ඔබ දකින තුරා -40

මිතුරියන් තිදෙන සිටියේ දිවා ආහාර ගැනීමෙන් පසු බැල්කනි වැටට බර වී ගෙන කතා කරමිනි. දිවා ආහාර විවේකය පැයකි. දිලිනි ට සේ ම තරුෂි ට ද කන්නට විනාඩි දහයක්  වැඩි තරම වුණත් අමාරසී කන්නේ හෙමිහිට ය. මිතුරු දම් වල ඇරඹුමේ සිට ම අනිත් දෙන්නා අමා ගේ මේ බත් ඇට ඇහිඳීම ගැන චෝදනා කළහ. 

“කාල ටිකක් නිදා ගන්න වුණත් පුළුවන් එකේ…කොහෙද…අර බැල්කනි එකට වෙලා ෆැක්ට්‍රි එකේ ලස්සන සුපර්වයිසර් කොල්ලෙක් දිහා බලන්නවත් හැටියක් නෑනෙ…මෙයා මුළු පැයම කනවනෙ”

“මොකටද නිකං දුර ඉඳං බලල..සුපර්වයිසර් කොල්ලන්ට බලන්න කෙල්ලො ඕන තරං ඇතුළෙ ඉන්නව අනිත් එක…”

“දුරට තමයි හඳ වුණත් ලස්සනට පේන්නෙ ෆැක්ට්‍රි එකේ කෙල්ලන්ව ඒ කොල්ලන්ට පේනව ඇත්තෙ නිතර දකින කුකුළන්ගෙ කරමලේ වගේනෙ”

“හරි ඉතිං…ඕගොල්ලො සවල් පාර ගැහුවට අපි ලස්සනට හෙමීට ඩීසන්ට් විදිහට කෑම කන්න පුරුදු වුණ සිරිමත් ළමයි හරිද”

අමාරසී තමන් ගේ පැත්ත ආරක්ෂා කර ගැනීම සඳහා කියයි. නමුත් ඇය ක්‍රමයෙන් ඉක්මනට කෑම කන්නට පුරුදු වූවා ය. කෑම ගෙන ඉතිරි වන කාලය බැල්කනියට වී කතා කරමින් ද ෆැක්ට්‍රියෙහි සේවය කරනා කඩවසම් කොල්ලන් ගණන් කරමින් ද විනෝදයෙන් ගත කිරීම ගෑනු ළමයින් ගේ පුරුද්ද විය. 

කේෂි අමාරසී ට දුරකතන ඇමතුමක් ගත්තේ ත් ඔවුන් එසේ විවේකයෙන් සිටි වෙලාවක ය. නාඳුනන දුරකතන අංකයක් නිසා අමා එකවර පිළිතුරු නොදී මඳ වෙලාවක් එදෙස බලා ගෙන සිටියා ය. ඊළඟට දුරකතනය සවනට ගත්තා ය.

“හෙලොව්…”

ඇගේ ස්වරයේ ප්‍රශ්නාර්ථයක් විය.

“අමාරසී නේද…මං කේෂි”

දෙපා ඉදිරියේ බෝම්බයක් පුපුරා ගිය සෙයින් අමා ගැස්සී ගියා ය. ඇගේ ඒ වෙනස දෙමිතුරියන්ට හොඳට ම දැනිණ. කවුදැයි ඔවුන් ඇසුවේ ඇස් වලින් හා මුහුණේ ඉරියව් වලිනි.

“කේෂි”

අමාරසී එසේ කීවේ හඬ පිට නොවෙන සේ ය. තරුෂි වහා අමා අතින් දුරකතනය ගෙන එහි ‘කෝල් රෙකෝඩින්’ ක්‍රියාත්මක කළා ය. ඒ අතරේ දුරකතන සම්බන්ධය තුළ ඇති වූ රික්තකය ගැන කේෂි තරමක් කලබල වූවා ය.

“හෙලෝ…හෙලෝ…”

“හෙ..ලෝ..”

බය නැතිව කතා කරන ලෙසත් ශක්තිමත් වෙනු විනා දුර්වල නොවෙන ලෙසත් මිතුරියන් දෙදෙන දෙපැත්තෙන් හිඳ අභිනයෙන් අමාරසී ව දිරිමත් කළහ. ඇය තදින් හුස්මක් ගත්තා ය.

“දන්නව ඇතිනෙ නේද…හෙට නඩුව කියල…”

අමා පිළිතුරු දෙන්නට ගියේ නැත.

“මේක මේ තරං දුර දිග ගියේ ඔයා නිසා. ඔයා දන්නව මමත් ගෑනියෙක්. ඔයාට වටින්නෑ තව ගෑනියෙක්ට මෙහෙම කරන්න. උසාවියෙදි එයා මට අපහාස කරයි. ඔයා එයාට තේරුං කරල දෙන්න ඒක හොඳ දෙයක් නෙවෙයි කියල. ගෑනියෙක් විදිහට ඔයාට තේරෙනව ඇතිනෙ එහෙම දේකට මූණ දෙන එක කොච්චර අමාරුද කියල”

“ඇයි දැං ඕව මට කියන්නෙ..”

අමාරසී හිත හයිය කර ගෙන ඇසුවා ය. තරුෂි මහපට ඇඟිල්ල දිගු කරමින් සිනහවක් පෑවා ය.

“ඔයාට කියන්නෙ ඔයා නිසයි මේ දේවල් සිද්ද වුණේ නිසා. කොටිංම දිසත්ට ඩිවෝස් වෙන්න ඕන වුණේ ඔයා එයා එක්ක සම්බන්ධයක් ඇති කර ගත්ත නිසා”

හිත කඩා වැටෙන්නට ආවත් අමා ඊට ඉඩ දුන්නේ නැත. දිසත් දී තිබූ අවවාදයක් ද ඇය ට සිහි විය. ඒ කිසිදු හේතුවක් මත කවුරුන් හෝ ඉදිරියේ ඔවුන් දෙදෙනා අතරේ සබඳකමක් ඇති බව නො පිළිගන්නා ලෙසයි.

“ඔයා වැරදි අදහසක ඉන්නෙ. එහෙම සම්බන්ධයක් අපි අතරෙ නෑ”

කේෂි හඬ නගා සිනහ වූවා ය. 

“ඔයා මටද කොළේ වහන්න හදන්නෙ…හැබැයි එයාට කියන්න අමාරසී. කොච්චර දැඟළුවත් ඩිවෝස් එක දෙන්නෙම නෑ කියල. දෙන්නෑ කිව්වොත් නෑම තමයි.  බලමුකො එතකොට ඔය හිතේ තියෙන දේවල් කර ගන්න හැටි. නඩුව ඉවර වෙද්දි හැරමිටියෙං යයි. එතකොට තමයි තමුන්ට එයාව බඳින්න වෙන්නෙ…”

“කෙනෙක් තව කෙනෙක්ට ආදරේනං හිතෙන් බැඳුනත් ඇති කේෂි.  හැබැයි ඉතිං ඔයාව එපා කියන කෙනෙක්ව බලෙං ළඟ තියාගන්න හදන්නෙ ඇයි කියල මට තේරෙන්නෑ.ඒක ආදරේද කියලත් මං දන්නෑ. හැබැයි ඉතිං අතේ වහල ඉන්න කුරුල්ලගෙ අගේ තේරුං ගන්නෙ නැතුව ඉඳල ඒ කුරුල්ලා ඉගිල්ලිලා යන්න ගියාට පස්සෙ කුරුල්ලට කෑ ගහල බැනල වැඩක් නෑ”

දිලිනි හා තරුෂි සිය දෑත් වලට දෑත් දුන්නේ සතුටෙනි.

“කෙහෙල්මල් ආදරයක් නෙවෙයි හලෝ.  මට එයාව ඕන නෑ.  හැබැයි මාව ඩිවෝස් කරල සතුටෙං ඉන්න එයා හිතන් ඉන්නවනං මං අන්න ඒක වෙන්න දෙන්නෑ”

අමාරසී සුසුමක් හෙළමින් මිතුරියන් දෙස බැලුවා ය.

“හරි ඉතින්..මට මොකද්ද ඔයා කියන්නෙ…මොකද…මේක මට අදාල කාරණයක් නෙවෙයි”

“මං කියන්නෙ දිසත්ට තේරුං කරල දුන්නොත් හොඳයි එයා මොන තරං ගොං වැඩක්ද කරන්න යන්නෙ කියල. නිකං බොරුවට කාලෙයි සල්ලි යි නාස්ති කර ගන්නව මිසක් එයාට කවදාවත් වෙන කසාදයක් කරගන්න හම්බ වෙන්නෑ. එහෙම වෙන්න මං ඉඩ තියන්නෙත් නෑ. තමනුත් ගෑනියෙක් නිසා මේකෙදි මට වෙන්න පුළුවන් ඩැමේජ් එක ගැනත් හිතුවොත් හොඳයි”

දුරකතන සම්බන්ධය බිඳ දැමූවේ කේෂි ම ය. ඇය කෙතරම් නම් ආත්මාර්ථයකින් පෙළෙන්නියක් දැයි අමාරසී ට සිතිණ. දිසත් වාගේ පිරිමින් සුලභ නැත. හැම තැන වැඩිපුර දකිත හැකි සුලභ පිරිමින් කපටි ය. වංචනික ය. කේෂි වගේ ස්ත්‍රීන්ට ලැබිය යුතුව තිබුණේ එහෙව් තැනැත්තෙකි. කොහොමටත් හිමි වූ දේ වල අගය අඩු කොට සිතීම මිනිස් ගතියකි.

“මං මොළේ පාවිච්චි කරල මේ කෝල් එක රෙකෝඩ් කරපු එක කොච්චර වටිනවද…මේක දිසත්ට සාක්ෂියක් විදිහට උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන්. කසාදෙකින් බලාපොරොත්තු වෙන දේවල් කේෂි ගෙන් වෙන්නෑ කියල ඔප්පු කරන්න මීට වඩා දෙයක් කොහෙද තියෙන්නෙ.”

එදා හවස බීර බෝතලයක් ද ගෙන අජිත් ඉස්තෝප්පුවේ තනි වෙත්දී අමාරසී ගොස් තාත්තා ළඟින් අසුන් ගත වී කේෂි ගේ දුරකතන ඇමතුම ගැන කීවා ය.

“ලංකාව වගේ රටවල් වල රසී…උගත්ද නූගත් ද කියල නෑ බහුතරයක් ගෑනු දික්කසාදෙකට යන්න මනසින් සූදානම් නෑ. මිනිහගෙන් මොන කරදර වුණත් දුක් විඳගෙන ඒ කසාදෙ ඇතුළෙ ම ඉන්නව. දුරින් ඕන්නෑ ගෙදරින් ම උදාහරණ පේනවනෙ. අම්මනං දන්නව මේ ටිකක් බොන එක මිස එයාට මං වෙන වැරැද්දක් කරන්නෙ නෑ කියල. එහෙම නෙවෙයි…වෙන දරු පවුල් නඩත්තු කරනව වෙන ගෑනු එක්ක සම්බන්දකං තියෙනව කියල හොඳටම දන්න පිරිමින්ගෙ කසාද නෝනලත් දික්කසාද නොවී ඉන්නව. ඇයි ඒ…”

“එහෙම දික්කසාද වෙන්න ගියොත් ලංකාවෙ පවුල් ඉතුරු වෙන එකක් නෑ”

නිර්මලා කුස්සියේ සිට විත් ඇනුම් පදයක් කියා ඉවත බලා ගත්තා ය.

“උඹ මේ බොරු පදනං හදන්න එපා නිර්මලා”

අජිත් ඇයට එසේ කියත්දී නිර්මලා ගේ මුවග සඟවා ගන්නට තැත් කරනා සිනහවක් විය. අමාරසී නම් නිදහසේ හඬ නගා සිනහ වූවා ය.

“එහෙම නෙවෙයි රසී. ඒ ගෑනු එහෙම තැනකට නොයා ඉන්න පළවෙනි හේතුව තමයි දරුවො. තනියම ළමයි හදන්න අපේ හුඟක් ගෑනුන්ට ආර්ථික ශක්තියක් නෑ. අනිත් කාරණේ තමයි කසාදෙ කියන දේ නිසා උන් ට දැනෙන ආරක්ෂාව ගැන හැඟීම. නමට හරි පිරිමියෙක් ගෙදර ඉන්නකොට රටේ ලෝකෙ පිරිමින්ගෙන් කරදර අඩුයි. හැබැයි පාළු ගෙවල් වල ලේසියෙංම වලං බිඳින්න පුළුවන් කියල ඕන කෙනෙක් දන්නව”

“කේෂිටනං තියෙන්නෙ ඔය විදිහෙ ප්‍රශ්නයක් නෙවෙයි”

අමා නො දැනුවත්ව ම එසේ කියැවී තිබිණ. දරුවෙකු නොමැති, ආර්ථික සමාජයීය සුරක්ෂිත භාවයක් තුළ හිඳිනා ඇය දිසත් වෙතින් බලාපොරොත්තු වන්නේ මානසික සුරක්ෂිත බවක් පමණක් වන්නට ඇත. 

“තාත්තෙ”

අමාරසී අමුතු සිනහවකින් අජිත් ට හුරතල් වූවා ය. මේ වගේ තත්වයක් මත ඇය මේ තරමට හිස ඔසවා ගෙන හිඳීම ගැන සැනසිල්ලක් ඔහු ට දැනිණ.

“සින්දුවක් කියමුකො”

“ආ…මිල්ටන් ගෙ එකක්නෙ..”

“ඇස රැඳුන රැඳුන තැන් වල”

අජිත් තත්පර කිහිපයක් දියණිය දෙස බලා හිඳ එක්වන ගීය ගයන්නට ගත්තේ ය.

“ඇස රැඳුන රැඳුන තැන් වල මුව මඬල හිනැහුණා…ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා”

“මරු තාත්තයි දුවයි”

නිර්මලා කම්මුලේ අතක් තියා ගත්තේ සිනහ වෙන ඇස් ඇතිව ය. ඇය හැමදා ම අජිත් ගේ බීමත් බව ප්‍රතික්ෂේප කළා ය. නමුත් අමාරසී ඔහු ළඟ හිඳ සින්දු කියවා ගනී.

“ඕව ඊරිසියාවට කියන කතා. තාත්ත සින්දුව කියන්න”

“දුක් පැදුර දිගැර අලස ව ඇත හද ගිමන් හලේ…නින්දකට නො වැටි තැවි තැවි මුළු රැය පහන් කළේ”

අමාරසී ගේ පපුවේ සිහින් රිදුමක් ඉහිරී ගියේ ය. ඇය පුටු වතෙහි නිකට තියා ගෙන පියා දෙස ම බලා සිටියා ය.

“වැසු විමන් පියන් පියවා රඳවන්න මට හිතයි…උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටි හිතයි…ඇස රැඳුණ රැඳුණ තැන් වල මුව මඬල හිනැහුණා…ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා”

සින්දුවක් අසා අමතක කරන්නට බැරි විදිහේ ගින්දරක් අමාරසී ගේ යටි හිතේ විය. හෙට නඩුවෙහි ආරම්භක දිනයයි. කේෂි කියනා ලෙසට ඇය දික්කසාදය නොදෙනවා කියා කියනවා නම්, ඇයත් සමග ජීවත් විය නො හැකි බව ඔප්පු කරන්නට දිසත් විශාල ලෙස කරුණු ගොනු කළ යුතු වෙයි. ඒ කරුණු ප්‍රබල ඒවා විය යුතු ද වෙයි. විශේෂයෙන් ම කාන්තාව දික්කසාදය ප්‍රතික්ෂේප කරයි නම් උසාවිය වැඩි සැලකිල්ලක් දක්වන්නේ ඇය ගැන ය. විශ්වාසයෙන් හිටියාට දිසත් කෙසේ මීට මුහුණ දෙනු ඇත්ද කියා සිතා ගත නොහැකි ය. 

දිසා අධිකරණය වෙත යන්නට සූදානම් ව උදයේ දිසත් අමාට වීඩියෝ ඇමතුමක් ගත්තේ ය. සුදු කමිසය හැඳ ජෙල් ගා හිස කේ  පීරා උන් ඔහු සැබවින් කඩවසම් වූයේ ය. ඔහු ළඟ දැනෙනා මුදු විලවුන් සුවඳ ද ඇය ට දැනෙන්නා සේ විය.

“මොකද බලං ඉන්නෙ..මට විශ් කරන්න. නඩුව දිනන්න කියල..”

ඔහු සිනහවකින් කීවේ ය. නමුත් අමාරසී ගේ පපුවේ වූයේ බරකි..

“නඩුව විතරක් නෙවෙයි…ඔයා ජීවිතේම දිනන්න ඕනෙ. ඔය හිනාව  හැම දාම වෙනස් නොවී ඔයාගෙ මූණෙ තියෙන්න ඕනෙ”

“ඔයා ඉන්නවනං ඒ හැම දේම වෙනවනෙ…”

අමාරසී හිතින් යමක් පැතුවා ය. මේ වෙලාවේ දෙවියන් හිඳින්නේ කොයි පැත්තේ ද කියා නම ඇය නො දැන සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles