ඉඳුදුන්න – 03

සඳ එළිය විසිර ගිය අහස යට කාර්යබහුල හෝරා ඇරඹී තිබිණ.අමන්දී අලුත් ගොයම් සුවඳ නාස්පුඩු දිග ඉහළට ඇද ගත්තා ය.කුඩා ඉඩක් ඇති නිවසක ගෙවූ ඇයට මේ ඉඩකඩ ඇති ගම තවම නුහුරු ය.

“අක්කා මීට කලින් බූතයෝ දැකලා නෑනෙ..”

සඳුනි ඇසුවේ අමන්දීට සමීප ය.ගැස්සී ගිය අමන්දි කනත්තක් ඇත්තේ කොහේදැයි විපරම් කළා ය.ඈත ගම්වලින් පැමිණි සරසවි මිතුරියන් තරඟයට කියන හොල්මන් කතා ඇයට සිහිව ආවේ ය.

“බය උනා නේද? බූතයා කියන්නෙ අර මැසිමට.ගොයං කපන මැසිම..”

සඳුනි එසේ කියමින් හඬ නඟා හිනැහුණා ය.එහෙත් ඇයට වැඩිවෙලාවක් එකතැනක හිඳින්නට වූයේ නැත.යන්ත්‍රයට ගොයම් මිටි දෙන්නට එතැනට යන්නට සඳුනිට සිදු විණි.දෙඅත් බැඳ ගත් අමන්දී ඔහේ බලා සිටියා ය. සෞන්දර්ය උතුරා යන දසුනක් බලන්නට ආවද මෙතැන සෞන්දර්යක් නැත. යන්ත්‍රයක ඝෝෂාව ද මිනිසුන්ගේ වෙහෙස පිරුණු මුහුණු ද පමණි.කොළඹ යුවතියක කාලයේ මවාගෙන සිටි ගම කොපමණ වෙනස්දැයි අමන්දී සිතුවා ය.

“ඔයත් පුරුදු වෙන්න මේ වැඩ..”

අවිශ්ක පැමිණියේ එසේ කියාගෙන ය.ඔහුගේ කට රත් පැහැති වී ය.බුලත් හපමින් හිඳින තරුණයාගේ දහඩිය වැගිරෙන සිරුර දෙස අමන්දී බලා සිටියා ය.

“මෑන් ටිකක් ගොඩේ පාටයි අමා..උඹ මොකුත් හිතන්න එපා..”

සනුරි එසේ කීවේ අවිශ්ක දුටු දවසේ ය.මංගල යෝජනා පිරික්සන්නටත් රැකියාවකට ගොස් අමන්දීටම ප්‍රේමවන්තයෙකු තෝරා ගන්නටත් කාලය තිබියදී අමන්දී වන්නියට දීග දීම ගැන එරෙහි වූයේ ඇගේ පුංචි පමණි.සඳ එලිය යටට වී හිඳිමින් අමන්දී ඒ ගැන සිහි කළා ය.

“මේවගෙ මිනිස්සු ජීවිත කාලෙම දඟලන්නෙ ගෙයක් හදාගෙන වාහනයක් ගන්න.ගම්වල මිනිස්සු අස්වැන්නක් දෙකක් විකුණලා මන්දිර හදනවා.ලංකාව පොඩි රටක්.අපිට පැය පහක් යයි යන්න..ඈතක් නෑ.ඒ යෝජනාව තරම් හොඳ යෝජනාවක් හොයන්න බෑ..”

අම්මා කියවද්දී පුංචි අත නිකටේ ගසාගෙන බලා සිටියා ය.

“එහෙම සල්ලි තියෙන්නෙ ඔය ඒකනායකලා එහෙම වගේ ඉඩකඩම් අයිති මිනිස්සුන්ට අක්කේ.අනිත් මිනිස්සු උන්ට කඹුරනවා.කොහොමත් සුදු දුවට ඒ පරිසරේ ඔරොත්තු දෙන් නෑ.කාෂ්ටකේ පායනවා..ගෙදරින් ඈත ළිං වලින් නාන්න වෙනවා. කුඹුරු වැඩයි, වගා වැඩයි..මොන අපරාදයක්ද මේ.”

අම්මා තීරණය වෙනස් කළේම නැත.ඉඳුවර තම හැඟීම් තේරුම් නොගැනීම ගැන ශෝකයෙන් පීඩිතව සිටි අමන්දී අම්මලාට ඕනෑ එකක් කරගන්නට ඉඩ හැරියා ය.

“අවිශ්ක, මහන්සි නැද්ද?”

පියවි ලෝකයට අමන්දී සැමියාගෙන් ඇසුවේ සැබෑ අනුකම්පාවෙනි.ඔහු බුලත් කහට බැඳුණු දසන් පෙන්වා හිනැහුණි.

“දන්න දා ඉඳන් කරන වැඩනෙ නංගි.මහන්සියක් නෑ..”

උද්ඝෝෂණයක් හෝ සරසවි එළිමහන් කටයුත්තක දී දහදියට රතුව යන ඉඳුවරගේ මුහුණ අමන්දීට සිහිව ආවා ය.ඔහු තරුවක්ව අහසෙහි නතරව ඇත. ප්‍රේමය ප්‍රකාශ කරගන්නට පවා නොහැකිව ගිය අමන්දීට ගොවියෙකුගේ බිරිඳක වන්නට සිදුව ඇත.

දෛවය මොනතරම් අකාරුණිකදැයි ඈ සිතුවා ය.

අමන්දී වැඩකටයුතු අහවර වන තුරුම කමතෙහි රැඳෙන්නට සිතුවා ය.උගත් කමත් කවි ආදිය සිහිව එද්දී ඇයට මතු වූයේ සිනාවකි.දැන් ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටවල මවා පෙන්වන සෞන්දර්යාත්මක ගමක් නැත.නාගරික පැවතුම් සහ ග්‍රාමීය බව මුසු අච්චාරුවක පැටලී ගත් මිනිසුන් ගැන ඇය නිවසට එනතුරුම සිතුවා ය.

“හයියෝ..කරන්ට් එක නෑ..”

සඳුනි පැවසුවේ මුහුණ නාළු කරගෙන ය.සැබෑවකි.විදුලිය විසන්ධිව ය.

“වතුර මෝටරේ ගැහුවෙ දවල්නෙ.තුන් දෙනාටම නාගන්න වතුර නැතුව ඇති..”

නැන්දම්මාගේ නිදිබර හඬ මතු විණි.

“අපි ළිඳට යං..” අවිශ්ක විදුලි පන්දම අතට ගත්තේ එසේ කියා ය.කෑලි කැපෙන ගනඳුර මැද අමන්දි ඔහු පසුපස වැටුණා ය.බියක් දැනුණෙන් ඇය අවිශ්කට වඩා සමීප විණි.

“ඔයා බයද?”

අවිශ්ක එසේ ආදරබර හඬකින් ඇමතීම පවා අමන්දීට දැනෙන්නේ කතරකට වැසි ඇද හැලෙන්නා සේය.ඇය ඔව් යැයි පැවසුවේ සෙමිනි.

“මං ඔයාව නාවන්නං..ඉඳගෙන ඉන්න.ඔලුවෙ වී කාටු ඇති..”

අවිශ්ක එසේ කියද්දී අමන්දිට සතුටක් ඉපිදිණ.ඇයට මේ විශාල ළිඳෙන් වතුර ඇදීම අසීරු ය.එහෙත් ඊළඟ මොහොතේ ඔහු කී දේ අමන්දීගේ හදවතේ කටුවක් සේ ඇනිණ.

“අපේ අම්මට එහෙම කියන්න එපා..”

අමන්දී ස්නානය කරේ ඒ රිදුම දරා ගනිමිනි.කිසිත් නොකියා ඇගේ හිස මතට වතුර බාල්දි වත්කළ අවිශ්කට ඒ රිදුම දැනුණේ නැත.අමන්දී දැන හුන් ලෝකයේ තරුණයන්ට බොහෝ ඉදිරිගාමී අදහස් තිබිණ.ඒ තරුණයන් බිරිඳට ආදරය කළේ ලෝකයට පෙනෙන්නට ය.තමන්ගේ මිනිසුන්ට නොපෙනෙන්නට අඳුරේ ආදරය පුදන සැමියා ගැන කලකිරීමකින් අමන්දීගේ හිත පිරී යන්නට විණි.

“ගොයම් කපන කාලෙට අලි එනවනෙ..ඔයාට ළිඳ ගාවදි නොකිව්වට මං ටිකක් තිගැස්මෙන් හිටියේ..”

අවිශ්ක කී දේ අසා අමන්දී සසැලිණ.වහලයේ සක්මන් කරන තලගොයාට පවා බිය දියණියක වන සතුන් ගැවසෙන පළාතකට දීග එවූ අම්මා ගැන ඇයට කලකිරීමක් හට ගති.නමුත් ඈ කිසිවක් නොදොඩාම ඉටි පහනේ එළියෙන් ඇඳ සැකසුවා ය.

“අවිශ්ක, අලි කරදර කරන් නෑනෙ..”

ඇය ඇසුවේ යහනේ වැතිර ගත් සැමියාගෙනි.ඔහු අඳුරට හිනැහෙන හඬ ඇසිණි.

“ඔය වී ගේ බිඳලා වී බොන වෙලාවල් නම් තියනව.අලි වෙඩි දැම්මම යනවා..”

දෛවයේ මොකක්දෝ හේතුවක් නිසා මහා ශබ්දයකින් යමක් පිපිරී ගියේ ය.

“පහළ පැත්තට ඇවිල්ලා. ඔය ඇහෙන්නෙ අලි වෙඩි.බය වෙන්න එපා.අපේ ගෙට ගහන්න බෑ.අනික අපි ඉන්නෙ උඩ තට්ටුවෙනෙ..”

අවිශ්කගේ කටහඬ නිදිබරව ඇසිණ. ඉනික්බිති ඔහු ගොරවන්නට ගත්තේ ය.
විටින් විට වෙඩි හඬ ඇසේ.මිනිසුන් හූ හඬ නඟන්නේ ඈතිනි.ඒ සියල්ල පරදා කුඹුරක ගොයම් කපන මැෂිමක හඬ ඇසේ.රෑහි හඬ ද නමක් නොදන්නා කුරුළු හඬ ද ඒ පරිසරයට මුහු වේ.දෙනෙත විවර කරගෙන බොහෝ වෙලා හුන් අමන්දී ජංගම දුරකථනය අතට ගත්තා ය.

යූ ටියුබ් අවකාශය පැය කිහිපයක් තුළ ඉඳුවරගේ රඟපෑම ඉහළට ඔසවා තබා ඇත.අමන්දී ඒ වීඩියෝව ක්‍රියාත්මක කළා ය.අවිශ්කගේ ගෙරවිලි හඬ අතරින් ඉඳුවර ගී ගයන හඬ ඈ අසා හුන්නා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles