මුතු බෙලි හදවත – 38 වන කොටස

ගීතා විකුම්පාය ඉදිරියට එන විට සැඩ හිරු කොළඹ අහසේ බටහිර දෙසට පහත් වී තිබිණි. ආරක්ෂක අංශයෙන් ඇය ට විකුම් පායට ඇතුල් වීමේ අවස්ථාවක් ලැබුණේ නැත. නමුත් ගීතා ලෙහෙසියෙන් පසු බා යන්නට සූදානම් වූයේ ද නැත. අන්තිමට ආරක්ෂක නිලධාරියෙක් ගෙතුළට දුරකතන ඇමතුමක් ගත්තේ ය. රිසීවරය එසවූයේ සඳසීලී ය.

“මැඩම්. සර්ව හම්බ වෙන්න ලේඩි කෙනෙක් ඇවිත් ඉන්නව. මේ වෙලාවෙ විසිටර්ස්ල ඇතුළට ගන්නෑ කිව්වට අහන්නෑ. එන්නම හදනව”

“මොන සර්ද…විකුම් සර්ද…”

“නෑ මැඩම්. ලොකු සර්ව”

“හරි පොඩ්ඩක් ඉන්න”

සඳසීලී රිසීවරය තබා සේනක ට හඬගෑවා ය. ඔහු සොයා ගෙන කාන්තාවක මෙහි ඇවිත් ඉන්නවා කියන්නේ තරමක් අමුතු දෙයකි. සේනක වූ කලී ඔහු ගේ පිටත සම්බන්ධකම් ගෙදරට නො ගෙනෙන්නට තරම් පරිස්සම් වූ කෙනෙකි. ඒ හින්දා ම මෙසේ පැමිණි තැනැත්තිය කවුද යන කුතුහලය සඳසීලී තුළ ඇති විය.

“ලේඩි කෙනෙක් ඇවිත් ඉන්නවලු ගේට් එක ළඟ”

සඳසීලී ගේ දැනුම් දීමෙන් සේනක ගේ ඇස් මඳක් කුඩා විය. මෙහෙව් වෙලාවක ගේ දොරකඩට එන්නට ඉන්නා ගැහැනිය කවුදැයි ඔහු ට සිතා ගැනීමට හෝ හැකි වූයේ නැත.

“කවුද..”

“කවුද කියල මං දන්නෙ කොහොමද…”

සේනක ආරක්ෂක කුටියට ඇමතුමක් ගත්තේ ය.

“කවුද ඔය ඇවිත් කියන්නෙ…කියනව මහජන දිනේට එන්න කියල”

“කිව්ව සර්. කිව්වට අහන්නෙ නෑ. මේ අපිවත් පෙරළගෙන එන්න හදනව”

“මොන මගුලක්ද…කාරණේ මොකද්ද අහනව”

“කාරණේ කියන්න ඕන සර්ටලු. නම ගීතා කිව්ව සර්”

“ගීතා…”

සේනක ගේ සිත් හි මඳ දෙගිඩියාවක් ඇති විය. ගීතලා ඕනෑ තරම් මේ රටේ සිටිති. නමුත් ඒ නම ඔහු ගේ මතකයේ ඉතා ඈත ගිනි පුපුරක් දල්වයි.

“කවුරු වුණත් කමක් නෑ. දැං බෑ කියනව”

සේනක එපමණකින් රිසීවරය තැබුවේ ය. සඳසීලී ට වෙනසක් දැනිණ. සේනක ගේ ස්ත්‍රී ඇසුර ගැන හුටපට වලට ඇය අත පොවන්නට යන්නේ ම නැත. ඒ ඇය සිය තුරුණු වියේදී ගත් තීරණයකි. ඔහු ගේ ඇසුරට පත් ස්ත්‍රී සමාජය ගෙදරට දුරින් තබා ගැනීම සේනක ගේ ක්‍රමය ද විය. ඒ බව දන්නා ගැහැනියක කිසි දා විකුම් පායට ඔහු සොයා පැමිණියේ ද නැත. ඒ හින්දා ම මේ වෙලාවේ මෙහි පැමිණි ස්ත්‍රී පරාණය ගැන කුකුසක් සඳසීලී තුළ ඇති විය.

ඇය වහා රිසීවරය ගෙන ආරක්ෂක අංශය ඇමතුවා ය.

“ඔය ඇවිත් ඉන්න ගෑනු කෙනාව එවන්න”

සේනක සිය බිරිය දෙස බැලුවේ ගැස්සීගෙන ය. ඇය සිය ජීවිතයේ යම් මන්සන්ධියක දී රැඩිකල් ගැහැනියක ලෙස පෙනී හිටින්නට පටන් ගත්තා ය. එතැන් පටන් සේනක ව සිය පයට පෑගෙන දුහුවිල්ලක් තරම් මායිම් කළේ නැත. ඔහු ගේ අණසකට යටත් ව වැඩ කළේ ද නැත. ඇය ට සතුටු විය හැකි දෙයක් ඈ සතුටු වන පරිදි කළා ය. මේ මොහොතේ සඳසීලී කවර නාඩගමක් නටාවිදැයි සේනක බිය වූයේ එනිසාවෙනි.

කෙසේ වෙතත් ඇයට විරුද්ධ වන්නට තරම් ශක්තියක් ඔහු වෙත වූයේ නැත.

ගීතා තව සුළු වෙලාවකින් ඔවුන් ඉදිරියේ පෙනී සිටියා ය. ඇගේ ඇස් වල ඒ අතීතයේ දිනෙක දැක තිබි බියමුසු තැතිගැන්ම නොවන බව, එක ම බැල්මෙන් සේනක හැඳින ගත්තේ ය.

“ඇයි…”

සඳසීලී විමසූයේ කරුණාවත් හඬකිනි. ගීතා තුළ එතෙක් වූ දෙගිඩියාව ද ඒ එක ම වචනයෙන් දුරු වී ගියා සේ ය. නමුත් ඇගේ මුවට එක වර වචන පැමිණියේ නැත. උගුර හිර වී මුව ගොළු ගැසී තිබෙනවා ඇය ට දැනිණ.

“මැඩම්..”

ඇය අමාරුවෙන් කියා ගත්තා ය.

“ඔව් මොකද්ද ප්‍රශ්නෙ…ඇයි මේ වෙලාවෙ ඇවිත් ඇමතිතුමාව හම්බ වෙන්න ඕන කියන්නෙ…”

සඳසීලී ගේ හඬ නිර්භීත ය. සේනක ට දැනුණේ ඔහු ගේ දෙපා එකිනෙක හැපී යනවා මෙනි. ඔහු ගේ උගුර කට වියළී යමින් තිබිණි. අතීතයෙන් ඇවිත් හිඳින මේ ගැහැනිය සිය වර්තමානය මත මොන විදිහේ සලකුණක් ඉතිරි කරන්නට හදනවාද යන දෙගිඩියාව සේනක විජයවික්‍රම ගේ බොටුවෙන් අල්ලා තද කරමින් තිබුණේ ය.

“මගෙ පුතා..”

ගීතා ගේ හඬ බිඳී ගියේ ය. අවුරුදු තිහකට අසන්න අතීතයේ දිනෙක ද ගීතා මේ විදිහට ම කිළිටි රෙදි කැබැල්ලක දරුවෙකු ඔතා ගෙන විත් ‘මගෙ පුතා’ කියා කියූ හඬ සේනක ට ඇසී නෑසී ගියේ ය.

“ඔව් ඔයාගෙ පුතා..ඉතිං…”

“අනේ මට මගෙ පුතාව බේරල දෙන්න මැඩම්”

ගීතා සඳසීලී ඉදිරියේ වැඳ වැටුණා ය. සඳසීලී වහ වහා මේ නන්නාඳුනන ගැහැනියගේ දෙ උරහිසින් අල්ලා ඇය නැගිටුවාලන උත්සාහයක් දැරුවා ය.

“ඇයි ඔයාගෙ පුතාට මොකද වෙලා තියෙන්නෙ…සේනක…මොකද්ද මේ කියන්නෙ…”

“මන්දන්නෙ කොහොමද”

ඔහු කිසිත් නො දන්නා කිරි සප්පයෙකු සේ ඉවත බැලුවේ ය. නමුත් සේනක ගේ බඩ පපුව දැවිල්ල ගෙන තිබිණි. ගීතා මේ කතා කරන්නේ ඔහු නිසා ඇගේ කුස ඔත් දරුවා පිළිබඳව නම්, ඔහු ට කුමක් වී ද? එදා මෙදා තුර, කිළිටි රෙදි කඩක බිළිඳා ව ඔතා ගෙන ඇය සේනක වෙත ආවේ එක ම එක වතාවකි.

“මේ මහත්තයගෙ දරුව මහත්තයො. මට මේ දරුව හදා ගන්න උදව් කරන්න මහත්තයො”

“පිස්සුද ගෑනියෙ”

එදා සේනක ගිගිරූ හැටි ඔහු ට මේ දැනුත් ඇසේ. අද සේ එදා ඔහු ඇමතිවරයෙකු නොවුණේ ය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පමණක් වූයේ ය. ගීතා ඔහු ගේ නෙත ගැටුණේ කුමක් හෝ වැඩක් කර ගන්නට ප්‍රාදේශීය සභාවට ආ වෙලාවක ය. කඩා හැලෙන ලස්සනක් නොවුණාට, කුළෑටි කතක වූවාට, සේනක ගේ රැහැනට ඇය හසු විය.

“ඔය ළමයව ළමා නිවාසෙකට දාන එකයි තියෙන්නෙ. මං ඒ වැඩ කටයුතු ටික ලෑස්ති කරල දෙන්නං”

එවෙලේ ගීතා ට ඕන වුණේ සේනක ගේ මූණට කෙළ ගසන්නට ය. එදා දරුවා ද තුරුලු කරගෙන ඔහු වෙතින් නික්ම ආ පසු ඇය ඔහු ඉන්නා පැත්තක් බලා ගෙන බත් කෑවේ හෝ නැත. ඒ මොහොතේ සිට දුමාල් විශ්ව විද්‍යාලයට යවා ගන්නා තුරුත් ගීතා එක සීරුවට සිය පුතා මත්තේ දුක් වින්දා ය.

“මහත්තය නොදන්නෙ මොනාද කියල මන් දන්නෑ. සමහර විට… මහත්තයගෙම ලෙයිං ජාතක වෙච්ච…ඒ වුණාට අවජාතකයි කියල මිනිස්සුංගෙ පයට පෑගිච්ච මගෙ කොලුවට මේ වෙලාවෙ මොකද්ද මහත්තය කළේ කියල නොදන්නව ඇති. හැබැයි මහත්තයට දාව මගෙ කුසෙං බිහි වෙච්ච කොල්ලෙක් ඉන්නවයි කියන එක මීට අවුරුදු විසි නවයකට කලිං මහත්තය දැනං හිටියනෙ”

සඳසීලී නිවී සැනසිල්ලේ පුටුවක් මතින් හිඳ ගත්තා ය. දරුවන් වෙනුවෙන් අම්මලා භුක්ති විඳින කම් කටොළු ගැන අටුවා ටිකා ඇය ට අනවශ්‍ය ය. ඇගේ පුතා ඇමතිවරයෙකු ගේ පුතෙකු වූවත් සඳසීලී ඒ දුක හොඳින් වළඳා තිබේ. ඒ සමාජ තත්ව වලින් තොර ව පියෙකු ගේ රැකවරණයක් ද නොමැති ව පුතෙකු හැදූ මේ අම්මා ගැන ඈ තුළ ඇති වූයේ පහන් හැඟීමකි.

“මොන විකාරද ආ තමුං මේ කියවන්නෙ…බහිනව දොට්ට. තමුං ගියෙ නැත්තං මං සෙකියුරිටි ගෙනත්..”

“නෑ ගීතා යන්න ඕන නෑ”

සේනක කියා නිම වෙන්නට පෙර සඳසීලී අවසන් තීන්දුව දුන්නා ය.

“ගීතාට කියන්න තියෙන දේ සම්පූර්ණයෙන් ම කියන්න. මොකද්ද ඔයාගෙ පුතාට වෙලා තියෙන්නෙ…”

“අනේ මට සමා වෙන්න මැඩම්. මැඩම් ගෙ ලේලි ආදිත්‍යා එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තියෙන්නෙ මගෙ පුතා. ඒකෙ වාඩුව ගන්න ඒ අසරණයට හොඳටම ගහල මැඩම්”

සේනක ට දැනුණේ ඔහුව ඔසවා පොළොවේ ගැසුවා සේ ය. ඔහු ට අභියෝග කළ අල්ලපු ගෙදර බෝඩිංකාරයා, අයංකාර ජේත්තුකාරයා ඔහු ගේ ම ලෙයින් ජාතක වූ පුතෙකු බව පිළිගන්නා සූදානමක් හෝ ඔහු වෙත වූයේ නැත.

“මොනව…”

සඳසීලී ට පුටුවෙන් නැගිටිණි.

“අනේ මං වැඳල කියන්නං මහත්තයො…කොල්ලව හසා ගන්න මං මහත්තයගෙං හාල් සේරුවක තරං දෙයක් අරගෙන නෑ. ඒත් අද මං අත් දෙක එකතු කරල වැඳල ඉල්ලනව. මගෙ කොල්ලව අතාරින්න. මං අමාරුවෙං දුක් විඳල එකලාසයක් කරපු උගෙ ජීවිතේ උදුර ගන්න හදන්න එපා. මට සමා වෙන්න මැඩම්..මං මේ ගමන ආවෙ වෙන කරන්න දෙයක් නැති කමට. පුතෙක් වෙනුවෙන් අම්මා කෙනෙක්ට ඕන නව නින්දාවක් විඳගන්න පුළුවන් කමට…මට මගෙ කොල්ලා බේරල දෙන්න මැඩම්…පිං අත් වෙයි”

සඳසීලී හිටියේ දෙපා පණ නැතිව ය. ජීවිතය කියන්නේ මොන වගේ දෙයක් දැයි හිතන්නට ඇය ට උවමනා විය. නමුත් හිත වූයේ නිරවුල් ව නොවේ. බිහිසුණු මායාකාරී ලෝකයක ඇය පා වෙන්නා සේ සඳසීලී ට දැනෙන්නට විය.

සේනක සිය දෙපා අද්ද අද්දා මතු මහලට ගියේ ය. ගීතා ගේට්ටුවෙන් නික්ම යනු ඔහු දුටුවේ ය. අතීතය මේ තරම් බිහිසුණු ලෙස ඇවිත් වර්තමානය ඉදිරියේ හිට ගනීවියි සේනක නිකමට හෝ සිතුවේ නැත. ඔහු සඳැල්ලට විත් යාබද නිවස දෙස බලා ගත්තේ ය. තරුණයා ඒ සඳළුතලාවේ හිඳිනු ඔහු කිහිප වරක් දැක තිබේ. නමුත් ඒ සිය ලෙයින් ම ජනිත වූ පුත්‍රයෙකු වෙතැයි සිහිනයෙනුදු ඔහු ට සිතී නැත.

සේනක ගරාදි වැටට අත මිට මොළවා වේගවත් පහරක් ගැසුවේ ය. ඔහු ට ගමේ පන්සලේ හාමුදුරුවන් නිතර දෙසනා දහම් පාඨයක් සිහි විය.

‘යාදිසං වපතේ බීජං

තාදිසං හරතේ ඵලං’

වපුරන අයුරින් අස්වනු නෙලා ගන්නට සිදු වේ. සේනක මේ අස්වනු නෙලමින් හිඳිනුයේ අතීතයේ ඔහු වැපිරූ බීජ වල ඵලයන් ය!

සඳසීලි පසු දා දහවල ආදිත්‍යා සමග රෝහලට ගියා ය. දින ගණනාවක් ආදිත්‍යා නොදැකීමෙන් මළානික ව තිබි දුමාල් ගේ ඇස් වල ගැඹුරේ ම ආලෝක ලප දෙකක් දැල්විණ.

“අපිට සමා වෙන්න පුතා”

සඳසීලී දුමාල් ගෙන් ඉල්ලා සිටියා ය. දුමාල් හා ආදිත්‍යා මුහුණෙන් මුහුණ බලා ගත්හ.

“ඔයා විකුම්ගෙම සහෝදරයෙක් කියල මං දැන ගත්තෙ ඊයෙ. ඔයාගෙ බයෝලොජිකල් ෆාදර්…සේනක ඒ බව දන්නෙත් ඊයෙ රෑ”

දුමාල් තිගැස්සී ගියේ ය. මේ වගේ අහඹු වෙලාවක පැමිණි අමුත්තිය කියනා මේ අමුතු කතාව පිළි ගන්නට එක පැහැර ඔහු ට ඕනෑ වූයේ නැති තරම ය.

“මං වුණත් හිටියෙ හිතේ කැමැත්තකින් නෙවෙයි…ආදිත්‍යා පුතා එක්ක සම්බන්ධයක් ඇති කර ගත්ත එක ගැන. ඒත් ආදිත්‍යා කියපු හුඟක් දේවල් ගැන පස්සෙ මං හිතුවා. ඔයා මින්දුලට තාත්තා කෙනෙක් වගේ ආදරේ කරනවනං…ආදිත්‍යා වගේ අම්ම කෙනෙක් කොහොමද ඔයාට ලං නොවී ඉන්නෙ කියල. දැං මං කැමතියි ආදිත්‍යා ඔයාට ලං වුණ එක ගැන…කොහොමත් ඔයා මින්දුල ගෙ බාප්පා. තාත්තා මොකද බාප්පා මොකද…තාත්තා වගේම බාප්පල අයියලගෙ ළමයින්ට ආදරෙයි. ඉතින් ඔයාට මින්දුල තාත්තා කියන එක ඉවස ගන්න එක ලේසියි පුතා”

සඳසීලී ගේ වචන වල වූයේ සැහැල්ලුවක් නොවේ. වේදනාත්මක බරකි. සංකාත්මක ශෝකාකූල බවකි. නමුත් දුමාල් ගේ මූණ බලා ගෙන ආදිත්‍යා ඉදිරියේ ම ඒ ටික කියා ගන්නට ලැබීම ඇය ට සැනසීමක් ගෙන දුන්නේ ය.

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

Easy breakfast recipes – part 2

කාර්‍යබහුල ඔබට උදෑසනට ලේසියෙන්ම හදාගන්න පුළුවන් වගේම පොඩ්ඩන්ට උනත් ආසාවෙන් කන්න පුළුවන් easy breakfast recipes ගැන තමයි මේ ලිපියෙන් ඔබට කියන්නේ

දෑවැද්ද

" අම්මා කොහෙ යන්නද ලෑස්ති වෙන්නේ ? "සුජානි කාමරේට ආවේ ටික වෙලාවක ඉඳලා රම්‍යා පේන්න හිටියේ නැති නිසා.රම්‍යා...

සැරිසරන්නී – 13

මට මතක් වූයේ චමත්කා රවීන් ගැන උනන්දුවෙන් පසු වෙනවා කියා නංගී කී කතාව ය. චමත්කා නොව ලොව ඕනෑ ම ගැහැනියක එවන් පිරිමි...

නිලැසි -21

නොසැලකිලිමත් බැල්මක් අමුත්තන්ට වෙන් වූ කොටසේ ඒ මේ අත සක්මන් කරන තරුණයා දෙස නිම්න මොහොතක් බලා සිටියේ ය.වටිනා සන්නාම සහිත ඇඳුම් ඉතා...

අනුන්ගේ තීරණ.

"ඔයා කොහොමද අනේ තාරකා අඳුනන්නේ?"භාග්‍යා එහෙම අහනකොට නිමාලි කරමින් හිටිය වැඩෙත් නවත්තලා භාග්‍යා එක්ක හිනා වුණා.තාරකා එක්ක ෆේස්බුක්...