නව වන නෙත් සේයාව
චත්‍ර අරමුණක් නැතිව කැබ් රිය ධාවනය කලේය. කිසිවෙකු හා බෙදා ගත නොහැකි දැවිල්ලක් ගත පුරා වන බව ඔහුට දැනෙයි. අයත්මා තමාගෙන් මිදෙන්නට උත්සාහ කරද්දී ඇගේ නිය වැදී සීරී ගිය තැන් කිහිපයක් මතට ලෝදිය වත් කරනවා මෙන් දැනෙනන් වේදනාවක් චත්‍රට ඇතැම් විට දැනෙයි. ඇය සපා කෑ දකුණු අතේ අත්ල දෙස චත්‍ර බැලුවේය. තවම සැපුම් පහර ඇත. පැය භාගයක් පමන ඉබාගාතේ ධාවනය කෙරූ කැබ් රිය චත්‍ර නැවතුවේය. ඉන් පසුව ජංගම දුරකතනය පණ ගන්වා සිහිනිට ඇමතුමක් ගත්තේය.
“කොහෙද මෝඩයෝ ඉන්නේ…?…”
අනෙක් පසින් ඇසුනේ කඩා පනින හඬකි. චත්‍ර ට සිනහ නැඟුණි. ඒ සමඟම ඇඬුණි. කවුරුන්ම හෝ තම නැගණියට එවැන්නක් සිදු කරන්නට උත්සාහ කලා නම් තමන් හැසිරෙන්නේ කෙලෙසදැයි සිතෙද්දී චත්‍ර සුක්කානම ට වැරෙන් පහර දුන්නේය. නොවටහුණු හේතුවකට අවිශ්ක එතැනට ආදේශ වී පෙනුණි.
එක දිගටම චත්‍රට බැණ වදිමින් උන් සිහිනිට ඇසිල්ලෙන් වෙනසක් දැනුණි. කිසිදිනෙක නොවන ලෙස අයියා කිසිවක් නොපවසා ජංගම දුරකතනයේ අනෙක් පස රැඳී ඉන්නේය.
එය කිසිලෙසකින්වත් මෙතෙක් කල් සිදුවූ සාමාන්‍ය සිදුවීමක් නම් නොවේය. සිහිනි අම්මාට කලබල නොවන්නට ඉඟියෙන් පවසා වහා කාමරය තුලට දිව්වාය. රාත්‍රී දොළහට ආසන්න නිසා චත්‍ර එන තුරු කලබලයෙන් මඟ බලනවාට වඩා, දිවා කාලයේ චත්‍ර ගේ සිතෙහි වූ සැලසුම් ගැන දැන ගැනීම නිසා කලබලයෙන් මඟ බලන තත්වයක් අතුකෝරල නිවස තුල නිර්මාණය වී තිබුණි.
“අයියේ ….. කතා කරන්නකෝ .. මම රූම් එකට ආවා … කවුරුත් නෑ දැන් … කියන්නකෝ ..ඔයා කොහේද ඉන්නේ..”
“පාරේ…”
චත්‍ර ගේ බිඳී ගිය හඬෙහි වූ හැඬුම්බර ගතිය සිහිනිට වැටහුනේ නැත. එහෙත් එහි වූ වේදනාව සහ බිඳී යෑම ඕ එක් වරම හඳුනාගත්තාය.
“අනේ ඇයි අයියේ ……? ඔයා ඔහොම ඉන්නේ ඇයි .. හරි ඔයා ලොකේශන් එවන්නකෝ .. කපිල අයියාව එවන්නම් මම …”
“එපා .. මම ගෙදර එන්නේ නෑ..”
චත්‍ර කීවේය. හේ බා ගිය හඬකිනි.
“මොකද්ද අනේ?..”
සිහිනි කෑ ගැසුවාය. සන්ධ්‍යා කාමරයේ දොර අසල කතා කරන හඬ ඇසෙත්ම ඕ හඬ පහත් කලාය. එක්වරම සිහිනිට යමක් සිහි විය. අයියායේ ක්ශණික කෝපය ගැන නොදන්නවා නොවේය. බැරි වෙලාවත් දවාලෙහි මරු කියවමින් සිටි කිසිවක් ඔහු අතින් සිදුවී ඇතිද?
“අනේ අයියේ .. ඔයා කලණ සර්ට වෙඩි තිව්වද? … වෙන මොකක් හරි කලාද ඕයි?… කියනවකෝ .. අයියේ….”
සිහිනිට හැඬෙමින් තිබුණි. චත්‍ර සිනාසුනේය. එහෙත් සිනහව නැඟුනේ නැත. ඔහු හඬ නඟා හැඬුවේ සිහිනිගේ හදවත මහා කලබලයකට හෙලමිනි. හදවතේ මැද තැනක යම් යකඩ බරුවක් සිරවීගෙන සියලු කර්තව්‍යයන් අඩපණැ වෙන හැඟීම ඇයට දැනෙන්නට ගත්තේය.
එසේනම් අයියා එසේ සිදු කර ඇතිද?
“කතා කරන්න මගේ අයියේ .. ඔයා මොන දේ කලත් අපි ඔයාට ඉන්නවා අයියේ … හොඳ අයියා වගේ ගෙදර එන්න … එන්නකෝ …”
“එපා …”
චත්‍ර කීවේය.
” අනේ අයියේ .. ඔයාගේ නංගීට මෙහෙම කරන්න එපා…”
” මං වගේ අයියා කෙනෙක්ගෙන් තමුසෙට වැඩක් නෑ … අර අවිශ්කයා වගේ අයියා කෙනෙක් හොයාගන්නවා…”
චත්‍ර මරු විකල්ලෙන්දෝ, වේදනාවෙන්දෝ කියවන්නට ගත්තේය. ඔහු හඬමින් උන්නේය.
” සිහිනි .. මගේ අතින් අයත්මාට කරදරයක් වුණා…”
“වට් ? අයත්මාට ?.. මොකද්ද?.. කොහේද?…”
චත්‍ර කිසිවක් කීවේ නැත. මියෙන්නට අවශ්‍ය බව දැනෙයි.එහෙත් ස්ත්‍රී දූෂකයෙකු, සල්ලාලයෙකු ලෙසින් හංවඩු ගැසුණු පසු සමාජයේ ජීවත් විමේ අපහසුව වඩා දැඩිව දැනෙයි.
පියවි සිහියට එලැබි වහාම අයත්මා සිදුවූ සියල්ල පවසන වගට සැකයක් නැත. අවිශ්ක ඉන් පසුව හැසිරෙන්නේ කෙලෙසකදැයි සිතා ගන්නට නොහැකිය.
කොරෝනා සමයේ අයත්මාගේ දෙමාපියන් එක ළඟ දින කිහිපයක් තුළ මිය යෑමේ සිද්දිය චත්‍රට මතකය. සමරකෝන් මාමා කොරෝනා වැලඳී මිය ගියාට පසු ණැණ්දා හදිසි හෘද්‍යාබාධයකින් මිය ගියාය.
ඉන් මාස කිහිපයකට පසු අවිශ්ක සහ ඔහුගේ බිරිඳ රිය අනතුරකට මුහුන දුන් හ. ඉන් අවිශ්කගේ බිරිඳ මිය ගියාය. ඉන් පසු එළැඹි කාලයේ ඒ අයියා සහ නංගී අතරේ ඇති වෙන්නට ඇතැයි වන බැඳීම චත්‍රට සිහියට ආවේය. අයත්මා ගේ ජීවිතය අවිශ්ක සහ ඔහුගේ දරුවා වටා විය. ඒ සියල්ල පසෙකින් තැබූ කල, අයත්මා අවිශ්කගේ ජීවිතය සතු වටිනාම සජීවී වස්තූන් දෙකෙන් එකකි.
කෝපයෙන් කෑ ගසාගෙන අතුකෝරල නිවසේ ගේට්ටුවෙන් ඇතුළුවන් අවිශ්කගේ රුව චත්‍රට මැවුනේය. අවිශ්කගේ ඒ කෑ ගැසීමෙන් කලබල වන තම පියාගේ නොසන්සුන් මුහුණද, අම්මාගේ බියපත් මුහුණද, නංගීගේ හැඬුම්බර මුහුණද සැනින් මැවුණි.
අවිශ්කගේ හඬ ගෑමෙන් කලබලයට පත්ව සිටින නිවසේ සුරතල් සුනඛයා රැගෙන යන්නට උත්සාහ කරන කපිල ගේ මුහුණෙහි පවා බියපත් විශ්මයාර්ථයක් වැටෙනු ඇතැයි ඔහු කල්පනා කලේය.
පියා අවිශ්කගෙන් කුමක් වී දැයි විමසනු ඇත. නැත, එයට පෙර ඔහු අවිශ්කට නිවෙස තුලට පැමිණ හිඳගන්නයැයි පවසනු ඇත. අවිශ්ක එයට එරෙහිව පියාගේ හඬ පරයමින් කතා කරනු ඇත. සිද්දිය පිළිබඳව දන්නා නිසා සිහිනි අනිවාර්‍යෙන්ම හඬනු ඇත. අවිශ්ක කෑ ගසා කුමක් පවසනු ඇතිදැයි චත්‍ර කල්පනා කලේය.
“කෝ අර බලු මන්ත්‍රීයා .. එන්න කියපං ඌට.. ගේ අස්සට වෙලා ඉන්නේ උබ බයගුල්ලා .. වරෙන් යකෝ.. අද මම තෝ ඉවරයක් කරනවා බල්ලා…”
නැත. එතරම් සංයමයකින් කියවමින් සිටීවි යැයි සිතන්නට අපහසුවය. අයත්මා සියල්ල පැවසීඑම්න් පසු තමා පැවසූවේ මුසාවක් බවද, දැනගන්නා ඔහු සංයමයකින් නම් නොපැමිනෙනු ඇත.
චත්‍ර අනෙක් අසුනේ වූ ඉරී ගිය අයත්මාගේ රාත්‍රී ඇඳුම අතට ගත්තේ. එය නහයට වන සේ ගෙන පුසුබෙන් පෙනහළු පුරවා ගත්තේය.
“සුවඳයි …”
ඔහුට කියැවුණි. ඒ සුවඳ නිසාම යළි හැඬුණි. තමා ස්ත්‍රී දූශකයෙකු නොවේයැයි තමාටම ඒත්තු ගන්වා ගන්නට චත්‍රට යම් සවියක් ඒ සුවඳින් ලැබුනාද මන්දා ? චත්‍ර යළි යළි සිතන්නට ගත්තේය. අයත්මාට කරදරයක් නොවූ බව සිහියට ගන්නට උත්සාහ කලේය. වූයේ තම ආවේගශීලී හැසිරීම අභියස ඇය බියපත් වීම නොවේද?
සැනින් සීතල නෙලුම් පොහොට්ටු යුගලක් හදවත තුල සැඟව්න තැනකින් මතු වූයේය. මින් පෙර ඇසුරු කල කිසිම ගැහැණියකගේ පියයුරු වෙතින්, ඒ සීතල සහ මේ දැනෙන උන්මාදනීය නැවුම් බව දැනී නැතිදයි ඔහු කල්පනා කලේය. සැනින් සිතැඟි වෙනස් විය. චත්‍ර අසුන පිටුපසට වන සේ කඩා ගත්තේය. ඇගේ ඉරී , බොත්තම් ගැලවී ගිය රාත්‍රී ඇඳුම ළය වැසෙන සේ පොරවා ගත්තේය. රැය දිගු නොවූවා නොවේ.
සිහිනි අතින් ජංගම දුරකතනය අත් හැරුණි. ඕ සිහි එලවා ගත්තේ දොරට වේගයෙන් පහර දෙමින් කතා කරන අම්මාගේ හඬිනි. නොදැනුවත්වම ඇයට හැඬෙමින් තිබුණි. ඕ වට පිට බැලුවාය. මෙය සිහිනයක්‍යැයි සිතන්නට අවැසි තරමේ හැසිරීමක් එහි විය. එහෙත් මෙය සිහිනයක් නොවේය. ඇය උන්නේ අවදියෙන් වග පිළිගන්නට සිදුවිය.
සිහිනි වහා ජංගම දුරකතන අතට ගත්තාය. එහි ඉදිරි මුහුණතෙහි බිඳීමක් ගොස් තිබුණි. සැනින් අයත්මා සිහි විය. අයියාද සිහි විය. සිහිනි දෑතින්ම මුහුන වසාගෙන බිම හිඳගත්තාය. අයියා එතරම් දරුණු වූයේ කෙලෙසද?… අයියා අයත්මාට කෙතරම් ප්‍රේම කලාද? එහෙව් ඇය ආදරයෙන් වැළඳගන්නවා මිසෙක මේ කියන පරිදි වූ යමක් කරන්නට තරමේ සිතක් අයියාට නැංගුනේ කෙසේද?
“මේ දොර අරින්න …සිහිනි …චූටි ..”
අප්පච්චිගේ හඬ ඇසුණු ඇසිල්ලෙන් සිහිනි වහා චත්‍රට ඇමතුමක් ගත්තාය. එහෙත් එය ක්‍රියා විරහිතව තිබුණි. එක්වරම දැනුනේ අඳුරු මූසල නොපැහැඳිලි හැඟීමකි. අයත්මාට අයියා අතින් කුමක් සිදුවුඅන්ද, අයියා දැන් ඒ ගැන පසුතැවෙන බවට සැකයක් නැත. ඔහු හඩා වැටුනේය. අයියා පහසුවෙන් බියපත් වන අයෙකුද නොවන වග සිහිනි දනී. එහෙත් ම්මේ බියපත්, වරදකාරී හැඟීමට ඔහුගේ කලබල සිතුවිලි එක් වූ කල ඕනෑම නපුරක් සිදු විය හැක.
සියදිවි නසාගත්, සරසවි මිතුරෙකුගේ රුව සිහිනිගේ දෑස් මානයේ ඇඳී, නොපෙනී ගියේය. ඕ නැගිට ගත්තේ දෙපා පැටලෙමිනි.
“අනේ අප්පච්චී ..”
“මොකද චූටි … කතා කරන්න ළමයෝ ….කොහෙද චත්‍ර…? මොකද්ද මිනිහාට වෙලා තියෙන්නේ?…”
“අනේ අප්පච්චී .. ගිහින් අයියාව අරන් එන්නකෝ අප්පච්චී …”
“කොහෙද මිනිහා ඉන්නේ…?”
අතුකෝරල මහතාටද යම් කලබලයක් දැනෙයි. ඔහු යම් කෝපාග්නියෙන් වැසී ගිය තීරනයක්වත් ගෙන ඇතිද?… දවාලේ කපිල පැවසූ සිදුවීම වෙනුවෙන් ඔහු වෙනත් විකල්පයක්වත් සොයාගෙනද?
“අනේ දන්නේ නෑ… අයියා ෆෝන් එක ඕෆ් කරා…”
“මොකක් කියලද ඕෆ් කලේ ඕක?…”
අතුකෝරල මහතාගේ හඬ වෙවුලයි. අම්මා බලා සිටින්නේ කුමක් වීදැයි සිතාගන්නට නොහැකිව බව සිහිනිට පෙනෙයි.
“අනේ …”
“කතා කරනවකෝ ලමයෝ …”
“අයියා … අයියා අතින් … අර … අයත්මා … ට … එයාට …. කරදරයක් වුනාලු …… “
අම්මා සිහි විසඟව පසෙකට විසිව යනුත්, අපප්ච්චී ඇය අල්ලා ගන්නට ඒ දෙසට පනින යුරුත් දැක දැඛම සිහිනි ගල් ගැසී උන්නාය.
“මාලා … කපිල අයියේ ……”
ඕ කෑ ගැසුවේ ඉන් පසුවය.
| අපේක්ෂා ගුණරත්න |