ගිය හිස කෙස් සහ රතු වී ගිය මුහුණ දකින විට අහස්ගේ සිත වේදනාවට පත් කලේය. නපුරු මිනිසුන් මැද මේඝා වැනි සංවේදි  හිතක් ඇත්තියක් ඉපදුනේ කෙසේ දැයි ඔහු ආයේ ආයෙමත් කල්පනා කලේය.

” දැන් ඇති මේඝා. යන්න . ගිහින් ලෑස්ති වෙලා එන්න . මං ඔෆිස් එකට එක්කගෙන යන්නම් ” 

අහස්ගේ දයාබරත්වයට හිස නොනමා සිටිය නොහැකි තැන මේඝා හුන් තැනින් නැගිට්ටේ දෑතින්ම මුහුණ පිසදා ගනිමිනි . අහස් එකවරම අතින් අල්ලා ඇයව නතර කලේය.

” මේඝා ” 

මේඝා හැරි බැලුවේ අහස් දෙස නොව, තමාගේ අතින් අල්ලා සිටින ඔහුගේ අත දෙසය . එය දුටු අහස් සැනෙකින් අත ඉවතට ගත්තේ ය.

” කොෆි එකක් හදන්නද මේඝා ? ” 

” දැන් එපා අහස් ” 

මේඝා එපමණක් කියා කාමරයට ගියා ය. ඇය සූදානම් වී එනතුරු අහස් බොහෝ වෙලාවක් කල්පනා කලේය. ගැහැණියකගේ ජීවිතය හැඩ කරන්නට මෙන්ම හැඩි කරන්නටත් පිරිමියෙකුට හැකි බව මේඝාගේ ජීවිතය දකින ඕනෑම කෙනෙකුට දැන ගත හැකිය. 

මේඝා යනු ආදරය උතුරා යන තරම් දිය හැකි කෙල්ලකි . නිම්නාද හැඩි කර ඇත්තේද එවන් කෙල්ලකගේ ජීවිතයකි. ඇයව දරා හිඳිය හැක්කේද විශාල හදවතක් ඇති පිරිමි හිතකට පමණක් බව අහස් මේ ටික කාලය තුළ වටහාගෙන සිටියේය.  නිම්නාද වැනි කුඩා හදවතක් ඇත්තෙකුට කිසි දිනක මේඝාට ආදරය කල නොහැක.හුදෙක්ම නිම්නාද යනු අවස්ථාවාදියෙකු පමණි. 

මේඝා සූදානම් වී කාමරයෙන් එළියට ආවේ නිවසේ යතුරද අතට ගෙනය. ඒ මුහුණේ සිනාවක් වත් නොවීය. අහස් මේඝා ඉදිරියට ආවේය. ඇය නොපිරූ අවුල් වී ගිය හිසකෙස් අහස් අතින් සකස් කලේය. මුහුණට වැටී තිබූ හිසකෙස් රොදක් කන පිටුපසට කලේය.

” දැන් යමු ” 

අහස් කීවේ සිනාසීය. ඔහු මේඝාගේ අතින් යතුර ගෙන නිවසේ දොර අගුලු දමා නැවත මේඝා අතටම යතුර දුන්නේය. මේඝා අහස් පසුපසින් වාහනය අසලට ඇවිදගෙන ආවේ ස්වයංක්‍රීයව ය. කිසිඳු කතා බහක් නැතිවය. අහස් වාහනයේ දොර ඇර දුන් පසු මේඝා එයට නැග්ගාය.

කාර්‍යාලය අසලට එනතුරුත් මේඝා වචනයක් හෝ කතා කලේ නැත. අහස් කාර්‍යාලය අසලට පැමිණ වාහනය නතර කලේය.මේඝා ඉදිරිය බලාගෙන කල්පනා කරමින් සිටි අතර කාර්‍යාලය අසලට පැමිණි බව ගැන ඇයට වගක් නැත. 

” මේඝා..අපි ඔෆිස් එක ලඟ ” 

මේඝා තිගැස්සී වටපිට බැලුවාය.

” අ..අනේ සොරි අහස්. මම වෙන කල්පනාවක හිටියේ ” 

” ඔෆිස් යන්න පුළුවන් ද ඔහොම ? ” 

අහස් කාරුණික වැඩිය.එය මේඝාට දරා ගත නොහැක. ධනුක සහ නිකිනි හැරුනුකොට කිසිවෙකුත් තමාගේ බැල්මක් ගැන පවා මෙසේ වද වී නොමැත.

” ඔහොම කිව්වේ ? “

මේඝා ඇසුවාය.

” ඔයා අවුලෙන් ? ” 

” මං මෙහෙම ඔෆිස් එන පලවෙනි දවස නෙමෙයි අහස් මේක ” 

මේඝා හෙලුවේ දිගු සුසුමකි. එය බොහෝ දේවල් කියා පෑවේය.

” කරදර කරා නම් සොරි අහස්. මං ඇත්තටම මෙහෙම කරදර කරන්න කැමති නෑ කාටවත් ” 

මේඝා කීවේ ශෝකයෙනි.පසුතැවිල්ලෙනි.

” මට කිසිම කරදරයක් නෑ. තේරුනාද ? දැන් හිනා වෙලා ඔෆිස් යන්න හොඳ ළමයා වගේ ” 

අහස් මේඝාගේ හිස අත ගා සැනෙකින් අත ඉවතට ගත්තේය. මේඝා වාහනයේ දොර හැර නැවත අහස් දෙස බැලුවාය.

” මං යන්නම් ” 

මේඝා වාහනයෙන් බැස සෙමෙන් සෙමෙන් කාර්‍යාලය දෙසට යන ආකාරය අහස් බලා උන්නෙ සිතිවිල්ලේය. මේඝාට සැනසීමක් තිබිය යුතුය. එය ඇය විසින් සොයා ගන්නෙ නැත්නම් එය ඇයට සොයා දිය යුතුය. අහස් ඒ සිතුවිල්ලෙන් වාහනය නැවත මාර්ගය දෙසට ගත්තේය.

මේඝා කාර්‍යාලයට ඇතුලු වී තම අසුන කරා ආවේ අවට කිසිවක් දෙස අවධානය යොමු නොකරමිනි. ලොකු අක්කාගේ වචන තවමත් දෙසවන් වල දෝංකාර දෙන්නා සේ මේඝාට දැනේ. අපූර්වා උන්නේ මේඝාගේ මේ ඉරියව් නිරික්ෂණය කරමිනි. ඇයට වුවමනා වූයේ පවත්වන්නට යොදාගෙන තිබූ රැස්වීම අවලංගු වූ බව මේඝාට පවසන්නටය .නමුත් පහුගිය කාලය පුරාවටම මේඝා මුහුණ දුන් බොහෝ දෑ නිසාද  ඇගේ වෙනස්කම් බොහොමයක් අපූර්වා දැන් හොඳින් හඳුනන නිසාද නිසොල්මනේ සිටින මේඝා දෙස අපූර්වා තවත් මොහොතක් බලා සිටියාය.

” මේඝා. ඇයි මේ ? ” 

අපූර්වා මේඝාගේ පිටට අත තබා ඇසුවාය.මේඝා ඇගේ දුරකථනය මේසය මත තබා දෑතින්ම මුහුණ වසා ගත්තාය.

” මේඝා ” 

මේඝාගේ සිරුර ගැස්සෙන ආකාරයෙන් ඇය හඬන බව තේරුම් ගන්නට අපූර්වාට අපහසු වූයේ නැත. යමක් සිදු වී ඇති නම් එය නොදැන කිසිවක් කිව නොහැක. මේසය මත තිබූ මේඝාගේ දුරකථනය නාද වූයේ එවිටය. එහි ” අහස් ” ලෙස සඳහන් විය.

” මේඝා.. අහස් කෝල් කරනවා ” 

මේඝා හිස ඔසවා බැලුවාය. දැන් අහස්ට පිළිතුරු දුනහොත් තමා යළිත් හැඬූ බව ඔහු දැනගන්නවා ඇත. 

” උදව්වක් කරන්න ” 

මේඝා අපූර්වා දෙස බැලුවේ බැගෑපත්වය.

” මම බිසී කියන්න ” 

මේඝා කීවාය.අපූර්වා මේඝාගේ දුරකථනය රැගෙන පසෙකට විත් ඇමතුම ක්‍රියාත්මක කලාය.

”  ඔෆිස් එක ඇතුලට ගියා නේද ? ” 

අපූර්වා අසා සිටියාය.මේඝා එන්නට ඇත්තේ අහස් සමඟය.  එසේ නම් ඇය හඬන්නේ අහස් නිසාද ? නැත.කිසිවක් නොදැන විනිශ්චය කළ යුතු නැති බව අපූර්වා සිතුවාය.

” අහස් මම අපූර්වා ” 

” මේඝා කෝ ? ” 

” එයා මේ.. ” 

” ඇයි අපූර්වා මොකක් හරි ප්‍රශ්නයක්ද ? මේඝා අවුලෙන් ඉන්නේ ගෙදර ප්‍රශ්නයක් නිසා. කියන්න ආපහු මොනා හරි උනාද ? ” 

අහස් කියා ගෙන ගියේ කලබලයෙනි. මේඝාව විනිශ්චය නොකිරීම ගැන අපූර්වා සැනසීමට පත් වූවාය. 

” අහස්, එයා හොඳින් නෙමෙයි. ඇත්තටම .. මට කිව්වා ඔයාට කියන්න කියලා එයා වැඩක කියලා ” 

අපූර්වා කියා දැම්මාය.අහස් මේඝා ගැන වද වෙන බව අපූර්වා දැන ගත්තේ අද නොවේ. රූගත කිරීම දිනයේය. ඒ වදවීම මේ තරම් දුර කෙසේ ආවත් එය අව්‍යාජ බව හොඳින්ම දැනේ.

” එයා දන්නවා එයාගෙ කටහඬින් මම දැන ගන්නවා කියලා ” 

අහස් කීවේ විශ්වාසයෙනි. 

” තිබ්බ මීටින් එක කැන්සල් උනා.මට තාම එයාට ඒකවත් කියන්න බැරි වුණා. මම ලීව් එකක් අපෲව් කරලා දෙන්නම්. එයාව ගෙදර යවන්න කියලා මම හිතුවේ අහස්. මෙහෙම ඔෆිස් එකේ ඉන්නවට වඩා ගෙදර ගිහින් ටිකක් රෙස්ට් කරන එක හොඳයි ” 

” තැන්ක් යූ අපූර්වා.මම විනාඩි දහයෙන් එන්නම් එයාව එක්කන් යන්න ” 

අහස් තීරණය දුන්නේය. අපූර්වාට නැගුනේ මද සිනහවකි. ඇත්තටම මේඝාට සිටිය යුත්තෙ මෙවන් සහකරුවෙකි. ආරක්ෂකයෙකි. ඇගේ සිතැඟි හඳුනා ගන්නා තෙත හිතක් ඇත්තෙකි.

” මේඝා. ගෙදර යන්න ලෑස්ති වෙන්න. විනාඩි දහයෙන් අහස් මෙතන. මම මිස්ටර් සුරවීර මීට් වෙලා එන්නම් ” 

මේඝා දෑස් පිසදාගෙන අපූර්වා දෙස බැලුවේ පුදුමයෙනි.

” මොකද්ද කිව්වෙ ? ” 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles