ඒකපාර්ශ්වික – 44

නිම්නාදගේ හැර යාමෙන් පසුව මේඝා පළවෙනි වතාවට පිටතට යාම සඳහා බොහෝ වේලාවක් තිස්සේ ඇඳුමක් තෝරමින් උන්නාය. අතට අහුවෙන ඇඳුමකින් සැරසී කාර්යාලයට සහ අනෙක් තැන් වලට ගියා මිසක පෙරදී මෙන් උනන්දුවෙන් සූදානම් වී කොහේවත් ගිය දිනයක් මේඝා ගේ මතකයේ තිබුණේ නැත. ඉතින් බොහෝ කාලයකට පසුව මේඝා පුදුමාකාර ආසාවකින් ඇඳුම් අල්මාරිය අතරේ ඇඟිලි තුඩු යවමින් සුදු පැහැ රැලි සහිත කෙටි ගවුමක් තෝරා ගත්තාය.

අහස් සූදානම් වී අවසන් වූ පසුවත් කල්පනා කළේ ටිකකට පෙර පැමිණි දුරකථන ඇමතුම පිළිබඳවය. නාඳුනන තැනැත්තා තරයේම ප්‍රකාශ කළේ මේඝා ගෙන් ඈත්ව සිටින ලෙසය. මේඝා තමාට ලං වනවාට අකමැති තමන් දන්නා එකම පුද්ගලයා නිම්නාද පමණි. එම නිසා මේ දුරකථන ඇමතුම නිම්නාදගේ උවමනාවට පැමිණි එකක් බව අහස් නිගමනය කළේය.

 ” මම කවුද කියන එක අදාල නැති උනාට තමුසෙට මේඝා ගේ ජීවිතේ වටිනවා ඇති නේ නේද ? ” 

අහස් මොහොතකට නතර වූයේ නාදුනන පුද්ගලයා එසේ කී විටය. හේතුව කුමක් වුවත් මේඝාගේ ජීවිතයට අනතුරක් වීමට ඉඩ දිය නොහැක. 

” තමුසෙට තියෙන ප්‍රශ්නයක් මාත් එක්ක විසඳ ගන්නවා. ඒකට මේ කොහෙවත් ඉන්න කෙල්ලෙක් ගාව ගන්න එපා. අනිත් එක තමුසෙ වගේ නමක් ගමක් නොකියා චන්ඩි පාට් දාන එවුන්ට බය වෙන ජාතියෙ එකෙක් නෙමෙයි මම ” 

නාදුනන පුද්ගලයාට පෙර දුරකථන ඇමතුම විසන්ධි කලේ අහස් ය. ඇමතුම පැමිණි අංකය අවහිර කර දැම්මේ ඉන් අනතුරුවය. ඒ කෙසේ වෙතත් මේඝා පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත්,නිම්නාද හෝ වෙන කිසිවෙකුගෙන් වත් මේඝා ට කිසිදු කරදරයක් වීමට ඉඩ නොතැබිය යුතු බව අහස් තරයේම සිතට ගත්තේ ය. 

මේඝා විනාඩි දහයක් පමණ කණ්නාඩිය ඉදිරියේ ඒ මේ අත හැරෙමින් හැඩ බැලුවාය. කොණ්ඩය පිට දිගේ කඩා හැලෙන්නට හැර දැමූ විට මොන තරම් ලස්සන දැයි මේඝා දුටුවේ බොහෝ කාලයකට පසුවය. ලා රෝස පැහැ තොල් ආලේපනයක් ගැල්වූ මේඝා සුදු පැහැ ගවුමට ගැලපෙන්නට පබලු දෙකකින් සැරසුනු කරාබු යුවළක් පැළඳ ගත්තාය.

” ලස්සනයි මේඝා ” 

මේඝා කණ්නාඩිය දෙසින් පෙනෙන තමාගේ රුව දෙස බලමින් තමන්ටම කියා ගත්තාය. බොහෝ විට අගය කිරීමක් නොලැබූ ජීවිතයේ තමාවම අගය කර ගැනීම මේඝා පුරුද්දක් කර ගත්තේ අද ඊයෙක නොවේ. නිම්නාද තමාගේ ජීවිතය තුළ සිදු කර ගිය කලබගෑනිය නිසා එවැනි පුරුදු පවා මේඝා ගෙන් බොහෝ දුරට ගිලිහී ගොස් තිබුණි. 

ධනුකත් නිකිනිත් මේඝා ගේ නිවසට ආවේ හවස හයාමාර එළඹෙන්නට මොහොතක් තිබියදී ය. මේඝා නිවසේ ප්‍රධාන දොරටුව විවෘත කළේ ධනුකටත් නිකිනිටත් ඇතුළු වීම පිණිසය. නමුත් දොරටුව ඉදිරියේ පෙනී සිටි මේඝා දුටු සැනින් ධනුකත් නිකිනිත් මුහුණට මුහුණ බලාගත් අතර ඊළඟ නිමේෂයේදීම නිකිනි ඉදිරියට පැන මේඝාව තදින් වැළඳ ගත්තාය.

” ඔයා කොච්චර ලස්සනයිද කියල දන්නවද ? ” 

නිකිනි මේඝාගේ මුහුණ දෙස එක එල්ලේම බලාගෙන ඇසුවාය. ඇගේ දෑස් දිලිසෙන්නේ සතුටට බව මේඝා තේරුම් ගත්තාය. 

” උඹ ඔහොම ඉන්නවා දැක්කම පුදුම සතුටක් බං දැනෙන්නේ . බලපන් උඹ කොච්චර ලස්සනට ඉන්න පුළුවන් කෙල්ලෙක් ද කියලා .පහු වෙලා හරි ආයෙමත් උඹට  පරණ මේඝා වෙන්න හිතුන එක ලොකු දෙයක් බං ” 

ධනුක අඩු වැඩිය එකතු කලේය.

” මේ වගේ වෙනස් වෙන්න තවත් කල් ගන්න එපා මේඝා. ගොඩක් දේවල් වුණා තමයි. හැමදේම වෙන්නේ මිනිස්සුන්ට කියලා හිත හදාගෙන අපි ඉස්සරහට යමු. මං දන්නවා ඔයාගේ ජීවිතේ ඉස්සරහ දවස් තව ගොඩක් ලස්සන වෙනවා කියලා ” 

නිකිනි ආයෙ ආයෙම මේඝා ගේ හැඩ බැලුවේ බොහෝ කාලයකට පසුව දකින මේඝා ගේ ලස්සන හොඳින් දැක ගන්නටය. මේ සුන්දර කෙල්ලව හිමි කර ගන්නට නිම්නාදට වාසනාව අහිමි වූ බව නිකිනිට සිතුනත් ඇය එය වචන වලට පෙරලා නොඉන්නට ප්‍රවේසම් වූවාය. 

” උඹව දාලා ගිය අයට , උඹ එපා කියපු අයට පුදුම හිතෙන්නේ උඹ මේ වගේ ලස්සනට ඉන්නකොට. උඹ, උඹ ගැන වත් හිතන්නේ නැතුව අඬ අඬා ඉන්නකොට උන් සතුටු වෙනවා. ආයේ ඒක වෙන්න දෙන්න එපා මේඝා ” 

නිකිනි දයාබරව කීවාය. ඇය මේඝා ගේ හිස කෙස් අතින් එහෙ මෙහෙ කර සැකසුවේත් , කරාබු යුවළ අතගා බැලුවේත් , ගවුමේ රැලි නැවත සැකසුවේත් අම්මා කෙනෙකු තම දියණිය නිවසින් එළියට යන්නට පෙර අඩු පාඩු සකසන්නාක් මෙනි.මේඝාට සමහර වෙලාවට දරා ගැනීමට අසීරු වන්නේ හොඳම මිතුරියගේ ඔය ආදරයමය. 

” යමං ඉක්මනට පරක්කු නොවී. අහස් මෙලහටත් ඇවිල්ලද දන්නේ නෑ ” 

අහස් ගේ නම කියූ සැනින් මේඝාගේ හිතට දැනුනේ අමුතුම හැඟීමකි. අහස් ගේ සිතෙහි තමා පිළිබඳව විශේෂ හැඟීමක් ඇති බව අවස්ථා කිහිපයකදීම දැනුනත් එය පිළිගැනීමට තරම් මේඝාගේ සිතට හැඟීමක් දැනුනේ නැත. එහෙත් කුමක්දෝ හේතුවක් නිසා මේ වෙනස් වීම සිදුවිය යුතු යැයි සිත කී නිසා මේඝා ඒ සිතුවිල්ලට අවනත වෙමින් සිටියාය. 

අහස් ඔවුන් සඳහා වෙන්කළ මේසයේ වාඩි වී බලා සිටියේ ධනුක , නිකිනි සහ මේඝා එනතුරුය. විශේෂයෙන්ම මේඝාව දැකගැනීමේ තදබල ආසාවක් ඒ මොහොතේ අහස් තුළ විය. ධනුක නිකිනි සමඟ එන ආකාරයත් ඔවුන් දෙදෙනාට පසුපසින් මේඝා එන ආකාරයත් අහස් දුටුවේ ඉන්පසුවය. අහස් මේඝාව හරියටම දැක ගත්තේ ධනුකත් නිකිනිත් එහෙ මෙහෙ වූ පසුය.

” Congratulations මචන් ” 

ධනුක නැවතත් අහස්ට සුබ පැතුවේය. නිකිනිද අහස් ට සුබ පැතූ පසු මේඝා අහස් ලඟට ඇවිත් අත දිගු කළාය.

” Congratulations අහස් ” 

අහස්ට උවමනා වූයේ සුභ පැතුම පිළිගැනීමට නොව මේඝා ගේ සුන්දර මුහුණ දෙස මොහොතක් බලා හිඳින්නටය. වෙනදාට වඩා විශාල වෙනසක් ඇය තුළින් දකින්නට ඇති නිසා ඒ වෙනස විඳින්නට අහස් බලා උන්නේය. 

” ඉතින් අහස් ” 

ධනුක කතාවට මුල පිරුවේය. 

” කෑම ඕඩර් කරලා ඉමු ” 

අහස් කීවේ මෙනු පතක් දිග හරිමිනි.

” සී ෆුඩ් ඕඩර් කරමුද මේඝා ” 

අහස් මෙනු පත දෙස බලාගෙනම මේඝා ගෙන් ඇසූ අතර ධනුකට එකවරම සිනා ගියේය. අහස් පුදුමයෙන් මෙන් ධනුක දෙස බැලුවේ තමාගේ මුවින් වැරදි වචනයක් වත් පිට වූවා දැයි සිතමිනි.

” උඹට මෙතන මේඝා ඉන්නවා විතරද දැන් පේන්නේ ? අපි ආස දේවලුත් අහල ඉඳපන් ” 

ධනුක සිනා සෙමින් කීවේත් නිකිනිද ඒ සිනාවට එකතු වූයෙත් මේඝා ලැජ්ජාවෙන් මෙන් බිම බලා ගත්තේත් එකවරමය. මේඝා මේ තරම් සැහැල්ලුවෙන් ඉන්නවා දකින්නත් ආසය. ධනුක අහස්වත් මේඝාවත් එකට තියා බැලුවේ හදවතිනි. අහස් යනු අව්‍යාජ තරුණයකි. ඇත්තටම යමක් සිදු වනවා නම් හොඳය. 

” උඹ හොඳ වෙලාවට මේකිටත් ඉන්වයිට් කලේ “

ධනුක ඇස් වලින් මේඝාව පෙන්වා අහස්ට කියමින් කතාව ආරම්භ කළේය.

” ඇයි ඒ ? ” 

අහස් අමුතුවට මෙන් මේඝා දෙස නැවත බැලුවේ ඇයගේ සුන්දර බව තවමත් හරි හැටි බලා ගැනීමට නොහැකිවූ නිසාය.

” නෑ ඉතින් මෙයා හෙන කාලෙකින් තමයි ලක ලෑස්ති වෙලා ඔහොම ආසාවෙන් එළියට බැස්සේ . නැත්තම් ඉතින් අර ගේ අස්සට වෙලාමනේ හිටියේ ලොකු ළමයෙක් වෙලා වගේ ” 

” අනේ නවත්ත ගන්නකෝ ධනුක . මං යනවා හරිද ? ” 

මේඝා සිටියේ ලැජ්ජාවෙනි. තමාගේම අය අතර ඇයට දැනෙමින් තිබුණේ අමුතු සබකෝලයකි. අහස් මේඝා තුළ වූ ඔය කොයි ගතියටත් ආදරය කළේය. අවශ්‍ය වූයේ මේ සියලු ගතිගුණ වලින් පිරි අපූරු තරුණියව තමාගේ කර ගැනීමට ය. 

” ඕකේ.. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා ” 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles