නිරෝගී දිවියකට නිවැරදිම නිදාගැනීමේ ඉරියව්

දවසක වෙහෙස මහන්සිය අවසානයේ සුව නින්දක් ලැබීම අපි කාගෙත් බලාපොරොත්තුවනේ. 

නින්දෙදි අපේ ශරීරය විවේක ගැනීම, යථා තත්වයට පත්වීම සහ අලුත්වැඩියාවට ලක්වීම සිදුවීම නිසා ශරීරයේ දීර්ඝකාලීන යහපැවැත්ම පවත්වාගෙන යාම උදෙසා සුවපහසු නින්දක් අනිවාර්‍යයි, 

නමුත්, ඔබ නිදාගන්නේ නිදාගැනීමට සුදුසු ස්ථානයක හෝ ඉරියව්වක නෙමෙයි නම්, නින්දෙන් පසු ඔබ බලාපොරොත්තු වන ප්‍රබෝධජනක ආරම්භය වෙනුවට ඔබට ලැබෙන්නෙ අලුත් ශරීර වේදනාවක්, දැඩි වෙහෙසක් වගේම මානසික ආතතියක් වෙන්න පුළුවන්. 

ඒ නිසා අඳුරු, සිසිල් සහ නිශ්ශබ්ද ස්ථානයක නිදාගන්න වගේම නින්දෙදි නිවැරදි ඉරියව් පවත්වා ගැනීමත් ඉතාම වැදගත්. 

ඒ නිසා smart lady අපි අද නිවැරදිව නිදාගැනීමේ ඉරියව් මොනවද කියල ඔබත් එක්ක කතා කරන්නයි මේ සූදානම් වෙන්නෙ. 

මුලින්ම, අපි බලමු නිදාගැනීමේදී අපි භාවිතා කරන ඉරියව් මොනවද කියල? 

උඩු අතට නිදාගැනීම

මේ ඉරියව්වෙන් නිදා ගැනීම ඔබේ කොඳු ඇට පෙළ කෙළින් තබා බෙල්ල සමතලා කිරීමට උදව් වෙන ඉරියව්වක් විදිහට හඳුන්වන්න පුළුවන්. 

ඔබ නිතරම බෙල්ලේ හෝ කොන්ද ප්‍රදේශයේ වේදනාව සමඟ අවදි වන කෙනෙක් නම් මේ ඉරියව්ව ඔබට වඩාත් සුදුසුම ඉරියව්වක් කියලයි පරේක්ෂකයෝ සඳහන් කරන්නෙ. 

ඊට අමතරව කොට්ටයට තෙරපීම නිසා මුහුණේ රැළි ඇතිවීමත් මේ ඉරියව්වෙන් නිදාගැනීම නිසා වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනව. 

නමුත්, මේ ඉරියව්වෙන් නිදාගැනීම නින්දේදී ගෙරවීමේ තත්වය වැඩි කරන්න හේතු වෙන්න පුළුවන්. 

බඩ මත නිදාගැනීම

බඩ මත නිදාගැනීම ඔබේ නින්දෙන් ගෙරවීම අවම කරන්න හෝ සම්පූර්ණයෙන් නවත්වල දාන්න උපකාරී වෙන ඉරියව්වක් විදිහට හඳුනාගන්න පුළුවන්. 

නමුත්, බඩ මත නිදාගැනීමේදී බෙල්ල පැත්තකට හැරවීම සිදුවෙන නිසා බෙල්ල මත සහ කොන්දේ උඩ ප්‍රදේශයේ වේදනාවන් ඇති කරන්න හේතු වෙන්න පුළුවන්. 

කළලයක් ලෙස නිදාගැනීම

බෝලයක් මෙන් ගුලිවී නිදාගැනීමෙ මේ ඉරියව්වෙන් නිදාගන්න අය අතරෙ දකින්න ලැබෙනව. 

මේ ඉරියව්ව ගර්භණී කාන්තාවන්ට සහ කොන්දේ පහළ කොටසේ වේදනාව සහිත පුද්ගලයන්ට ගැළපෙන, පහසු ඉරියව්වක් විදිහටත් කොඳු ඇට පෙළට ඇතිවෙන ආතතිය අඩු කරන්න උපකාරී වෙන ඉරියව්වක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. 

පැත්තට නිදාගැනීම

පර්‍යේෂකයන් පෙන්වා දෙන ආකාරයට වැඩි පිරිසක් නිදා ගන්න ඉරියව්ව විදිහට පැත්තට නිදාගැනීමේ ඉරියව්ව හඳුනාගන්න පුළුවන්. 

ශ්වසන මාර්ගය විවෘතව තබාගෙන නින්දේදී හුස්ම ගැනීම පහසු කරන නිසා, ගොරවන හෝ නින්දේදී හුස්ම හිරවන අයට හොඳ ඉරියව්වක් විදිහට වගේම ආහාර ජීර්ණය පහසු කර අජීර්ණය වැළැක්වීමට උපකාරී වන ඉරියව්වක් විදිහටත් පැත්තට නිදාගැනීම දක්වන්න පුළුවන්. 

ඊළඟට, අපි බලමු විවිධ විශේෂ තත්වයන්ගෙන් පීඩා විඳින ඔබට ගැළපෙනම නිදාගැනීමේ ඉරියව්ව විදිහට හඳුනාගන්න පුළුවන් නිදාගැනීමේ ඉරියව් මොනවද කියල? 

ගර්භණී කාන්තාවන්

ගර්භණී සමයේදී පැත්තට හැරී නිදාගැනීමේ ඉරියව්ව වඩා ගැළපෙන බව තමයි පර්‍යේෂකයන් පෙන්වා දෙන්නෙ. 

ගර්භණී සමයේ ඔබ වගේම ඔබේ කුසේ සිටින දරුවාගෙ සුවපහසුවත් සළකා බැලිය යුතුමයි. 

ගර්භණී සමයේ වම් පසට හැරී නිදා ගැනීමත් අවශ්‍ය නම් ආධාරකයක් ලෙස කොට්ටයක් භාවිතා කිරීමත් ඔබට සුවපහසුව සළසනවා. මේ කොට්ටය දණහිස් අතර වගේම බඩ යටින් එහෙමත් නැත්නම්, කොන්දට පිටුපසින් තබාගන්නත් පුළුවන්. 

වම් පැත්තට හැරී නිදාගැනීම නිසා ඔබේ ශරීරය පුරාත්, ඔබේ දරුවාටත් අවශ්‍ය රුධිරය පොම්ප කිරීම පහසුයි වගේම පාදවලින් නැවත රුධිරය ඉහළට ගෙන ඒමට දැරිය යුතු පීඩනයත් අවම කරනවා. එය පාදවල ඇතිවන ඉදිමුණු ස්වභාවය අඩු කරන්නත් හොඳ උපක්‍රමයක් බවයි පර්‍යේෂකයන් පෙන්වා දෙන්නේ. 

ඊට අමතරව පෙණහළු වල ධාරිතාව වැඩි කරන නිසා හුස්ම ගැනීමත් පහසු කරනවා. 

කොන්දේ වේදනාව සහිත පුද්ගලයන් 

කොන්දේ වේදනාව සහිත පුද්ගලයන්ට උඩු අතර කොන්ද මත නිදාගැනීමෙන් කොන්ද මත ඇතිවෙන පීඩනය සහ ආතතිය අඩු වීම නිසා කොන්දේ වේදනාව අවම කරගැනීමේ හැකියාව තියෙනවා. 

උඩුබැලි අතට නිදාගැනීම වගේම දණහිස් වලට යටින් කොට්ටයක් තබා ගැනීමත් කොඳු ඇට පෙළේ ස්වභාවික වක්‍රය පවත්වා ගැනීමේ හොඳ උපක්‍රමයක් විදිහට හඳුන්වන්න පුළුවන්. 

කොන්දේ වේදනාව සහිත පුද්ගලයන්ට බඩ මත නිදාගැනීමේ ඉරියව්ව නිර්දේශ නොකරන්නේ එයින් බෙල්ල සහ කොන්ද ප්‍රදේශයට තවත් වේදනා ගෙන දෙන්න පුළුවන් නිසයි.

බෙල්ලේ වේදනාව සහිත පුද්ගලයන්

බෙල්ලේ වේදනාව සහිත පුද්ගලයන් සඳහාත් බඩ මත නිදාගැනීමේ ඉරියව්ව නිර්දේශ කරන්නෙ නෑ. 

ඒ වෙනුවට උඩ අතට හැරී නිදාගැනීමත් බෙල්ලේ ස්වභාවික වක්‍රය වෙනස් නොවෙන ලෙස තෝරාගත් වඩා උස් හෝ තුනී නොවූ කොට්ටයක් තෝරාගැනීමත් කරන්න පුළුවන්. 

මේ සඳහා වර්තමානයේ බුබුළු සහිත කොට්ට වගේම විශේෂ හැඩයට සකසන ලද කොට්ටත් දැකගන්න ලැබෙනවා. 

නින්දෙන් ගොරවන පුද්ගලයන්

නින්දෙන් ගොරවන පුද්ගලයන්ටත් අපි කලින් කතා කරගත් ලෙස ස්වසනය පහසු පැත්තට නිදාගැනීමේ ඉරියව්ව වඩා සුදුසු බව තමයි සඳහන් වෙන්නෙ. 

හිස මඳක් උස්කර නිදාගන්නත්, බඩ මත හෝ කොන්ද මත නිදාගැනීමේ ඉරියව් වලින් වැළකෙන්නත් නින්දෙන් ගොරවන ඔබ හැකි තරම් උත්සහ කර යුතුයි. 

ඉතිං මේ සියළු කරුණු සළකා බලා ඔබට ගැළපෙන ඉරියව්වක් තෝරගන්න ඔබට පුළුවන්. 

නමුත් ඔබ මතක තබා ගත යුතුම කාරණාවක් තිබෙනවා. ඒ ඔබේ නිදාගැනීමේ ඉරියව්ව අද ඔබට ගැටළු ඇති කරේ නැතත් පසුකාලීනව ගැටළු ඇති කර හැකියි කියන කාරණාවයි. 

ඒ නිසා, වඩා හොඳින් සිතාබලා ගැළපෙන නිදාගැනීමේ ඉරියව්වකට හුරුවීමත්, නිසි ප්‍රමිතියකින් යුතු කොට්ට සහ මෙට්ට තෝරා ගැනීමත්, නිදාගැනීමට සුදුසු ලෙස පරිසරය සකසා ගැනීමත් කළ යුතුමයි. 

එහෙනම්, අද අපේ ලිපියේ මේ කරුණු ඔබට වැදගත් වන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. වැරදි ඉරියව් නිසා ඇති වෙන්න පුළුවන් උරහිස්, කොන්ද, බෙල්ල, කකුලේ වේදනා වළක්වා ගන්න නිවැරදි ඉරියව් නිදාගනිද්දි පාවිච්චි කරන්න කියල අපි ඔබට ආදරෙන් මතක් කරන්න කැමතියි. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles