රූපලාවන්‍ය ගැන කතාබහ කරද්දී ටිකක් වැඩි අවධානයක් යොමුවුනත්, කෝමාරිකා කියන්නේ ශ්‍රී ලාංකීය අපේ ගෙවත්තේ ඉස්සර ඉඳන්ම දකින්න ලැබෙන බොහොම හුරුපුරුදු පැළෑටියක්.
විශේෂයෙන්ම ඉස්සර පිළිස්සුනු තැන් වලට ආලේප කරන්නත්, හිසේ ආලේප කරන්නත් අපේ අම්මල ආච්චිල කෝමාරිකා බහුලවම භාවිතා කරා.
ඉතිං, smart lady අපි අද ඔබත් එක්ක කතාබහ කරන්න මේ සූදානම් වෙන්නෙ අපි නිතරම කතාබහට ලක් නොකරන කෝමාරිකා වල අන්තර්ගත ගුණයන් කීපයක් ගැනයි.
එහෙනම්, ඒ මොනවද බලන්න මේ ලිපියෙන් අපිත් එක්ක එකතු වෙන්න කියල බොහොම ආදරෙන් ඔබට ආරාධනා කරනවා.
අජීර්ණ සඳහා සහනය ගෙන දෙයි
අජීර්ණය ඇති කරන ආහාර දිරවීමේ රෝගයක් වන Gastroesophageal reflux (GERD) රෝගය ආශ්‍රිතව කරන ලද පර්යේෂණයකින් කෝමාරිකා මදය අවුන්ස 01 ක් 03 ක් අතර ප්‍රමාණයක් ආහාර වේලට එකතු කරගැනීමෙන් GERD තත්වය බරපතළ වීමේ අවදානම අඩු කරගත හැකිබව සොයාගෙන තිබෙනවා.
ඒ නිසා කෝමාරිකා ආහාර අජීර්ණය සඳහා මෘදු සහ ආරක්ෂිත පිළියමක් බවයි පර්යේෂකයන් පවසන්නේ.
නැවුම් බව ආරක්ෂා කරගැනීමට
කේම්බ්‍රිජ් මුද්‍රණාලය විසින් 2014 අවුරුද්දෙදී ප්‍රකාශයට පත්කරපු සඟරාවක සඳහන් වෙලා තිබුණ විදිහට කෝමාරිකා ජෙල් ආලේප කරන ලද මතුපිටක බැක්ටීරියා වර්ධනය කැපී පෙනෙන ලෙස අඩුවන බව සොයාගෙන තිබෙනවා.
ඇපල් සහ තක්කාලි පැළ වල මතුපිට කෝමාරිකා ජෙල් ආලේප කර කරන ලද පරීක්ෂණ මඟින් මේ ප්‍රතිඵල ලබාගෙන තිබුණු නිසා ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය භාවිතයෙන් තොරව ආහාර නැවුම්ව තබා ගන්න කෝමාරිකා යොදාගන්න පුළුවන් කියල පර්යේෂකයන් පෙන්වා දෙනවා.
මුඛ සේදුම් දියරයක් ලෙස
2014 වර්ෂයේදී ඉතියෝපියානු වෛද්‍ය සඟරාවකින් එළිදැක්වුනු පර්යේක්ෂණයක ප්‍රතිඵලයකට අනුව මුඛය සේදීමට භාවිතා කරන්න පුළුවන් ආරක්ෂිත සහ ප්‍රතිඵලදායක විසඳුමක් විදිහට කෝමාරිකා යොදාගන්න පුළුවන් කියල සොයාගෙන තිබෙනවා.
විදුරුමස් ඉදිමීමට සහ විදුරුමස් වලින් ලේ ගැලීමත් වැලැක්වීමේ හැකියාව කෝමාරිකා වලට තිබෙනව කියලත් ඔවුන් ඒ හරහා ප්‍රකාශ කර තිබෙනවා.
රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට
දිනකට කෝමාරිකා යුෂ මේස හැඳි 02 ක් පරිභෝජනය කිරීමෙන් දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම අඩුවන බව පරීක්ෂණ මඟින් හෙළිවී තිබෙන බව සොයාගෙන තිබෙනවා.
නමුත්, ඔබ ලබාගන්න ඖෂධ සමඟ මේ විදිහට කෝමාරිකා පානය කිරීම භයානක ප්‍රතිඵල ලබාදෙන්න පුළුවන් නිසා කෝමාරිකා පරිභෝජනය කරන්න කලින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අතිශයින් වැදගත් බවත් අපි ඔබට මතක් කරන්න කැමතියි.
ස්වභාවික විරේකයක් ලෙස
ස්වභාවික විරේකයක් ලෙස වගේම මළබද්ධය සඳහා සාර්ථක විසඳුමක් ලෙස, කෝමාරිකා භාවිත කිරීම ප්‍රතිඵලදායක බව මීයන් යොදාගෙන කරන ලද පරීක්ෂණයක් මඟින් පමණක් දැනට සනාථ කරගෙන තිබෙනවා.
නමුත්, මේ පිළිබඳව මතුවූ විවිධ ගැටළු නිසා සමහර රටවල වෙළඳපොලවල් වලින් කෝමාරිකා අඩංගු විරේකකාරක ඉවත් කිරීමටත් අදාල බළධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ නිසා ඔබේ හිතුමතේට විරේකකාරයක් ලෙස හෝ මළබද්ධයට පිළියමක් ලෙස කෝමාරිකා භාවිත කරන්න කලින් ලබාගත යුතු මාත්‍රාව පිළිබඳ ඔබේ වෛද්‍යවරයාගෙන් නිසි උපදෙස් ලබාගැනීම වඩා සුදුසු බවයි අපි ඔබට මතක් කරන්නෙ.
සම රැකගැනීමට
සම පිරිසිදුව තබා ගැනීමටත්, සමේ තෙතමනය ආරක්ෂා කිරීමටත් ඉතාම ප්‍රතිඵලදායක
ද්‍රව්‍යක් ලෙස කෝමාරිකා යොදාගන්න පුළුවන්. අතීතයේ ඉඳලම සමේ පිළිස්සුම් සඳහා කෝමාරිකා ආලේප කරෙත් කෝමාරිකා වල ඇති මේ සම රැකදෙන ගුණ නිසාමයි.
පියයුරු පිළිකා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව
පියයුරු පිළිකා වල වර්ධනය මන්දගාමී කිරීමට කෝමාරිකා වලට ඇති හැකියාව සනාථ කරගැනීමට මේ වන විට පර්යේෂණ ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
එය සාර්ථක වනු ඇතැයි මේ වන විට බොහෝ අනාවැකි ලැබෙමින් පවතින බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.
කෝමාරිකා කොතරම් ගුණදායක වුනත් අපි එකිනෙකාගේ ශරීර එකිනෙකාට වෙනස් නිසා කෝමාරිකා පරිභෝජනයට ගන්න කලින් ඒ පිළිබඳ නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතාම වැදගත් බව සහ අනිවාර්ය බව අපි ඔබට නැවත නැවත මතක් කර සිටින්න කැමතියි.
එහෙනම්, මෙවැනිම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.
සුවෙන් ඉන්න !
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |