“නිම්නාද උඹට කරපු දේවල් මතක නම් , ඇත්තටම උඹට ලැජ්ජාවක් තියෙනවා නම් උඹ හොස්පිට්ල් යන්නෑ මේඝා ”
ධනුක මේඝාගේ නිවසට ආවේ පාන්දරය. ඒ වන විටත් නිම්නාද හදිසි අනතුරකට ලක්ව ඇති බව මේඝාට කාර්යාලයේ මිතුරෙකු ගෙන් දැන ගන්නට ලැබී තිබුණි. ආරංචිය ලද විගස මේඝා හැඬුවත් , ධනුක ආ පසුව එකදු කඳුලක් වත් හෙලූයේ නැත. මේ මොහොතේ සිට තමා ඉතා සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතු බව පමණක් මේඝා සිතමින් උන්නාය.
” නිම්නාද ඇක්සිඩන්ට් උනේ මෙහෙ ඉඳන් යනකොට. එතකොට ඒක මට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ? ”
මේඝා ඇසුවේ කල්පනාකාරීවය. නිම්නාද නිසා තමාට මුහුණ දීමට සිදු වූයේ සුළු පටු දේවල් වලට නොවේ. එහෙත් තවත් එවැනි දේවල් වලට මුහුණ දීමට තරම් තමා තුළ ශක්තියක් නැතැයි මේඝා සිතුවාය. නිම්නාද බීමතින් සිටියත් ඔහු නොසැලකිල්ලෙන් රිය පදවන්නට ඇත්තේ තමා සහ අහස් නිසා වන්නට ඇතැයි යන සිතුවිල්ල සිතෙන් මෑත් කර ගැනීමට මේඝා වෙර දැරුවාය.
” ඇත්තටම උඹ ඌව එලෙව්වද ? ”
ධනුක අසන්නේ මේඝා එවැන්නක් කිරීම කිසිසේත්ම විශ්වාස කළ නොහැකි නිසාය.
” අහස්ගෙන් අහන්න. මම නිම්නාදට යන්න කිව්වෙ නැද්ද කියලා ”
මේඝා එසේ කී විට ධනුක බැලුවේ පුදුමයෙනි. නිම්නාද සහ මේඝා අතරට අහස් සම්බන්ධ වූයේ කෙසේද ?
” අහස් වෙන කොහෙද යන ගමන් මෙහෙට ආවා. එයා පොලිසියට කෝල් කරනවා කියපු නිසා තමයි නිම්නාද අන්තිමට ගියේ “
මේඝා කියන්නේ ඇත්ත යැයි සිතීමට ධනුක කාරණාවක් ඇත. පෙර දින රැයේ අහස් තමා ඇමතූයේ ඒ නිසා වන්නට ඇත. ඔහු නිකමට මෙන් මේඝාගේ නිවසට ගොඩ වදින්නට එන විට නිම්නාද මෙහි ඉන්නට ඇතැයි ධනුක නිගමනය කලේ ය.
” ඌ මෙහෙ ඉඳන් යනකොට ඇක්සිඩන්ට් උනා කියලා කවුරුත් දැන ගන්න ඕනේ නෑ ”
නිම්නාද මෙහි ආ බව කිසිවෙකුත් සමඟ නොකියා ඉන්නට මේඝා කොහොමටත් තීරණය කර තිබුණාය. සමහරවිට නිම්නාද හදිසි අනතුරකට ලක්වූ බව ආරංචි වූ සැණින් වර්ෂා නැවතත් ලංකාවට පැමිණීමට හැකිය. ඔහුගේ තත්වය කාගෙන් හෝ අසා දැන ගන්නවා මිසක මේවාට මැදිහත් වීමෙන් තමා නැවතත් පෙරටත් වඩා වේදනාවට පත්විය හැකි බව මේඝා සිතුවාය.
” මම ඔෆිස් යන්න ඕනේ ධනුක ”
” යමන්.. මාත් යන්න ඕන . හවසට නිකී එක්ක එළියට යමු. කොහෙද මේ වැඩ අස්සෙ අපි තුන්දෙනාට කාලෙකින් කොහෙවත් යන්න බැරි වුණානේ ”
” මං බලලා කියන්නම්කෝ. මේ ටිකේ මටත් සෑහෙන්න වැඩ ඔෆිස් එකේ ”
මේඝා කීවේ සිදුවී ඇති විපත අමතක කරන්නටය. එය අමතක කිරීමට නම් තමා කාර්යබහුල විය යුතු බව මේඝා සිතුවාය. නිවසට වී තනිව කාලය ගත කිරීම හිත තව තවත් වේදනාවට පත් කරන නිසා මේඝා ධනුක පිටත් වෙන විටම කාර්යාලයට ගියාය.
මේඝා කාර්යාලයට යන විට සියලු දෙනාම පාහේ කතා කරමින් සිටියේ නිම්නාද පිළිබඳවය. ඒවාට එකතු නොවෙන්නට සිතුවත් ඒ තරම් හිත් පිත් නැත්තියක සේ ඉන්නට මේඝාට නොහැකි විය.
” නිම්නාදට අමාරුයි මේඝා. accident එකේ ෆොටෝස් CCTV videos දැක්කම එයා ඔහොමවත් බේරුන එක පුදුමයි ”
අපූර්වා කීවාය. නිම්නාද අනතුරට පත් වූ ස්ථානය අසල වෙළඳ සැලක තිබූ ආරක්ෂිත කැමරාවක නිම්නාදගේ අනතුර සටහන්ව තිබුනු අතර ගිහාන් එය රැගෙන මේඝා වෙත ආවේය.
” මේඝා .. බලනවද මේක ? ”
ගිහාන් ඔහුගේ ජංගම දුරකථනය මේඝා වෙත දිගු කළේය.
” එපා ”
මේඝා කීවේ ඇහෙන නෑහෙන ගානටය. කලබල නොවුනා සේ සිටියාට තමා හිත ඇතුළෙන් මහා අරගලයක යෙදෙන බව දන්නේ තමා පමණක් බව සිතමින් මේඝා තම අසුනට ආවාය.
” ඔයා අවුලෙන්ද මේඝා ”
අපූර්වා පැමිණ ඇසුවේ මේඝා ගේ මේ නිහඬ බව එතරම් හොඳ දෙයක් නොවන බව වැටහුණු නිසාය. විශේෂයෙන්ම නිම්නාද මෙවැනි මාරක අනතුරකට ලක්වී සිටියදී මේඝා මෙසේ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කා අතරත් කතා බහට ලක්වීමට හේතු විය.
” නෑ. නිම්නාදට කොහොමද ? ”
” එයාට තාම සිහිය ඇවිත් නැහැ. එක කකුලක් ගොඩක් ඩැමේජ් වෙලා. මං හිතන්නේ කැඩිලා ”
හදවතින් සිහින් වේදනාවක් නැගී ආවත් මේඝා නොසෙල්වී සිටියාය. මේ වන විට රෝහලේ ඇඳක් මත නිම්නාද තම ජීවිතය බේරා ගැනීමට සටන් වදිනවා ඇත. කොයි තරම් පිරිවර සිටියත් මෙවැනි වෙලාවක තමාට සිටින්නේ තමා පමණකි.
” අපි හවසට නිම්නාදව බලන්න යන්න හිතුවා. ඔයා එනවද මේඝා ? ”
මේඝා මොහොතක් කල්පනා කළාය.රෝහලේ තත්ත්වය කෙසේද කියා නොදැන තමාට එහි යා නොහැක. සමහර විට මේ වන විටත් වර්ෂා පැමිණ තිබෙනවා විය හැක. ඒ නිසා තමා එහි යාම නුවණට හුරු නොවන බව මේඝා සිතමින් සිටියාය.
” ඔයාලා ගිහින් එන්න අපූර්වා. මං ඉන්නම්. අනික මට වැඩ ගොඩක් තියෙනවා ඉවර කර ගන්න ”
මේඝා ලැප්ටොප් පරිඝණකය දිග හැර ගත්තාය. තමා මේ තරම් ශක්තියක් ඇති සේ සිටින්නේ කෙසේ දැයි සිතා ගැනීමට වත් මේඝාට නොහැකි විය. නිම්නාදව දැක ගැනීමට යටි සිතින් දැඩි වුවමනාවක් තිබුණත් මේ මොහොතේ එය කළ නොහැක. එය තවත් බොහෝමයක් ගැටලු වල ආරම්භය විය හැකි නිසා මේඝා ආයාසයෙන් දරා ගෙන උන්නාය.
” අපි හැමෝම ගිහිල්ලා ඔයා විතරක් නොගිහින් ඉන්න එක හරි නෑ නේද මේඝා ? මිස්ටර් සුරවීර ත් යන කතාවක් කිව්වා. ඔයා ගිය නැත්තං එයා බලයි ඇයි කියලා ”
අහස්ගෙන් කෙටි පණිවිඩයක් ආ බව දුරකථන තිරයේ සඳහන් වූයේ එවිටය. මේඝා දුරකථනය අතට ගත්තේ පණිවිඩය විවෘත කරමිනි. එහිද සඳහන් වූයේ නිම්නාද ගේ පැමිණීම කිසිවෙකුටත් නොපවසා සිටින ලෙසයි. මේඝා එයට පිළිතුරක් ලෙස ” හ්ම් ” කියා පමණක් සටහන් කළාය.
හවස් වරුවේ කාර්යාලීය සගයන් නිම්නාද ගේ සුව දුක් විමසීම සඳහා රෝහලට යන විට එම ගමන මඟ හැර ඉන්නට මේඝා ට හැකි වූයේ නැත . රෝහලට පැමිණ උන්නේ නිම්නාදගේ උපන් ගමේ ජීවත් වූ දෙමව්පියන් සහ තවත් නෑදෑයන් දෙදෙනකු පමණි. ඒ කිසිවෙකු අතර වත් වර්ෂා පිළිබඳව කතා බහක් සිදු නොවීය. මේඝා රෝහලට පය තැබුවේම වෙව්ලන දෙපා වලිනි. පෙර දින රාත්‍රියේ නිම්නාද පිටව යන විට අද දවසේදී තමාට මෙවැනි ගමනක් එන්නට සිදුවේ යැයි මේඝා කිසිසේත්ම සිතා තිබුනේම නැත.
නිම්නාද ඒ වන විට සිටියේ දැඩිසත්කාර ඒකකයේ නිසා ඔහුව බැලීමට යාම සඳහා කිසිවකුටත් අවසර තිබුණේ නැත. අනෙක් සියලු දෙනාම නිම්නාදගේ දෙමව්පියන් සමඟ කතා බස් කරමින් සිටියදී මේඝා පමණක් කොරිඩෝවේ වාඩිවී බලා උන්නේ ඊළඟ මොහොතේ කුමක් සිදුවෙතැයි සිතා ගත නොහැකිවය.
විනාඩි 45 ක් පමණ ගෙවී යද්දී දැඩිසත්කාර ඒකකයෙන් පිටතට පැමිණි වෛද්‍යවරයෙකු පිරිස අසලට ආවේය. මේඝා අත් බෑගයේ පටිය මිරිකා ගත්තේ එය කුමක් හෝ අසුභ දෙයක පෙරනිමිත්තක් දෝ සිතමිනි.
” මෙතන මේඝා කියලා කෙනෙක් ඉන්නවද ? ”
ReplyForwardAdd reaction |