නදී උන්නේ ඇත්තටම කරන්න ඕන මොකද්ද කියා හිතාගන්න බැරුවය. මියුරු ටිකෙන් ටික ජීවිතය පුරාත් හදවත පුරාත් ඇවිදින්න පටන් ගෙන ඇති බවත් තමන් එයට මනාප බවත් නදී හිත ඇතුලාන්තයෙන් පිළිගත් නමුත් එය එළිපිට පෙන්වන්නට උන්නේ බයෙන් ය. ඒ “මියුරුටත් මටත් කවදාවත් පෑහෙන්නවත් එකතුවෙන්නවත් බෑ” කියන කතාව හිත මුලු හිතෙන්ම පිළිඅරගෙන උන්නු හින්දාය.
“මං උඹට කිව්වනෙ, ඌ උඹට සිරාවටම ලව් කියල. ඌ උඹ දිහා බලන විදිය, හිනාවෙන විදිය, ඒ වෙලාවට උගෙ ඇස් දිළිසෙන විදිය ඔක්කොම ගත්තම මට නම් හිතෙන්නෙ නෑ ඌ මලාට බොරුවක් කරනවා කියල. ඌ අර කේක් කෑල්ල නොකෑවට ඇස් දෙකෙන් උඹව නම් කෑවා ඈ”
කාවින්දි කිව්වේ එදා හවස වන් ගෝල් ෆේස් මෝල් එකේ හිඳ ඇවිත් විස්සෙ කණුව අද්දරින් ටුක් එකෙන් බැස පාර දිගේ ගෙදරට යන අතරවාරයේය. නදී උන්නේ ඒ වචන වලට ඇහුම්කන් දෙමින් නමුත් බොහෝ දුර කල්පනාවකය.
“බොරුව කරන්නෙ සර් නෙවෙයි බං මම”
“ඇයි උඹ එහෙම කිව්වේ?”
“උඹට මතක නැද්ද ඉස්සර ඉස්කෝලෙ උන්ට අපේ ගෙවල් මරදානෙ කියල අපි කොච්චර බොරු කරාද කියල”
“ඉතින් බං ඒක බොරුවක් ය, අපි මරදානෙනෙ ඉන්නෙ කොහොමත්”
“මරදානෙ බව ඇත්ත, ඒ උනාට කවදාවත් අපි මරදානෙ විස්සෙ කණුවෙ අල්විස් වත්තෙ කියල කියන්න අපේ දිව නැමුණෙ නෑනෙ, ඒ මොකෝ අපි දැනගෙන හිටියා අපි බොරුවක් නොකර ඇත්තක් කිව්වනම් ඒ දවස්වල අපිට ඉස්කෝලෙදි ලැජ්ජ වෙන්නයි කොන් වෙන්නයි වෙන විත්තිය. උඹට මතකද මම ඉස්සර කාණුවෙ කුණු ගඳ ඇඳුම්වල තැවරිල තියෙද්දි ඒ ගඳ යවන්න රෑ තිස්සෙ සමන්පිච්ච මල් ඇඳුම් අස්සෙ දාලා තියනවා? කට්ටිය ඉස්සර අපෙන් අහනව මොකද්ද දාන පර්ෆියුම් එක කියල, මම එතකොට කිව්වෙ අම්මා රට ඉඳන් එව්ව එකක් කියලා.
අපි ඒ ඔක්කොම බොරු කරේ අපිටත් ඒ සමාජෙට පෑහෙන්න පුලුවන් කියල හිතාගෙන උනාට අපි දැනගෙන උන්නෙ නැත්තෙ නෑනෙ බං අපිට කවදාවත් ඒ සමාජෙට ඇඟිල්ලක්වත් දාගන්න බැරි බව. අඩුමගානෙ ඉස්කෝලෙ යන එක නම් අවුරුදු දහතුනක් ගියයින් පස්සෙ ඉවරයි.
ඒත් කසාදයක් කියන්නෙ සම්බන්ධයක් කියන්නෙ එහෙම දෙයක් නෙවෙයි. එතනදි මමයි මියුරුයි පෑහිල විතරක් මදි බං. අපෙ අම්මල තාත්තල, නෑයො, යාලුවො, හිතවත්තු මේ හැමදේම පෑහෙන්න ඕන. එහෙම නොඋනොත් මුලු ජීවිත කාලෙම ගෙවන්න වෙන්නෙ හිතෙ කහටක් තියාගෙන”
“ඔච්චර හිතල පුලුවන්ද බං කොල්ලෙක් එක්ක යාලුවෙන්න” කියා කාවින්දි කිව්වත් ඒ වෙනදා වගේ හයියට, සද්දෙට නොවේ, යමක් කියන්න ඕන හන්දා කිව්ව කතාවකි. කොල්ලා කොච්චර හොඳ උනත්, නදී කියන කතාව බොරුවක් නොවෙන බව අන් හැමෝටම වඩා හොඳට කාවින්දි දනී. මේ කුණු ගන්දස්සාර පොළව උඩ සුවඳ දෙන මිලාධික රෝස මල් පිපෙන්නේ නැත. එහෙම තැනකට කිසිම දවසක රෝස පැළයක් ගෙනත් හිටෙව්වත් වැඩක්ම නැත.
ඒකෙම අනිත් පැත්තත් ඒ වගේමය. පතොක් පිපෙන්න ඕන කාන්තාරවලය. පතොක්වල ලස්සනත්, වටිනකමක් කෙනෙකු දකින්නේ ඒ කාන්තාර බිමක පිපුණොත් පමණි. පතොක් ගස් කියන්නේ ඕනවට වඩා සැප දරාගන්න ඇහැක් ගස් ද නොවේ.
කඳේ කටු තිබ්බත් රෝසත් පතොකුත් එකම බිමක පිපෙන්න වරම් ලැබූ පඳුරු නොවේ.
නදී පස්සෙන්දා වැඩට යද්දී මියුරු සුපුරුදු විදියටම හැමෝටම කලින් ඔෆිස් එකට ඇවිත් උන්නේය. වෙනදා නම් අපහසුවෙන් හෝ යුතුකමක් විදියට හෝ “ගුඩ් මෝනින්” කියා ඔහුව ඇමතුවත් දැන් නදී ඉන්නේ ඒකවත් කරගන්න බැරි තැනකය. තමන් “ගුඩ් මෝනින්” කියද්දී මියුරුගේ දෙතොල් මතට දැන් එන හිනාව දරාගන්න හිතට කොච්චර අමාරුද කියා දන්නේ ඉතින් තමන් පමණකි.
“එයා මං ගැන මොනව හිතාගෙන හිටියත් ඉතින් මට එයා බොස් නෙ” කියා හිතාගෙනය නදී දැන් ගුඩ් මෝනින් කියන්නේත්. සුපුරුදු විදියට බෑග් එක මේසය පැත්තක තබා නදී පරිගණකය ඔන් කරගෙන තමන්ට අද දවසට නියමිත වැඩ මොනවද කියා බලන්න දිනපොත දිග ඇරියාය. නදීගේ ඇස් තිබ්බේ වැඩ ගොඩ උඩ උනාට මියුරුගෙ නම් ඇස් තිබ්බේ නදීගේ ලස්සන වත මතමය. ඇය අඳ ඇඳගෙන ඇවිත් තියෙන්නේත් ගිය සතියෙ දවසක් ඇන්ද කොළ පාට හැට්ටයත් කලු පාට කලිසමත් ය. නදී කාර්‍යාලයට අඳින්නේ ඉතාම සීමිත ඇඳුම් පැලඳුම් කිහිපයක් බව මියුරුට නොපෙනුනා නොවේ. මේ ඔෆිස් එකේ ඉන්න කෙල්ලක් අද අඳින ඇඳුම ආයෙ අඳින්නෙ තව හත් මාසෙකින් වගෙ උනාට නදීට එහෙම ෆැශන් කරන්නට තරම් ඇඳුම් නැති පාටය. බාගදා ඇය එහෙමකට ඇඳුම් පැලඳුම් වලට වියදම් කරන්න බැරි ආර්තික ගැටලු සහිත පවුලක කෙල්ලක් වන්නට හැකි බවත් මියුරුට නොහිතුනා නොවේ. නැතිනම් නදීට ලැබෙන පඩිය එහෙම මාසෙකට වතාවක් උනත් ඇඳුමක් ගන්නට බැරි තරම් අඩු එකක් නොවේ. අනික් අතට ඇය අලුතෙන් ගත්තා යැයි කියා හිතච්ච ඇඳුම් උනත් මේ ඔෆිස් එකේ අනිත් කෙල්ලන් අඳින ඇඳුම් වලට සාපේක්ශව බලද්දී එච්චර ලස්සන, එලිගන්ට්, ෆැශනබල් ඒවා නොවේ. අඩු වියදම් මැටීරියල් වලින් මහපු ඒවා වගේය.
“සමහරවිට එයාට ෆැශන් ගැන එච්චර නොලේජ් එකක් නැතුව ඇති” කියා මියුරු හිතුවේ අන්න ඒ හින්දාය. කොහොමහරි ඉතින් කොච්චර අඩු කොලිටියේ එකක් ඇඳගෙන ආවත් නදීට තියෙන්නෙ අමුතුම ලස්සනක් බව ඕන ගොනෙකුට පේන බව මියුරු දනී. මේ ඔෆිස් එකේ හැම කෙල්ලම වගේ දහසක් මේකප් දාගෙන, හම සුදු කරගන්නට දඟලන වෙලාවේ එහෙමකට කියා මේකප් නැතුව තමන්ගේ දිලිහෙන තලෙලු හම ලස්සනට තියාගෙන ඉන්න නදීව ඉතින් කැපිලා පේන එක අහන්න දෙයක් නොවේ.
“අද හවස මොකද කරන්නේ?” මියුරු ඒ මැසේජ් එක එවද්දී නදී උන්නේ පරිගණකයේ වෙනත් සොෆ්ට්වෙයාර් එකක් ඔන් කරගෙන එස්ටිමේට් එකක් රික්වෙස්ට් කරන ගමන් ය.
“වැඩ තමයි”
“වැඩ ඉවරවෙලා මොකද කරන්නේ?”
“වැඩ ඇරී වැඩට යති ගැහැණු” කියා නදී ලියා යැව්වේ දෙතොල් අස්සෙන් එලියට පනින්න දඟලන හිනාවක් බෝම අමාරුවෙන් යටපත් කරගෙනය.
“පණ්ඩිත කතා නම් කියන්න දන්නවනේ” කියා මියුරු නියවන ඉමොජියක් එවන්නේ තරහෙන් නොවෙන බව ඉතින් නදී නොදන්නවා නොවේ. “මෙයා මේ කරන විකාරවලින් මට අන්තිමේ මෙයාව හිතෙන් ඈත්කරගන්න තමයි අමාරුවෙනෙ” කියාත් ඔන්න ඔය වෙලාවේ නොහිතුනා නොවේ.
“ඇයි කතාකරේ?”
“ඇයි මට කතාකරන්න තහනම් ද?”
“අපෝ නෑ, මේක ඉතින් ඔයාගෙ ඔෆිස් එකනෙ, එහෙම තහනමක් නෑ”
“ඒකනෙ, ඔෆිස් එකත් මගේ ඔයත් මගේ” කියා මියුරු ඇස් දෙකේ හාට් තියෙන ඉමොජිය එව්වට පස්සෙනම් නදී රිප්ලයි කරේ නැත. මොකෝ මොකක් කියන්නද කියා හිතාගන්න බැරිය. ඔව් කිව්වොත් ඒක බොරු බලාපොරොත්තු දීමකි. නෑ කිව්වොත් ඒක බොරු කීමකි. මියුරුගේ ආදරය පිළිගත්තෙ නැතත් තමන් ඔහුට හිතෙන් කැමති බව හංගගෙන ඉඳීම ඉතින් උගුරට හොරා බෙහෙත් කෑමකි.
නදීගෙන් රිප්ලයි එකක් නැත්තෙ ලැජ්ජාව හින්දා බව මියුරු දනී. රිප්ලයි එකක් නැතුව පණිවිඩයක් යවන්න බැරි කතාවක් කවුරුත් කියා නැති හන්දා මියුරු ආයෙම නදීට කතාකරන්න දෙපාරක් හිතුවේ නැත.
“හවසට ගමනක් යන්ද?” කියා මියුරු කියන කතාව නදීට තේරෙන්නෙ නැත. “එයයි මමයි කොහෙ යන්නද?” කියන හිතන ගමන්ම නදී ටයිප් කලේ ආන් ඒ නිසාය.
“කොහෙද?”
“අද මං ගානෙ ඩිනර් ගන්න යන් ප්ලීස්? මං රිසවේශන් එකක් දාන්නම්?”
ඒ කතාවට තමන් කියන්න ඕන හා කියලාද බෑ කියලාද කියා හිතාගන්න බැරි හන්දාම උත්තර දෙන්න නදී කාලය ගත්තේ තප්පර ගණනින් නොවේ විනාඩි ගණනකිනි.