මියුරු පෙම් වසන්තේ – 18

මියුරු උන්නේ වචනයෙන් කියාගන්න බැරි හැඟුම් සමුදායක් අස්සේ ගිලී පිහිනමිනි. පෙරදා රැයේ වෙච්ච දේවල් ගැන අම්මාවත් තාත්තාවත් කිසිම ආකාරයක දෙයක් ඇහුවේ නැත. ඒ නොඇසීම වෙන දවසක් හිත නොසංසුන් කරන්න හේතුවක් වන්නට තිබුණත් අද මනස කළඹවන්නට හේතු වුණේ එය නොවේ.

නදීය..පෙරදා රැයේ ඇගේ හැසිරීමය. ඇය අවසානයට කියන්න යෙදුණ දේය. ඒ වනාහී එක පැත්තකින් සතුටු වෙන්නට කාරණා ඇති කරන්නක් වුණත් අනිත් පැත්තෙන් සැකයක් සේයාවන් හිත තුල මවන්නකි.

“බෝයි ෆ්‍රෙන්ඩ්? මොන බෝයි ෆ්‍රෙන්ඩ් ද?”

“ඔයාගෙ අර ත්‍රීවිල් එක එළවන බෝයි ෆ්‍රෙන්ඩ්. මම නම දන්නෙ නෑ”

“අනේ චූටි පැටියෝ, ඒ මගෙ යාලුවෙක් විතරයි අනේ. මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑනෙ” නදී එහෙම කිව්වේ හිනාවෙමින් හන්දා එය විශ්වාස කල යුතුද නැද්ද කියන සැකය එවෙලෙත් මියුරුට තිබුණේය.

“ඔයාමනෙ කිව්වෙ ඒ ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කියල” එළියට යන්නට ගිය ගමන මදකට නවතා ආයෙම වරක් නදී ළඟට ආවේ මේ කතාව සැකහැර දැනගන්න හිතාය. ඒ උනාට මේ බීලා පිස්සු කියවන කෙල්ලෙක්ගෙන් එහෙම කතාවක් හරියට අහගන්න හිතපු තමන්ට ඔක්කොටම වඩා පිස්සු බව මියුරුට නොහිතුනා නොවේ. ඒ උනාට මෙහෙම වෙලාවක ඒ පිස්සුව තමන්ට උවමනා දේ දැනගන්නට උදව් කරන බව මියුරු හිතුවේය.

“ආ කතා කරනවකො, නදී” මියුරු ඇඳෙන් පහලට එල්ලෙමින් තිබූ නදීගේ කකුලට තට්ටුවක් දමා යාන්තමට මෙන් නිදාගන්නට ඇස් පියාගන්න හැදූ නදීව ඇහැරවන්න කටයුතු කලේය. එහෙත් නදී උන්නේ නිදි දෙව්දුව පැත්තට වඩා බරවෙමිනි.

“කියනවකො ඒ ත්‍රීවිල් එලවන කොල්ලා ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් නෙවිද?” කියා කිව්වාට නදී උන්නේ මියුරු අහන දේට උත්තර දෙන්න පුලුවන් සිහි කල්පනාවකින් නොවේ. නිදි මතේත්, මත් බවේත් සුසංයෝගය නිසාවෙන් නදී කලේ “” හ්ම්ම්ම්, ම්ම්ම්ම්, නෑ, ඔව්ව්ව්ව්” කියා මියුරු අහන අහන එකට විකාර උත්තර දුන්න එක විතරය. මේ නම් හරියන මගුලක් නොවන බව තේරුණයින් පසුව ඇත්ත දැනගන්න කොච්චර උවමනා උනත් කට්ටිය දැන් තමා කොහෙද කියා හොයනවා ඇතැයි හිතුණ හන්දා මියුරු ආපසු හැරී උත්සවය පැවැත්වුණ ශාලාව වෙත ඇවිද ගියේය. ඒ යන අතරවාරයේ කොරිඩෝවේ තැනක රඳවා තිබුණ වීදුරුවක් ලඟ නතර වී ඇඳුම් පැළඳුම් වල අඩුපාඩු හරිගස්සාගන්න මියුරු අමතක කරේ නැත. කණ්ණාඩියෙන් තමන්ගේ රුව දකිද්දී මියුරුට මතක් උනේ නදීවය. ඒ මතක් වී දෙතොල් මත ඇඳුණේ සුන්දර සිනාවකි. ඒ සිනාවත් එක්කම “පිස්සු කෙල්ල” කියා මියුරු හිතුවේ අලුත් පෙම්වතෙකුට උරුම සතුටකිනි. එහෙත් ඒ වනාහී වඩා හොඳින් ස්තිර කරගන්නට උවමනා කරන්නා වූ සතුටක් බවත් මියුරු නොදන්නවා නොවේ.

“අද නම් මියුරුට හොඳ ඩාන්ස් පාට්නර් කෙනෙක් ලැබිලා නේද? කියා අම්මාගේත් තාත්තාගේත් ව්‍යාපාරික හිතමිතුරන් විහිලු කරද්දීත් මියුරු කරේ ඒවාට විරුද්ධව කිසිවක් නොකියා හිනාවෙන එක විතරය.

අනික්කෙක ඉතින් කියනවා කියා මොනවා කියන්නද?

ඉන්පසුව ගෙවුණ කාලය මියුරු ශරීරයෙන් රැඳී උන්නේ උත්සවය පැවැත්වෙන ශාලාවේ හිත මිතුරන් අතරේ වුණත් හිත තිබුනේ හෝටලයේ පහල මාලයේ කාමරයක නිදාගෙන හිඳින නදී ළඟය. “ඒ මගේ බෝයිෆ්‍රෙන්ඩ් නෙවෙයි” කියා නදී විසින් කියන්නට යෙදුන කතාව මියුරු හිත අභ්‍යන්තරයෙන් සහමුලින්ම වෙනස් මිනිසෙකු කරන්නට හේතු වී තිබුණි. මියුරු උන්නේ ආයෙ කොයි වෙලාවේ නදී ළඟට යන්න පුලුවන්ද කියා හිතමිනි. කිසිම හිතවත්කමේ හෝ නීතිමය බැඳීමක් නැති කෙල්ලක බීමත්ව නිදාගෙන ඉන්න කාමරයකට ඇයගේ ප්‍රධානියා ලෙස යාම වරදක් බව දන්නවා උනත් නදීගේ පිහිටට මේ වෙලාවේ යවන්න පුලුවන් කෙනෙකු මියුරුගේ හිතට නොඒ. අනික නදීගේ බීම වීදුරුවට මත් පැන් වක්කරේ කවුද කියා හොයාගන්නා තුරු මේ උත්සව ශාලාවේ රැඳී ඉන්න කිසිවෙකුව විශ්වාස කරන්න බැරි බවත් මියුරු අමතක කරේ නැත.

සංගීතයද, මත්පැන්ද උත්සවයට පැමිණ උන් බොහෝ දෙනාව වඩා සැහැල්ලු කර තිබූ මොහොතක කිසිවෙකුගේ දෙනෙතට හසු නොවී එළියට පැන ගන්නටත්, නදී රැඳී උන් කාමරයට යන්නටත් මියුරු සමත් වුණේය. මියුරු ඒ එද්දීත් නදී උන්නේ හොඳටම නින්දේය. නදීව දැන් ගෙදර එක්කරගෙන යන්නේ කොහොමද කියන ප්‍රශ්නය මියුරුට නොතිබුනා නොවේ. ඇයව සිහි එනතුරු මේ හෝටල් කාමරයේ තියාගන්න අවශ්‍ය මුදල් අතේ තිබ්බද ඇය ගෙදර නොඒම ගැන කලබල වූ පවුලේ මිනිස්සු පොලිසියටවත් ගියහොත් වෙන්නේ අකරතැබ්බයකි. වැදගත් තැනක හැදිච්ච කෙල්ලෙක්ට එහෙම දෙමව්පියන්ට නොකියා එලියේ රැඳී ඉන්න පුලුවන් කමක් නැත. අනික අඳුරන කවුරුත් නැති හෝටල් කාමරයක කොහෙත්ම ඉන්න පුලුවන්කමක් නැත.

ඔය සිතුවිලි අස්සේත් දාහක් ප්‍රශ්න මියුරුගේ හිතට ආවේ නැතුවාද නොවේ.

“මෙච්චර හොඳට ඉගෙන ගත්ත, හොඳ පවුලක ළමයෙක් කොහොමද ත්‍රීවිල් එලවන කොල්ලෙක් එක්ක යාලුවෙක් වගේ ඉන්නේ? සාමාන්‍යයෙන් එහෙම වෙන්නෙ නෑනෙ. ගෙවල් ළඟ බෝයි කෙනෙක් වෙන්න ඇතිද?

එහෙම නැත්තම් නදී බීල ඉන්න හන්දා එයා විකාරෙන්ද දන්නෙ නෑ ඒ බෝයි ෆ්‍රෙන්ඩ් නෙවෙයි කියලා කිව්වෙ”

ඒ උනාට මියුරු දන්නා විදියට මිනිස්සු සහතික ඇත්ත කියන්නේ බීගත්ත වෙලාවටය. ඉතින් එහෙම එකේ සිහිමදව ඉන්න මොහොතක තමන්ගේ කොල්ලා ගැන තමන්ගේ ආයතන ප්‍රධානියට බොරු කියන්න හේතුවක් නදීට නැත. එහෙම කරනවානම් කරන්න තියෙන හේතුව මෙය යැයි කියා මියුරුට සැක හිතන්න තියෙන්නේ එකම එක කාරණාවක් ගැන විතරය.

“නදී මේ බීල වගේ ඉඳගෙන බොරුද කරන්නේ? මාව චෙක් කරන්න හදනවද දන්නෙ නෑ? එයාට තේරුනාද දන්නෙ නෑ මම එයාට කැමතියි කියල, මාව අල්ලගන්නද දන්නෙ නෑ හදන්නේ?” කියා හිතෙන එකත් ඉතින් මියුරුගෙ පැත්තෙන් සාධාරණය.

ඒ වුණාට ඇඳේ වැටී අපතයා වගේ නිදාගෙන ඉන්න නදී දිහා බලද්දි නම් ගෑණි මේ කරන්නේ බොරුවක් කියා හිතන්නත් බැරිය.

බෑග් එක අස්සේ දාගෙන උන් නදීගේ ෆෝන් එක රිං උනේ ඕන් ඔය වෙලාවේයා. බෑග් එක අස්සෙන් ඒක හොයාගන්න සෑහෙන වෙලාවක් ගිය හන්දා ඒ කෝල් එක කට් වුණි. ස්ක්‍රීන් එකේ මිස් කෝල් විස්සක් විතර තියෙනවා මියුරු දැක්කේ ආන් එතකොටය. ෆෝන් එකක් නොව පරණ ෆෝන් කෑල්ලක් හන්දා ඒ මිස් කෝල් කාගෙන්ද කියා හොයාගන්න මියුරුට බැරිය.

“කවුද අනේ මේ වගේ ෆෝන් යූස් කරන්නෙ දැන්? සල්ලි නැති තැනක මිනිස්සුවත් යූස් කරන්නෙ නෑනෙ මෙහෙම ෆෝන්” කියා හිතන අතරේ ආ කෝල් එක මියුරුව පිස්සු වට්ටන්න හේතු වෙච්ච එකකි.

කෝල් එක එද්දී ෆෝන් ස්ක්‍රීන් එකෙ වැටුනේ වස්තු කියාය. කෙල්ලෙක් ඉතින් වස්තු කියා නම්බර් එකක් සේව් කරගෙන ඉන්නවනම් අනිවාර්‍යෙන් ඒ ඉතින් තමන්ගේ කොල්ලා බව මියුරුට අමුතුවෙන් කියන්න ඕන නැත. කෝල් එක මියුරු ආන්ස්වර් කරේ ඒ සැකයත් හිතේ තියාගෙනය.

හිතුවා වගේම එහා පැත්තේ රැඳී උන්නේ නදීගේ ත්‍රීවිල් කොල්ලාය. ඌ නදීගේ යාලුවෙක් විතරනම් නදී ඌව වස්තු කියා සේව් කරන්නෙ ඉන්නෙ ඇයි කියන එක මියුරුට නිකන් ඔලුවට සමණල් ගැටේ වැටෙන්න හේතුවක් ය.

දැන් කෙල්ලො හැම කොල්ලවම ෆෝන් එකේ සේව් කරගන්නේ වස්තු කියාද? කියලත් මියුරුට හිතුණේය.

ත්‍රීවිල් කොල්ලාව වස්තු කියා ෆෝන් එකේ සේව් කරගෙන ඉන්න ගමන් “එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් නෙවෙයි අනේ යාලුවෙක් විතරයි” කියා ටොං පචයක් කියන්න තරම් නදීට තිබ්බ හේතුව මොකද්ද කියා මියුරුට හිතාගන්න බැරිය.

“මේ ගෑණිනම් මහ සක්කරවට්ටමක්” කියා හිතුණේ ආන් ඒ හන්දාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles