ආකාස මෝස්තර – 9

ගඟුල් විජයවීර නො සන්සුන් ලෙස කාමරයේ ඒ මේ අත සක්මන් කළේ ය. හිස කේ දෑතින් ම පිටුපසට ඇදගත්තේ ය. යහන මතින් හිඳගත්තේ ය. යළි නැගිට්ටේ ය. නැවත සක්මන් කළේ ය. තමන් මේ තරම් නො සන්සුන් වී ඇත්තේ මන්දැයි ඔහු නො දැන සිටියේ ය. මාරුවෙන් මාරුවට විවිධ මුහුණු හා සිදුවීම් ඔහු ගේ මනසෙහි ඇඳෙයි. ඒ අතරේ පාරුල් ද ශාරුක් ද චන්දුල ද වේ. පොත් ගැන පැවසූ විට පාරුල් පොඩි ළමයෙකු සේ සිනහ වූවා ය. ඇයට තිබෙන්නේ ඔහු ගේ ඇස රැඳුණු ඉන්දීය රංගන ශිල්පිනියක වන පල්ලවී ගේ මුහුණුවර ය. වට්සැප් වලට ඇය එක්කොට තිබෙන පැත්තට පෙනෙනා මුහුණේ පින්තූරය තනිකර ම පල්ලවී ය. ශාරුක්! ඔහු පිස්සෙකි. අර කෙල්ල ඒ පිස්සා ගේ පෙම්වතිය වී සිටින්නේ ඇයට ද පිස්සු නිසා විය යුතු ය. එක අතකට ඒ දේවල් ගඟුල් ට අදාල ම නැත. මහත් දාහයක් දැනී ඔහු නාන කාමරයට වැදී වතුර මල යටට වූයේ ය. හැඳ සිටි ටී ශර්ට් එකවත් උනා දමා දිය නාන්නට ඔහු ට අමතක වී ඇති බව දැනුණේ පමා වීයි. ගඟුල් වෙනදාට වැඩිය බෝ වෙලාවක් දිය නෑවේ ය. හිතේ වන යම් දෙයක් සෝදා හරින්නට ඔහු ට උවමනා විය. නමුත් ජලයෙන් හිතක් සේදිය හැකි ද?

ඇඳුමක් දමාගත් ගඟුල් මෝටර් රථයට නැගුණේ ය. නමුත් ඔහු ට යන්නට තැනක් නො තිබිණ. එනිසා ඔහු අරමුණකින් තොර ව මං මාවත් දිග ඔහේ රිය ධාවනය කළේ ය.

පාරුල් හිටියේ ද කැළඹීමක ය. ගඟුල් විජයවීර නො කියා ගිය එක ගැන කිසි සේත් සිතන්නට කාරණයක් නැත. ඔහු වගේ කෙනෙකු ඇය වාගේ කෙනෙකුට දැනුම් දී යාමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බැවිනි. නමුත් රිය ට ගොඩ වූ ගඟුල් ගේ මූණේ වෙනසක් විය. ඔහු එත්දී ගෙන ආ සිනහව අරගෙන ගියේ නැත. ලස්සන සිනහවකින් ඉල්ලා සිටි තේ එක බී ගියේ නැත!

පොත් ටික පසෙකින් තැබු පාරුල් රබර් පාවහන් දෙක දමාගෙන ලහි ලහියේ ගෙන් පිටවූවා ය.

“පාරෝ… කොහෙද ඔය දුවන්නෙ…”

හදිසියේ ම කඩි කෑවා සේ ඇයට වූයේ කුමක්දැයි බලන්නට ජුලී කඩිනමින් ලී ගේට්ටුව ළඟට විත් කෑගෑවා ය.

“මං එන්නාං”

කීවා මිස යන්නේ කොහේ දැයි පාරුල් කීවේ නැත. යන්නේ කුමට දැයි ඇය ද නො දැන සිටියා ය. අවැසි වී තිබුණේ ඒ මොහොතේ හිතට වද දෙන නො සන්සුන් බවින් මිදෙන්නට පමණකි.

ලොකු හදිස්සියකට වාගේ පාරුල් ඉක්මන් ගමනින් ඇවිද ගියේ ඔවුන් ගේ රෙදි කාමරය වෙතට ය.  කාමර පෙළක් කුඩා කාමර වශයෙන් වෙන් කොට එක දිගට ඒ ශාලාව තනා තිබේ. කිළිටි ඇඳුම් දමන්නේත්, ඒවා වර්ණ හා සුදු ලෙස වෙන් කරන්නේත්, අපුල්ලා මැද නවා ගබඩා කරන්නේත් මේ කාමර වල ය. පාරුල් යන විට රිදී කාමරය දොරකඩ කිළිටි රෙදි වෙන්කරමින් සිටි අතර චන්දුල සේදූ ඇඳුම් මදිමින් සිටියේ ය. කළබලයෙන් එහි එන පාරුල් දැක ඔවුන් දෙදෙනා ගේ ම වැඩ මොහොතකට නතර විය. සිව් නෙත ම ඇය වෙතට හැරවිණ.

“ඇයි පාරු…”

ප්‍රශ්නය රිදී ගෙනි. පාරුල් පිළිතුරක් නොදී කාමරයේ ඇතුළට ගොස් එහි බිම හිඳගත්තා ය.

“කෝ දෙන්න මාක් කරන්න තියන රෙදි. මං මාක් කරල දෙන්නං”

ඇය මාකර් පෑන අතට ගත්තා ය. ඉස්සර වාගේ සෙංකොට්ටං ඇට වල කිරි කහටෙන් නොව දැන් සලකුණු තබන්නේ මාකර් පෑන් වර්ගයකිනි. රිදී හා චන්දුල තවදුරටත් විශ්මිත ව පාරුල් දෙස බලාසිටින්නට වූහ.

“මොකද පාරු මේ… ඕව අපිට කරගන්න පුළුවන්. ඔයා ගිහිං පාඩං වැඩක් කරගන්න”

රිදී විරෝධය පෑවා ය. අද ඊයේ නොව පාරුල් ශිෂ්‍යත්වය සමත් වී කොළඹ බාලිකාවකට ඇතුළත් වූ දා පටන් රිදී දියණිය ලවා රෙදි වැඩක් කරවාගන්නේ නැත. ඊට පස්සේ ඇයට උරුම වූයේ පොත් වල වැඩ ය. වත්තේ ඉතිහාසය තුළ මුලින් ම ශිෂ්‍යත්වය සමත් වූ දැරිය ඇයයි. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විශිෂ්ඨ ලෙස සමත් වත්දී කොහොමටත් ඇයට රෙදි හෝදන පැත්තට යාම තහනම් කෙරිණ. ඒ තහනම් නියෝගය දමනු ලැබූයේ චන්දුල විසිනි.

“පාඩං වැඩ කරනව තමයි. මේවත් ඉතිං කළා කියල මුකුත් වෙන්නෑනෙ. අපි මේව පුරුදු වෙන්න කරන දේවලුත් නෙවේනෙ අම්මෙ. අපි කන්නෙ බොන්නෙත් මේ රස්සාවෙන්නං ඒ ගැන ලැජ්ජ වෙන්න දෙයක් නෑනෙ”

 පොල්කටු අඟුරු ස්ත්‍රික්කයෙන් රෙදි මදිනා ගමන් චන්දුල නංගී දෙස බැලුවේ ය. නමුත් ඔහු කිසිත් කියන්නට ගියේ නැත. හැන්දෑ වනතුරු ම පාරුල් රෙදි ගොඩක සලකුණු තැබුවා ය.

හැන්දෑවට බටහිර අහස වර්ණවත් වන්නට ගනී. රෙදි වැල් පැත්ත එතකොට වර්ණවත් ආකාස මෝස්තරයකි. දුක හිතෙනා ඕනෑ ම වෙලාවක අහස දෙස බලා සිටීමෙන් එදුක තුනී කරගත හැකි බව පාරුල් දන්නේ දිගු කලෙක සිටයි. ඇය චන්දුල රෙදි මැද නිම වන තුරු එතැනට වී කතා කරමින් සිටියා ය. ඔවුන් ගෙදර යන විට සඳ මෝදු වී වත්ත තඹපාට සඳ එළියෙන් නැහැවී යමින් තිබිණ. හැන්දෑවේ පාරුල් ගේ හිතේ යම් කළබල ගතියක් වී නම් දැන් එය යටපත් ව ගොස් තිබේ.

ආයේ පාරුල් එක්ක ලොකු ගණුදෙණුවකට නොයන්නට ගඟුල් තීරණය කරගෙන සිටියේ ය. වත්තට යමක් කරනවා නම් ඊට ඇය සම්බන්ධ කරගත යුතු ම නැත. ඇගේ පෙම්වතා වන ශාරුක් කොළඹ ළාමක චණ්ඩි රස්තියාදුකාරයෙකු සේ පෙනේ. ඔවුන්ගෙන් දුරස් වී හිඳිනා එක ඇඟට ගුණ විය හැක.

නමුත් එසේ සිතා සිටිය හැකි වූයේ රැය පහන් වන තුරා පමණකි. උදයෙන් ම ඔහු ඇගෙන් ඉල්ලා ගත් දුරකතන අංකයට වට්සැප් පණිවිඩයක් යැව්වේ ය.

“වත්තෙ ළමයි ටිකට ඉස්කෝලෙට ඕන දේවල් බෙදල දෙන්න ඕනෙ. ගෙවල්වල ඉන්න ළමයින්ගෙ වයසෙ හැටියට ලැයිස්තුවක් හදල එවනවද…”

ඒ සඳහා අනුග්‍රාහකයන්ට කතා කොට නො තිබිණි ද ගඟුල් ට උවමනාව තිබුණේ පාරුල් ට කතා කරන්නටයි. ඒ උදයේ ඇය පුස්තකාලයට යාමට සූදානම් වෙමින් සිටියා ය. සම්පූර්ණ කරගත යුතු පාඩම් වැඩ ටිකක් තිබූ බැවිනි. ඊයේ හවස කලබල වී තිබි සිත දැන් කළල් දිය මිදුණු දිය කඩිත්තක් මෙනි. යළි එය කළතා බොර කර නො ගත යුතුයයි පාරුල් සිතුවා ය. මේ සන්සුන් වූ සිතෙන් හෝරා කිහිපයක් එක දිගට අධ්‍යයන කටයුතු වල යෙදිය යුතු වේ.

ගඟුල් විජයවීර විනාඩියෙන් විනාඩියට දුරකනයට එබුණේ ය. ඔහු ගේ පණිවිඩය පාරුල් ගේ දුරකතනය විසින් බාරගෙන තිබේ. නමුත් තවමත් ඇය එය බලා නැත. හෝරාවක් ගත විණි. දෙකක් ගෙවිණි. ගඟුල් කෙතරම් නොසන්සුන් කලබලකාරීත්වයකට පත් ව සිටියේ ද යත් ඔහු ගේ කුකුළු කේන්තියට අවනත වී පණිවිඩය මකා දැමුවේ ය. ඊට පස්සේ ජංගම දුරකතනය යහන මත දමා ගැසුවේ ය.

“පණිවිඩයක් තිබ්බහම ඒක බලල රිප්ලයි කරන්න බෑනෙ”

තනිව කියවූ හෙතෙම ඇඳ කොනක හිඳ දෑතින් මුහුණේ දහදිය පිස දා ගත්තේ ය.

පාරුල් දුරකතනය අතට ගත්තේ පුස්තකාලය අසල දී එය නිහඬ කොට තබන්නටයි. උමාට නවකතා පොත් දෙකක් ගෙන එන බවට පණිවිඩයක් තබන්නට, ඇය වට්සැප් පැත්තට ගියා ය. මකා දැමූ පණිවිඩයක් ගඟුල් විජයවීර නමින් වන බව ඈ දුටුවේ එවිට යි. වහ වහා ඇමතුමක් ගෙන ඔහු ට කතා කරන්නට ඇය ට මුලින් ම සිතිණ. නමුත් කතා කොට කුමක් විමසන්නද?  මකා දැමූ පණිවිඩය කුමක් ද කියා අසන්න ද? ඊටත් වඩා ඔහු එය මකා දමන්නට ඇත්තේ අනවශ්‍ය නිසා ය. කතා කරන්නට ගියහොත් ඇය ඔහු ගැන අනවශ්‍ය ලෙස උනන්දු වෙනවා යි ගඟුල් හිතන්නට බැරි නැත. කොහොමටත් ඇමති පුතුන් කියන්නේ සෙල්ලක්කාරයන් බව පාරුල් අසා තිබේ. ඔවුන් ගේ ජීවිත වූ කලී කිසිසේත් සෙල්ලමක් නොවේ. හුස්මක් හෙළා ඇය මහජන පුස්තකාලයට ඇතුළු වූවා ය. පාරුල් මුලින් ම ගියේ බැහැර දෙන පුස්තකාල කොටසටයි. එහි ගිය විට සිය සාමාජික කාඩ් පතින් උමා ට ඉඳහිට නවකතා පොතක් ගෙන යාම පාරුල් ගේ සිරිතයි. උමා සිංහල නවකතා කියවන්න ආස ය. වත්තේ වැඩිමනත් දමිළ ළමයි දමිළ පාසලට යවනු ලැබූව ද උමා උගත්තේ පාරුල් සමගින් ම සිංහල ප්‍රාථමිකයේ ය. පාරුල් යන පාසලට ම යන්නට ඕනේ කියමින් ඒ කුඩා සන්දියේ දී ඇය බිම පෙරළෙමින් හැඬුවා ය.

“කෙල්ල සිංහලෙන් ඉගෙන ගත්තට මක්වෙනවද බං… ඔන්න ඔහෙ දාපං”

එතකොට ජුලී උමා ගේ මව්ට උපදෙස් දුන්නා ය. පාරුල් ශිෂ්‍යත්වය සමත් වී බාලිකාවකට යත්දී උමා මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූවා ය. උපතින් දමිළ වූවාට උමා උගත්තේ සිංහලෙනි. කතා කරන්නේ සිංහලෙනි. ඇයට මුතු කැට වන් සිංහල අකුරු හිමි ය.  ආගමෙන් හින්දු වූවාට ඕ පාසලේ දී උගත්තේ බුද්ධ ධර්මය යි. කෝවිල සේ ම පන්සල ද ඇයට නුපුරුදු නැත. ජාතියකට ආගමකට සීමා කළ නො හැකි බන්ධනයක් මිතුරියන් දෙදෙනා අතරේ වේ.

නිහඬ කොට ඇති දුරකතන තිරය එළිය වී ඊට ඇමතුමක් එන්නට සූදානම් වූයේ පාරුල් වැඩ කරමින් සිටි අතරේ ය. තිරය මත ගඟුල් කියන නම ඉංග්‍රීසි අකුරෙන් ලියැවෙත්දී නුහුරු කම්පන තරංගයක් හදවත සිසාරා ගොස් නිසල විය. පුස්තකාලය තුළදී දුරකතන ඇමතුම් ගත නො හැකි ය. පාරුල් බලා සිටියදී ම එය හැඬවී නිහඬ විය.

ගඟුල් ගේ අත මිට මෙළවිණ. ඇය ඔහු ගේ ඇමතුමක් නො සලකා හරින්නට තරම් උද්දච්ච වූ ගැහැනියක් ද? ඒ උද්දච්චකමට හේතුව වෛද්‍ය ශිෂ්‍යාවක වීම ද? නැත්නම් ඔවුන් දේශපාලකයන්ව ගණන් ගන්නේ නැති බව හඟවනන්ට ඇයට උවමනා වී ද? පණිවිඩය මකා දමා ටික වෙලාවක් යත්දීත් හදවත තුළ නො සන්සුන් බවක් වූ නිසා ය ගඟුල් නැවත ද ඇයට ඇමතුමක් ගත්තේ. දැන්නම් ඔහු ට හිතෙන්නේ ඒ තරම් අනුවණකමක් කිසිදාක ඔහු ගෙන් සිදු වී නැති බවයි. ඒ ගැන ලැජ්ජාවක් හිතට වද දෙත්දී ඔහු ගෙදරින් පිටත් වීමට රියට ගොඩ වූයේ ය. එතකොට ම පාරුල් ගේ නමින් දුරකතනය හැඬවෙන්නට ගති. ගඟුල් මොහොතක් නිහඬව එදෙස බලාගෙන ම සිටියේ ය. පිළිතුරු දෙනවා ද නැති ද යන සිතිවිල්ලේ අග ඔහු කොළපාට බොත්තමට ඇඟිල්ල තබා තිබිණ.

“හෙලොව්”

ඒ වචනය ඕනෑවට එපාවට නො සැලකිළිමත් බව හැඟවෙන තානයකින් කියන්නට ගඟුල් උත්සාහ කළේ ය. නමුත් ඒ හඬ දුරකතනය ඔස්සේ අසන්නේ ප්‍රථම වතාවට නිසා පාරුල් ට ඒ බවක් නො දැනුණා විය හැක. ඊටත් වඩා ඇය යමක් පැවසීමේ නො ඉවසිල්ලේ හිටියා ය.

“අනේ සොරි. කෝල් එක එද්දි මං ලයිබ්‍රරි එක ඇතුළෙ හිටියෙ. ආන්සර් කරන්න බෑනෙ ඉතිං. එළියට ඇවිත් මේ ගන්නෙ…”

එතෙක් දැඩි වී තිබි සිරුරේ පේශි, පටක, තන්තු, සෛල සියල්ල කෙසේ කොයි මොහොතක ලිහිල් වී ගියා ද කියන්නට ගඟුල් දන්නේ නැත. ඔහු අතිශය සැහැල්ලුවකට පත් ව සිටියේ ය.

“ඇයි දන්නෑ නේද කතා කළේ…”

පාරුල් කතා කළේ මෘදු සව්මිය හඬ තානයකිනි. ඒත් එක්ක ම ඔවුන් අතරේ තබාගත යුතු පරතරය එළෙසින් ම රඳවා ගන්නට ද හැකි ලෙස ය ඇය වචන හැසිරවූයේ.

“පොත් ටික ගෙනත් දීල එහෙමම ගිහිංනෙ… තේ බීල යනව කිව්වට…”

කොයි තරම් අමතක කොට අත්හැර දමන්නට ඕනෑ වුණත් දිය යට ඔබා ගෙන සිටිනා රබර් බෝලයක් සේ ඉහළට මතු වෙන්නට ම බලන ඒ සිදුවීම ද එහෙම ම මුවින් පිට විණි. ඒ ගැන පාරුල් පසුතැවිලි වූයේ නැත.

කුමක් කියන්නදැයි ගඟුල් ට සිතා ගත නො හැකි විණි.  නමුත් ඔහු හදිසි තීරණයක් ගත්තේ ය.

“මං එන්නං”

“කොහෙද…”

“ලයිබ්‍රරි එකට”

“එප්…”

පාරුල් එපා කියන්නට පෙර දුරකතන සම්බන්ධය බිඳී ගියේ ය. ඇයත් නො දැන ඇගෙන් සුසුමක් ගිලිහිණි.

රිය තුළ මිහිරි සුවඳක් ගඟුල් ට දැනිණ. ඒ වායු සමීකරණ සිසිලස සමගින් දැනෙනා සුසුවඳ ය. ඔහු සංගීත හඬ මඳක් වැඩි කළේ ය. අහේතුක උද්‍යෝගයක් හිතේ තටු සලයි. රිය වෙනදාට වඩා වැඩි වේගයකින් ධාවනය වන්නට විය.

🩵ඔබට දැනෙනා දේ ඔබට හිතෙනා ලෙසට ම ලියා යන්න. කියවූ බවට සලකුණක් හෝ තබා යන්න. ඒ පුංචි දේක ඔබ නො හිතනා ආදරයක් ඉකිරි විය හැක.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles