නිවසේ ඕනෑම තැනක් ලස්සනට පාට කරන Indoor Plants මොනවද බලමුද?

පැළ හදන්න කැමති අකමැති අය ඉන්නව වුනත්, කොළ පාට පිරුණු ගහක් කියන්නේ ඕනෑම කෙනෙක්ගෙ හිත එක තත්පරෙන් නිමන්න, සනසන්න පුළුවන් ස්වභාවධර්මයේ හරි අපූරු නිර්මාණ වලින් එකක්නේ. 

උද්‍යාන වල සහ ගෙවත්තේ මල් සහ පැළෑටි වැවීමෙන් ඔබ්බට ගිහිල්ල ටිකෙන් ටික නිවෙස් ඇතුළත කොළ පාට පැළයක් හදන්න අපි තීරණය කරෙත් පැළයක් කියන්නේ ඇසට සහ මනසට ඖෂධයක් තරම්ම වටින දෙයක් නිසයි. 

මනස සන්සුන් කරන්න වගේම නිවසේ තියෙන ඉඩපාඩු සහිත ස්ථාන වල හිස්තැන පුරවන්නත් නිවසේ වාතය පිරිසිදු කරන්නත් නිවසේ අභ්‍යන්තරයේ වවන ශාක වලින් ලැබෙන්නෙ අසීමිත සහයක්. 

ඔන්න එහෙනම් දැනටමත් නිවසේ indoor plants හදන සහ හදන්න බලාපොරොත්තු වෙන ඔබට ගැළපෙන ලිපියක් අරගෙනයි smart lady අපි අද මේ ඔබව හමුවෙන්නෙ. 

එහෙනම්, අපි බලමු මේ කාලයේ ජනප්‍රිය indoor plants වර්ග මොනවද කියල?

Parlor Palm 

සතියකට සැරයක් හෝ දෙසැරයක් පමණක් වතුර දැමීම ප්‍රමාණවත් වුනත් parlor palm ශාකයේ පත්‍ර වලට නිතර නිතර ජලය ඉසීම/ ස්ප්‍රේ කිරීම මඟින් ශාකයේ පෙනුම සහ ප්‍රාණවත් බව ඉතාම හොඳින් ආරක්ෂා වෙනව වගේම මධ්‍යම සහ තද ආලෝකයක් අවශ්‍ය නමුත් කෙළින්ම හිරු එළිය නොවැටෙන ස්ථානයක තැබීමත් ඉතාම වැදගත්. 

Aloe vera 

Aloe vera එහෙමත් නැත්නම් කෝමාරිකා කියන්නෙ අපි කවුරුත් හොඳින්ම දන්න මිලදී ගන්න වගේම වගා කරන්නත් වැඩි මුදලක් වැය නොවෙන නමුත් ඉතා හොඳ පෙනුමක් නිවස අභ්‍යන්තරයට ලබාදෙන්න පුළුවන් ශාකයක්. 

කෝමාරිකා කියන්නෙ දීප්තිමත් ආලෝකයට ඉතාමත් ප්‍රිය කරන ශාකයක් වුනත් නිවස අභ්‍යන්තරයේ කෙළින්ම සූර්‍යාලෝකය නොවැදෙන ස්ථානයක තියල පැළය සාදා ඇති පස් මිශ්‍රණය වියළි වූ පසු පමණක් ජලය යෙදීම ප්‍රමාණවත් බව තමයි සඳහන් වෙන්නෙ. 

Fiddle leaf tree

විශාල සහ පළල් පත්‍ර සතිත fiddle leaf tree ශාකයත් ඉතාම ජනප්‍රිය indoor plants විශේෂයක් විදිහට හඳුන්වන්න පුළුවන්. 

දින 07 කට හෝ 10 කට වතාවක් වතුර දැමීම ප්‍රමාණවත් වීමත් කෙළින්ම සූර්‍යාලෝකය වැටෙන හෝ නොවැටෙන නමුත් දීප්තිමක් ආලෝකයක් සහිත ස්ථානයක තැබීමට සුදුසු නිසාත් fiddle leaf tree කියන්නෙ වැඩි කරදයක් නැතුව හදාගන්න පුළුවන් indoor plants වර්ග අතරින් එකක් කියල හඳුන්වන්න පුළුවන්. 

Money tree

කාලයක් ශ්‍රී ලංකාව පුරා මේ ශාකය ප්‍රසිද්ධ වුනා ඔබට මතකද?

සෞභ්‍යායේ සහ සශ්‍රීකත්වයේ සංකේතයක් විදිහට හඳුන්වන්න පුළුවන් ඉතාම අලංකාර ශාකයක් වන මේ money tree හිරු එළිය කෙලින්ම නොවැටෙන සහ දීප්තිමත් ආලෝකයක් සහිත ස්ථානවල තියන්න පුළුවන් වගේම සතියකට හෝ දෙකකට වරක් වතුර යෙදීම ප්‍රමාණවත් කියලත් සඳහන් වෙනවා. 

Philodendron 

ආදරයේ ශාකය කියල ග්‍රීක භාෂාවෙන් නම් ලබල තියෙන මේ philodendron ශාකයේ පත්‍ර ඇත්තටම හදවතේ හැඩයට ඉතාම සමානයි. 

සතියකට හෝ සති දෙකකට වතාවක් පමණක් වතුර යෙදීම ප්‍රමාණවත් වගේම මධ්‍යම සහ තද හිරු එළිය කෙලින්ම නොවැටෙන ස්ථානයක තැබීමටත් ඉතාම සුදුසු ශාකයක් විදිහටයි හඳුන්වන්නේ. 

ඔබ සුරතලයට බල්ලන් හෝ පූසන් නිවසේ ඇතිකරනවා නම් philodendron ශාකය ඔවුන්ගෙන් ඈත් කර තැබීම නම් අනිවාර්‍යයි. ඒ මොකද, ඒ ශාකය ඔවුන්ට විෂ බවට සොයාගෙන තිබෙනව කියලත් සඳහන් වෙනවා. 

Chinese Evergreen 

Aglaonema කියලත් chinese evergreen ශාකය හඳුන්වනව ඔබට ඇහිල ඇති. 

විවිධ වර්ණ වලින් දකින්න පුළුවන් වැඩි කරදරයක් නැති chinese evergreen ශාකය බල්ලන්ට සහ පූසන්ට විෂ සහිතයි කියලත් අපි ඔබට මතක් කරන්න කැමතියි. 

දින 05 කට හෝ 10 කට වතාවක් පමණක් ජලය යෙදීම ප්‍රමාණවත් වගේම අඩු හෝ දීප්තිමක් සූර්‍යාලෝකය කෙළින්ම නොවැටෙන ස්ථානයක තැබීමට වඩා සුදුසු ශාකයක් විදිහටත් chinese evergreen ශාකය හඳුන්වන්න පුළුවන්. 

String to Pearl 

String to pearl කියන්නෙ හරිම ලස්සන හරිම වෙනස් පෙනුමක් තියෙන ශාකයක්. 

තෙතමනය අඩු පසක වවන්න පුළුවන්, සති දෙකකට හෝ තුනකට වරක් පමණක් වතුර යෙදීම ප්‍රමාණවත් උදෑසන පැය දෙකක් පමණ සූර්‍යාලෝකයට කෙළින්ම නිරාවරණය වෙන විදිහට තියල දවසේ අනිත් වෙලාවල් වලදී හෝ සම්පූර්ණ දවසම දීප්තිමත් ඒත් හිරු එළිය කෙළින්ම නොවැටෙන ස්තානයක මේ හුරුබුහුටි පැලෑටිය තියන්න ඔබට පුළුවන්. 

Peace Lily 

කොළ පාට විතරක් දකිනවට වඩා කොළ පාට ශාකයේ මල් පිපිල තියෙනවත් දකින්න කැමති ඔබට peace lily කියන්නෙ හොඳම විසඳුමක්. 

දීප්තිමක් සූර්‍යාලෝකය කෙළින්ම නොවැටෙන ස්ථානයක තියල සතියකට වතාවක් වතුර යෙදුවොත් නිතරම මල් හටගන්න හොඳ peace lily ශාකයක් ඔබට හදාගන්න පුළුවන්. 

ඒත් මේ ශාකයත් පූසන්ට සහ බල්ලන්ට විෂ සහිතයි කියල ඔබ මතක තබාගත යුතුමයි. 

Jade Plant 

Jade plant කියන්නෙ ශාකයේ තියෙන කුඩා පත්‍ර වල වතුර ගබඩා කරල තියාගන්න හැකියාව තියෙන මාසයක කාලයක් වුනත් කිසිම කෙනෙක්ගේ අවධානයක් බලාපොරොත්තු නොවී ඉන්න ශාකයක්. 

Jade plant වලට ආදරේට කියල ඕනැවට වඩා වතුර දාන්න ගියොත් පැළෑටියේ වර්ධනය අඩු වෙනව කියලයි හඳුනාගෙන තියන්නෙ. 

මිත්‍රත්වයේ, සෞභ්‍යායයේ සහ සශ්‍රීකත්වයේ සංකේතයක් විදිහට හඳුන්වන jade plant වලට වතුර යෙදීම එහි පස් වියළි වූ විට සති දෙකකට පමණ වතාවක් කිරීම ප්‍රමාණවත් වගේම දිනකට පැය 06 ක පමණ දීප්තිමත් ආලෝකයක් ලැබීම ප්‍රමාණවත් වුනත් බල්ලන්ට සහ පූසන්ට විෂ සහිත පැලෑටියක් කියලත් අපි ඔබට මතක් කරනව.

Asparagus Plant 

මේ ශාකය ඉස්සර අපේ ගෙවතු වල ඉතාම සුලභව දකින්න ලැබුණු පැලෑටියක්. 

ශාකයේ ප්‍රාණවත් ගතිය නැතිවූ විට වතුර යෙදීමත්, නිතර නිතර වතුර ස්ප්‍රේ කිරීමත් ප්‍රමාණවත් වුනත් දීප්තිමත් නමුත් සූර්‍යාලෝකය කෙළින්ම නොවැටෙන ස්ථානයක ශාකය තැබීමට වගේම බල්ලන්ට සහ පූසන්ට විෂ සහිත නිසා ඔවුන්ගෙන් ඈත් කර තැබීමටත් ඔබ මතක තබා ගත යුතුමයි. 

Yucca Cane Plant 

සූර්‍යාලෝකය තදින්ම ප්‍රිය කරන yucca cane plant කියන්නෙ වෙනස්ම හැඩයක් සහ පෙනුමක් තියෙන ශාකයක්. 

පස වියළි වූ විට දින 10 කට 14 කට වරක් ජලය යෙදීම ප්‍රමාණවත් සූර්‍යාලෝකයට ප්‍රියකරන මේ ශාකයත් පූසන්ට සහ බල්ලන්ට විෂ සහිතයි කියන කරුණු නම් ඔබ මතක තබාගත යුතුමයි. 

වැඩිපුර වතුර යෙදීම ශාකයේ වර්ධනයට බාධාවක් වෙන නිසා ඔබ ඒ ගැනත් සැළකිලිමත් විය යුතුමයි. 

Rubber Plants 

කොළ පැහැයට එහා ගිය වර්ණ සහිත indoor plants ප්‍රිය කරන ඔබට rubber plants කියන්නෙ ඔන්න හොඳම විසඳුමක්. පස වියළි වූ විට සතියකට වතාවක් පමණ ජලය යෙදීම ප්‍රමාණවත් අතර දීප්තිමත් සහ සූර්‍යාලෝකය කෙළින්ම නොවැටෙන ස්ථානයක තැබීම වඩා සුදුසුයි. 

මීට අමතරව, ඕකිඩ් වර්ග සහ air plant වර්ග වුනත් ගෘහාශ්‍රිතව වවල ඉතාම හොඳ ලස්සන පෙනුමක් ඔබේ නිවස අභ්‍යන්තරයට එක්කරගන්න ඔබට පුළුවන්. 

අද අපේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් වන්න ඇතැයි අපි විශ්වාස කරනවා. මෙවැනිම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles