නිම්නාද ගමන් කල මෝටර් රථය පහු කර ඇවිදින් එහි මග හරස් කර නතර කලේ අහස් ගේ ජීප් රිය ය. අහස් යක්ෂාරූඩ වී මෙන් එයින් බැස එද්දි නිම්නාද ද වාහනයෙන් බසින්නට සූදානම් වී සිටියේය.
” මං අද ඕකව මරනවා ”
නිම්නාද කෝපයෙන් ගුගුලේය. අනතුරුව ඔහු හැකි තරම් වේගයෙන් මේඝාට කම්මුල් පහරක් එල්ල කලේ අහස් සමග පැන නැගුනු කෝපයට ය. අනපේක්ෂිතව ලද කම්මුල් පහරෙන් පසුව මේඝා කම්මුල අල්ලා ගෙන හැඬුවේ එම කම්මුල් පහරේ වේදනාවටත් වඩා සිතට නැගුණු වේදනාව දරන්නට බැරිම තැනය. අහස් රථය ලගට පැමිණ නැවතුනේය. නිම්නාද රථයෙන් බැස්සේ මේඝාවද එලියට ඇද ගන්නා අතරේය. අනෙක් පැත්තෙන් අයේෂ් ද එලියට බැස ආවෙය.
” අනේ අහස් ”
මේඝා කම්මුල අල්ලා ගෙන හඬන්නෙ කුමක් නිසා දැයි අහස් ඉවෙන් මෙන් හඳුනා ගත්තේය. ඔහුට දරන්නට බැරි වූයේ එයය. මලක් මෙන් සියුමැලි කෙල්ලකට මෙසේ කිරීමට තරම් නිම්නාද අමනුෂ්‍යයෙකු බවට පත් වී ඇත.
” මේඝාව මෙහාට එවනවා නිම්නාද . තමුසේ මේ කරන්නේ එච්චර හොඳ සෙල්ලමක් නෙමෙයි ”
අහස් කීවේ විධානයක ස්වරයෙනි. මේඝාව දැක ගැනීමේ අරමුණ ඇතිව ඇයට නොදන්වා ඇයව බැලීමට පැමිණීමට අහස් හට සිතුනේ අහම්බෙනි. ඇය වෙනදාට යන මාර්ගය දිගේ යන විට නිම්නාද සහ මිතුරා ඇයව බලෙන්ම වාහනයට නංවා ගන්නා ආකාරය අහස් දුටුවේ ඒ අතරේය. එතැන් පටන් ක්‍රියාත්මක වූ අහස් නිම්නාද ගමන් කල රථය පසුපස කිලෝමීටර් කිහිපයක්ම පැමිණ තිබුනේ. ඔහුට තිබුනු එකම බිය මේඝා ගේ ජීවිතය ගැන ඇති බිය පමණි.
” තමුසේ කවුද ඕයි මට මේඝාව එවන්න කියන්න ? තමුසෙ කිව්ව පලියට එහෙම එවන්න මම තමුසෙට බයයි කියලා හිතුවද ? ”
නිම්නාද සමච්චලයට සිනාසුනේය. ඔය සිනහව තව මොහොතකින් දෙකකින් අවසන් වන බව අහස් දැන උන්නේය.ඒ අතරෙ මේඝා උන්නේ නිම්නාද ගෙන් පලා යාමේ උත්සහයක නිරත වෙමිනි. එහෙත් නිම්නාද ගේ ශක්තිමත් දෑත් වලින් පලා යාම මේඝා ට හිතන තරම් පහසු වූයේ නැත.
” මූට දෙකක් ඇනපන් අයේෂ්. මූ කොහොමත් නටනවා වැඩියි දැන් ”
නිම්නාද තම මිතුරා හට එසේ කී විට අහස් බිඳක්වත් බිය වූයේ නැත. නමුත් බිය වූයේ මේඝා ය.
” අනේ මම තමුසේ කියන දෙයක් කරන්නම් නිම්නාද . අහස්ට එයාගේ පාඩුවේ යන්න දෙන්න ”
නිම්නාද වත් අයේෂ් වත් මේඝා කී කිසිවක් කනකට ගත්තේ නැත.අයේෂ් නිම්නාද ඉදිරියට පැමිණියේ කමිසයේ දෑත් උඩට නවන අතරේය.
වේගයෙන් පැමිණි පොලිස් ජීප් රියක් ඔවුන් සිටි ස්ථානයට පැමිණ නවතා පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ඉන් බැස ගත්තේ අනතුරුව ය. අනපේක්ෂිත ආකාරයට සිදු වූ දෙයින් නිම්නාද සහ මිතුරා උන්නේ ගල් ගැසීය. අඩුම තරමේ ඔවුන්ට පලා යාම සඳහා වත් කාලයක් නොවුනු අතර තරුණියක් පැහැරගෙන යාමට උත්සාහ කිරීම මත පොලිස් නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනාවම ඒ මොහොතේම අත්අඩංගුවට ගත් හ. මේඝා දිව ගොස් අහස්ව වැළඳ ගෙන හැඬුවේ මහ හඬිනි. අහම්බෙන් හෝ ඔහු පැමිණියේ නැත්නම් තමාට අද කුමන අරමුණක් අත්වේදැයි මේඝා ට සිතා ගත නොහැකි විය.
නිම්නාද සහ මිතුරා පොලිස් ජීප් රියට නැග්ගේ මේඝා අහස් ව වැළඳගෙන හඬන අතරේය. එක් පොලිස් නිලධාරියකු පැමිණ අහස් ට අතට අත දුන්නේ සිනාමුසු මුහුණෙනි.
” තෑන්ක්ස් මචන් උඹ කරපු උදව්වට ”
මේඝා අහස්ගෙන් මෑත් වූයේ අහස් එම නිලධාරියාට එසේ පැවසූ එවිටය. එසේ නම් අහස් නිම්නාද ගේ වාහනය පසු පස එන අතරේ පොලිසියේ මිතුරෙකුගේ සහාය පතා ඇත.
” සුළු දෙයක් අහස්. උඹ කෝල් කරනකොට අපි ළඟ පාත හිටියේ. එහෙම නොවුනානම් මෙහෙම එන්න වෙන්නේ නැහැ . උඹගෙයි මෙයා ගෙයි වෙලාව තමයි ඒක “
” ඊළඟට මොකද වෙන්නේ මචං ? ”
අහස් ඇසුවේ පොලිස් ජීප් රියේ පසුපස මාංචු දමා ගෙන සිටින නිම්නාද සහ ඔහුගේ මිතුරා දෙස බලමිනි. ඔවුන් දෙදෙනා සිදු කරන්නට ගිය අපරාධයට ලබා දිය හැකි උපරිම දඬුවම් ලබා දිය යුතු යැයි අහස් ගේ මතය විය.
” මේඝා ඇවිල්ලා ඇන්ට්‍රි එකක් දාන්න ඕන. ඉන්සිඩන්ට් එක වෙච්ච තැන කැමරාස් තිබ්බොත් වැඩේ තවත් ලේසි වෙයි ”
අහස් මේඝාව තමාගේ රථයට නංවා ගත්තේ ය. ඊළඟට කළ යුතු දේ දන්නේ අහස් නිසා මේඝා ඔහු ගේ කීමට අවනත වීමට සිතා ගත්තාය. අහස් රියදුරු අසනට ගොඩ වී අසුනට හේත්තු වී තවමත් බියෙන් සලිත වී සිටින මේඝා දෙස බැලුවේ ය. අහස් ඇඟිලි තුඩු වලින් මේඝා ගේ කම්මුලේ තඩිස්සි වී ඇති තැන හෙමින් සීරුවේ අත ගාන විට මේඝා දෑස් තදින් පියා ගත් අතර දෙනෙත් පියන් අතරින් කඳුළු කඩා හැලෙන්නට විය.
” අරූව තියන්න වටින්නේ නෑ ”
අහස් රථයෙ ධාවනය කලේ පොලිසිය දෙසටය. මේඝා ව පැහැරගෙන යාමට තැත් කිරීම සහ පහර දීම සම්බන්ධයෙන් නිම්නාදව සහ මිතුරාව අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන් දෙදෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කිරීමට අහස් පියවර ගත්තේ මිතුරා ගේ මාර්ගයෙනි. නොසිතූ ලෙස ඒ සියලු කටයුතු වලට මේඝා සහයෝගය ලබා දුන්නා ය.
” උඹ හිටියෙ නැත්තං අපිට මේකිව හොයන්න වෙන්නේ නැහැ අහස්. උඹට අපි ණයයි ”
සිදු වුන සිදුවීම ධනුකට සහ නිකිනි ට දැනුම් දුන්නේද අහස් විසිනි. මේඝා උන්නේ කතා කර ගැනීමට වත් නොහැකි තත්වයක ය. තමා පන සේ ආදරය කළ ආදරණීයයාම අද තමාව මෙවන් තත්ත්වයකට පත් කිරීම ගැන ඇය උන්නේ විශාල ලෙස කම්පනයකට පත් වීය.
ඒ සියල්ලටම වඩා නිම්නාද උන්නේද සිදු වෙමින් පවතින දේවල් පිළිබඳව උපන් කලකිරීමෙනි. තමාට උවමනා වූයේ මේඝා ව බියට පත් කර ඇගේ හිත වෙනස් කර ගැනීමට ය. කිසිසේත්ම ඇයට හානියක් කිරීමට හෝ වෙනත් අකටයුත්තක් සිදු කිරීමට උවමනාවක් තමාට තිබුනේ නැත. නමුත් දුර දිග නොසිතා කල දේ නිසා තමාටම සිදුවූ විශාල හානිය ගැන නිම්නාද කල්පනා කළේ පොලිස් භාරයේ සිටින විටය.
මේඝා අහස්, ධනුක සහ නිකිනි සමඟ පොලිසිය තුළ කතා බස් කරන අයුරු නිම්නාද බලා උන්නේ ලැජ්ජාවෙනි. එයටත් වඩා තමා පිළිබඳවම ඇතිවූ ආත්මානුකම්පාවෙනි. තමා විසින්ම සිදු කළ වැරදි නිවැරදි කර ගැනීමට ගොස් අවසානයේදී සිදු වූයේ තමාට ඉතිරිව තිබූ දේවල් ද අහිමි වී යාම බව නිම්නාද සිතුවේය.
” මේක පොලිසිය නොවුනානම් ඇත්තමයි මං අරූට මීට වඩා පාර හිටින්න කනේ පාරක් ගහනවා ”
නිකිනි කීවේ තවමත් තඩිස්සි වී තිබූ මේඝා ගේ කම්මුල අත ගාමිනි. මේඝා බැල්මකින් වත් නිම්නාද දෙස නොබලා ඉන්නට පරිස්සම් වූ අතර නිම්නාද උන්නේ මේඝා දෙසම බලා ගත්වනමය. තමා හැර ගිය පසුත් අනේක දුක් විඳ මේඝා ශක්තිමත් කිරිල්ලියක වී ඇති ආකාරය ගැන නිම්නාද සිටියේ පුදුමයට පත් වීය. ඇය කොතෙකුත් නැතැයි කීවද අහස් ඇය වටා පවුරක් සේ නැගී සිට ඇයව ආරක්ෂා කරන අයුරු නිම්නාද දෑසින්ම දැක ගත්තේ ය.
” උඹට නිම්නාදට කතා කරන්න ඕනෙද ? ”
ReplyForwardAdd reaction |