ඒකපාර්ශ්වික – 34

අහස් විශ්මිතව නිවසට ඇරලවා මේඝාගේ නිවස දෙසට වාහනය ධාවනය කලේ ඇයව බැලීමට හෝ මුණ ගැසීමට යාම සඳහාම නොවේ. හුදෙක්ම සිත සනසා ගැනීම සඳහාය. මේඝාගේ නිවසට ආසන්නයේ වාහනයක් නතර කර තිබෙනු ඔහු දුටුවේ දුර තියා මය.නමුත් එවැනි දසුනක් දක්නට ලැබීම කලාතුරකින් සිදු වූයේ එය එතරම් ජනාකීර්ණ ප්‍රදේශයක් නොවන නිසාය. ඒ නිසා මේඝාගෙ නිවස අසල වාහනයක් නවතා තිබෙනු දැකීමෙන් අහස් ගේ හිත තිගැස්සුනේ නැතැයි කිව නොහැක. තනිව ජීවත් වෙන මේඝාට ඕනෑම මොහොතක කරදරයක් විය හැක.

අහස් දුරකථනය අතට ගෙන එහි සටහන් කර ගෙන තිබුනු නමුත් මේ වන තුරුත් ඇමතුමක් නොගත් ධනුකගේ අංකයට ඇමතුමක් ගත්තේය. 

” හෙලෝ ” 

” ධනුක මං අහස් ” 

අහස් කෙලින්ම කතාවට අවතීර්ණ වූයේය. ධනුක මදක් තිගැස්සුනේ මේ මහා රාත්‍රියේ අහස් හදිසියේම තමාව ඇමතීම නිසාය.

” කියපං අහස්. මොකක් හරි අවුලක්ද ? ” 

” නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි. කොහෙද උඹ ඉන්නේ? ” 

” ගෙදර තමයි. අද පොඩ්ඩක් බිසී දවසක්. උඹ කතා කළේ හදිසියකටද ? ” 

” නෑ ධනුක. උඹ ලඟ පාතක ඉන්නවා නම් නිකන් chat එකක් දාන්න බැලුවේ. අපි පස්සේ සෙට් වෙමු එහෙනම් . මං උඹට කෝල් එකක් දෙන්නම් ” 

අහස් කෙටියෙන් කතාව අවසන් කලේ දැන ගැනීමට අවශ්‍ය වූ දෙය දැන ගත් නිසාය. එසේ නම් ධනුක මේඝාගේ නිවසට පැමිණ නැත. නිකිනිද පැමිණ තිබෙන්නට නොහැක. නවතා තිබෙන්නේ ධනුකගේ වාහනයද නොවන නිසා අහස් ඔහුගේ වාහනය මදක් ඈතින් නතර කොට පා ගමනින් මේඝාගේ නිවස දෙසට ඇදුනේ සිතිවිල්ලේය. 

බීමතින් සිටි නිම්නාද ” ඒ කියන්නේ ඔයා දැන් මට ආදරෙත් නැද්ද මේඝා ? ” යි මේඝාගේ උරහිසට අත තබා ඇසුවේ ඔය අතරේය. මේඝා නිම්නාදගේ අත වේගයෙන් ගසා දමද්දී නිම්නාදට පිටුපසින් පෙනී සිටියේ අහස් ය. 

” එහාට වෙයන් මිනිහෝ ” 

අහස් නිම්නාදව පසෙකට කරමින් ඉදිරියට එන විට මේඝා අහස්ගේ අතකින් තද කර අල්ලා ගෙන ඔහුට මුවා වූයේ තමාව ගලවා ගැනීමට ආ ගැලවුම්කාරයාව දුටු සැනසීමෙනි.

” උඹ කවුද මට එහාට වෙන්න කියන්න ? උඹට කලිනුයි මම මෙහාට ආවෙ ” 

නිම්නාද එසේ කියමින් ඉදිරියට ආවත් ඔහු සිටියේ කෙලින් සිටගෙන සිටීමට වත් හැකි තත්ත්වයක නොවේ. 

” නිම්නාද ඔයා යන්න.ප්ලීස්. මෙතන ප්‍රශ්න ඇති කරන්න එපා ” 

මේඝා නැවත ඉදිරියට ආවාය. ඇය සිටියේ නිම්නාද සහ අහස් අතර ගැටුමක් ඇති වේ යැයි බියෙනි. 

” මෙතන ප්‍රශ්න ඇති කරන්නේ මම නෙමෙයි. මූ.  ” 

මේඝාව නොතකමින් නිම්නාද කීවේ අහස් දෙසට ඇඟිල්ල දිගු කරමිනි. 

” නිම්නාද මේ හොඳටම ඇති ” 

මේඝා නැවත කීවාය. ඒ වන විටත් අහස්ගේ අතේ එල්ලී උන් මේඝා ඉන්නේ දරා ගැනීම අගිස්සේ බව හඳුනා ගැනීමට අහස් ට අපහසු නොවූයේ ඇගේ දෑත් බොහෝ සීතල වී ඇති බව දැනුනු නිසා ය. 

” නිම්නාද මම පොලිසියට කෝල් කරන්න කලින් මෙතනින් යනවා . තමුන්ට කිසිම අයිතියක් නෑ මහ රෑට බීලා ඇවිල්ලා මේ විදියට මිනිස්සුන්ට කරදර කරන්න ” 

අහස් දැඩි හඬකින් කීවේ මේඝා ඉදිරියට විත් ඇයව ආවරණය කර ගෙනය. නිම්නාද පසුබැස්සේ අහස්ගේ ඒ පෞරුෂය ඉදිරියේය. 

” මං තමුසෙ ගැන බලා ගන්නං අහස් ” 

නිම්නාද අහස් දෙස රවා බලමින් යන්නට හැරුනේ පරාජිත හැඟීමකිනි. මෙවන් හැඟීමක් ජීවිතයේ කිසි දාක තමාට දැනී නැත. මේ සියල්ල සිදු වූයේ තමාගේ වරදිනි . මේඝා වැනි කෙල්ලක ආදරය ඉදිරියේ ඕනෑම දෙයක් කරන්නට සූදානම් බව ඇය හමුවූ මුල් දින කිහිපය තුළම හඳුනා ගත්තද වර්ෂාගේ බල පුළුවන් කාරකම් ඉදිරියේ ඒ හැඟීම් සියල්ල යටපත් වූ බව පිළිගන්නට නිම්නාදට සිදු විය. අද වන විට තමා පරාජිතයකු බවට පත් වී ඇත්තේ දුර දිග නොසිතා ගත් එම තීරණය නිසා බව නිම්නාද සිතුවේ වාහනයට ගොඩවන අතරතුරේය.

” I am sorry අහස් . ඔයාට කරදරේ මං හින්දා ” 

මේඝා කීවේ පසුතැවිල්ලෙනි. මේ සිදුවන්නේ තමා ජීවිතයේ කිසි දිනක මුහුණ දී ඇති දේවල් හෝ මුහුණ දෙන්නට බලාපොරොත්තු වූ දේවල්  නොවේ. ඇතුලාන්තයෙන්ම තමා නොසන්සුන් වී සිටින්නේ ඒ නිසාය. ඒ සියල්ලටම වඩා මේඝාට වේදනාවක් දැනුනේ අහස් මේ ගැටළු වලට මැදිහත් වීමය. ඊටත් වඩා , නිම්නාද පිටව යාමෙන් පසුව වත් අහස් වචනයකින් හෝ තමා සමඟ දොඩමළු නොවීමය. අහස් පැමිණෙන විට නිම්නාද නිවසේ සිටීම ගැන අහස් වරදවා වටහා ගත්තා දෝ කියා මේඝා ඊළඟ මොහොතේ සිතුවාය. 

” ඔයා ඇයි ආපහු ආවෙ අහස් ? ” 

මේඝා ඇසුවේ බැරිම තැනය. 

” මං නාවා නම් මොකද වෙන්නේ ? ” 

අහස් අනිත් අතට ඇසුවේය. ඔහු උන්නේ කෝපයෙන් වුවත් එය මේඝාට පෙන්වූයේ නැත.  වර්ෂා නිසා මේඝාට අත් කර දිය හැකි සියලු වේදනා අත්කර දුන් පසුව නිම්නාද නැවතත් ඇය සොයා එන්නේ ඇය කෙරෙහි ඇති ආදරයක් නිසා නොවන බව අහස් දනී. 

” දොර ලොක් කර ගෙන ඉන්න. කවුරු ආවත් දොර අරින්න එපා. හදිසියක් නම් මට කෝල් කරන්න ” 

නිම්නාද පිටව ගිය නිසා තමා තවදුරටත් මෙහි රැඳී සිටීමෙන් ඵලක් නැති බව සිතූ අහස් එසේ කියා යන්නට හැරුණේය. 

” අහස් ” 

මේඝා එසේ කියද්දීම අහස් හැරුනේය. මේඝා අඩියට දෙකට ඉදිරියට පැමිණ ඔහුව වැළඳ ගෙන මහ හඬින් හඬන්නට පටන් ගත්තාය. අහස් ඇයට හඬන්නට හැර විනාඩි කිහිපයක් සිටියේය. 

තවත් මොහොතකට පසුව මේඝා කඳුළු පිසදා ගෙන අහස් බැලුවේ හඬා රතු වුණු දෑසිණි. 

” මෙච්චර මං ගැන වද වෙන්න එපා අහස් ” 

මේඝා කීවේ හැඬුම අතරිනි. අහස් මේඝාගේ හිසට තැබුවේය. ජීවිතයෙන් හරි අඩකටත් වඩා තනිවුණු කෙල්ලකට මේ මොහොතේ දැනෙන අසරණ හැඟීම අහස් හඳුනා ගෙන සිටියේය. 

” වද වෙන එක නොවෙන එක මගේ වැඩක්. දැන් මං කියපුවා මතක තියා ගෙන දොර වහ ගෙන නිදාගන්න ” 

අහස් පිටව යන දෙස මේඝා බලා සිටියාය. මේ සිදුවීම ධනුක සහ නිකිනි දැනගත්තේ නම් ඔවුන් පැමිණ අනිවාර්යයෙන්ම නිම්නාදව පොලිසියට අල්ලා දෙනු ඇත. නමුත් අහස් පැමිණ ඒ ගැටලුව විසඳුයේ අපූරුවටය. මේඝා යලිත් ඇඳට වැටුනේ ඒ ගැන යළි යළිත් සිතමිනි.

නිම්නාද ඔහුගේ රථය වේගයෙන් ධාවනය කළේ ගෙවී ගිය දවස පිළිබඳව දැනුනු අන්ත පරාජිත හැඟීමකිනි. දහසක් බලාපොරොත්තු තිබියදී වර්ෂා තමාව හැර ගිය බව තවමත් විශ්වාස කිරීමට නොහැක. මෙය තමාගේ මිතුරන් ඇතුළු අනෙක් අය දැන ගතහොත් සිදු වන ලැජ්ජාව සුළු පටු එකක් නොවේ. හෙට සිට තමා ඒ සියල්ලටම තනිව මුහුණ දිය යුතුය. ඒ හැරුණු කොට මේඝා මේ තරම් ශක්තිමත් වීමද අදහා ගත නොහැක. එහෙත් ඒ පිටුපස සිටින්නේ අහස් බවට නොරහසකි . අහස් නොමැති නම් මේඝා කිසිම දිනයක තමාගේ පැමිණීමෙන් සතුටු වනවා මිසක තමාව එළවා ගන්නේ නැත. 

මේඝා අහස්ගේ අතකින් අල්ලා ගෙන ඔහුට මුවා වූ අයුරු නිම්නාදට සිහි විය. ඔහු වේගයෙන් සුක්කානමට පහරක් ගැසුවේ කෝපයෙනි. වාහනය අතුරු පාරක සිට ප්‍රධාන පාරකට අවතීර්ණ වද්දී අනෙක් පසින් ආ බස් රථයක තම වාහනය වේගයෙන් වැදෙන පමණක් නිම්නාදට මතකය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles