කේක් ගෙඩියක් කළ හදියක්!
ඔන්න කතන්දර අහන්න ආසා පොඩිත්තන්ගේ අම්මලාව අමාරුවේ වැටෙන අවස්ථාවෙන් බේරා ගන්න ස්මාට් ලේඩි උදව් කරනවා. අප දන්නවා ඔබේ කාර්යබහුල බව එක්ක කතන්දර සොයමින් කියවන්නට අපහසු බව. ඒ නිසා අප ඔබට කතන්දර රැසක් කියා දෙන්නටයි යන්නේ. ඔබ ඔන්ලයින් එන මවක් නිසා විනාඩි කිහිපයක සුළු කාලයකින් ඔබට කියවන්නට පුළුවන් කතාවක් සති පතා අප ඉදිරිපත් කරනවා. මීට පෙර අප ඔබට ලියු කතා අපගේ වෙබ් අඩවියේ තිබෙනවා. ඉතින් ඔන්න මේ ත්‍යාගය ඔබට පමණක් නෙවේ ඔබේ සිඟිත්තාටත් අයිතියි. එපමණක් නොවෙයි ඔබ කාර්ය බහුල වුනත් පොත පත ඔබට හුරු නැති වුවත් ඔබේ දරුවා රසවින්දනයෙන් පොහොසතෙකුගේ කිරීමේ කාර්යයද අම්මා කෙනෙක් ලෙස ඔබට තිබෙන බව අමතක කරන්න එපා.
ඔන්න එක ගෙදරක ඉන්නවා අක්කා කෙනෙක් සහ මල්ලි කෙනෙක් .අක්කට අපි ක්ලාරා කියමුකෝ. ඔන්න දවසක් ක්ලාරා එයාගේ මල්ලිව හොයන් ඇවිත් අහනවා, ඔයා දන්නවද කුස්සියේ තියෙන්නේ මොනවද කියලා. කුස්සියේ තියෙන්නේ කේක් ගෙඩියක්. ගොඩක් ලොකු ලස්සනම ලස්සන කේක් ගෙඩියක්. උඩින් ක්‍රීම් තවරලා චොක්ලට් කුඩු ඉහපු එකක්. ඉතින් ඔන්න දෙන්නා එක්කම කුස්සියට යනවා. ගිහින් ෆ්‍රිජ් එක අරිනවා. ඇත්ත නේන්නම්. රසම රස පාට කේක් එකක් තියෙනවා ෆ්‍රිජ් එක ඇතුළේ.
ඉතින් ඔන්න ඒ වෙලාවේම අම්මා එනවා. අම්මා කියනවා අක්කටයි මල්ලිටයි ඒ කේක් ගෙඩිය හැදුවේ එමා නැන්දටයි, ග්‍රේටා නැන්දටයි කියලා. එයාලා හවස එනවලු තේ බොන්න. එහෙම කියලා අම්මා ගමනක් ගියා. අක්කයි මල්ලියි සෙල්ලම් කාමරේ සෙල්ලම් කරන්න ගියා.
ඔන්න ඔහොම සෙල්ලම් කරද්දී ක්ලාරට මතක් වෙනවා කේක් ගෙඩිය. එයාට දැනගන්න ඕන ඒක තියෙනවද ? එහෙම නැත්නම් හොරු ගෙනිහිල්ලද කියලා. ඉතින් එයා මල්ලිවත් ඇදගෙන යනවා කුස් සියට. කේක් එකනම් තියෙනවා. ඒත් ක්ලාරට තවත් දෙයක් මතක් වෙනවා. කේක් ගෙඩිය හොද තත්වයේ තියෙනවද කියලා බලන්න. මොකද එන්නේ එයාලගේ නැන්දලා දෙන්නා. කේක් එක විස වුණොත් කාලා මැරෙන්නේ ඒ දෙන්නා .ඒ නිසා මල්ලිවත් කැමති කරගෙන ඔන්න එයා කේක් එක පරික්ෂා කරනවා. කේක් එකේ හැම පැත්තෙන්ම ටික ටික කාලා බලනවා. ඒ විතරක් නෙවේ. උඩිනුයිත් යටිනුයිත්.
ඔන්න ඔය අතරේ අම්මා ආවා. අම්මා පුදුම වෙලා බලන් හිටියා. එයා කිව්වා කේක් ගෙඩියෙන් දැන් කාටවත්ම සංග්‍රහ කරන්න බැරි නිසා ඒ දෙන්නට කන්න කියලා. හැබැයි එක කෑල්ලක්වත් ඉතුරු කරන්න නම් බැහැත් කිව්වා. ඒක ඉතින් එක්තරා විදියක දඬුවමක්.
ක්ලාරයි මල්ලියි මුළු කේක් ගෙඩියම කෑවා. දෙන්නගේ බඩවල් දෙක බෝලයක් වගේ පිම්බිලා ආවා. ඊට පස්සේ දෙන්නටම බඩේ අමාරුවකුත් හැදුණා. දන්නවනේ ඉතින් බඩේ අමාරුවට හේතුව ?
මේ කතාව මේ විදියටම කියන්න පුළුවන්. එයා කැමති නම් පහුවෙනිදා ක්ලාරවයි මල්ලිවයි අඳින්නත් දෙන්න. මේ කතාව මීට වඩා ලස්සනට කියවන්න ඕනනම් ක්ලාරගෙයි මල්ලිගෙයි වැඩ ගැන දැනගන්න ඕනනම් දේවිකා වඩිගමන්ගාව විසින් පරිවර්තනය කල මමයි මගේ අක්කා ක්ලාරයි පොත පැටියාට කියවන්න පුළුවන්. මේ තියෙන්නේ බෙඩ් ටයිම් ස්ටෝරි එකක් විදියට කෙටිකල එහි අඩංගු කතාවක්.
– චම්මි –