විසි හත් වැනි නෙත් සැරිය
සෙනසුරාදා වන තුරු වූ දින දෙක අයත්මා ගෙවා දැමුවේ කල්පයක් පරිද්දෙනි. සිකුරාදා සවස සිහිනි පැමිණ මුණ ගැසෙන තුරු ඕ කල් ගෙවුවේ සෙනසුරාදාව කිසිවෙකු උදුරාගෙන යතැයි බියෙනි. සිහිනි ඕ කැටුව යන්නට පැමිණෙන බවත්, නිවසින් පිටවන විට ඇමතුමක් දෙන බවත් සිහිනි පවසද්දී අයත්මා සිනාසී හිස සැලුවාය. ඕ සිහිනි ඉදිරියේ පවා උන්නේ කෝලව යමිනි. සිහිනිද ඒ බව හැඳිනිම් යටි සිතින් සිනාසෙමින් අයත්මාට සමුදුන්නාය.
” අනේ මන්දා අයියේ .. අයත්මා ඇඹරුනේ නිකන් තමුසේට පට්ට ක්‍රශ් එකකින් ඉන්නවා ගානට. අරහෙම සිද්දියක් වුනාට පස්සේත් අයත්මා එහෙම හැසිරෙන එක බය හිතෙනවා අයියේ එක අතකට ….”
සිහිනි සිකුරාදා රාත්‍රියේ චත්‍රගේ කාමරයට බලෙන්ම රිංගාගෙන කීවාය. චත්‍ර ඇය දෙස බලා උන්නේ නොරිස්සුමක් සමඟය. ඇය සියල්ලම වෙනුවෙන් තමා පොළඹවා, සැක සංකා වෙනුවෙන් නොබියව ඉදිරිපත් වන ලෙසද පවසා දැන් අනෙකක් පවසන්නීය.
” මොක වුනත් පරෙස්සමින් අයියේ … අනේ පිස්සු නටන්න නම් තියාගන්න එපා…”
චත්‍ර එයටද කිසිත් නොපවසා බලා උන්නේය. සිහිනි කාමරයෙන් පිටත ගියේ චත්‍ර නිහඬව සිටීම හැරෙන්නට අන් විකල්පයක් නොකෙරූ නිසාය. චත්‍ර බැල්කනියේ කොනෙක වූ අසුනේ වැතිරුනේය.
නංගී කෙලෙසකින් කිව්වද, අයත්මා මේ නාඩගමකට සූදානම් වනවා නොවේයැයි දැනෙන හැඟීම ඉක්මවා යන්නට චත්‍රට සිතක් වූයේ නැත. නංගී සිතා සිටින්නේ කෙලෙස වුවද, අයත්මා සත්‍ය දනී.තමා ඇයට කරන්නට ගිය දෙය අයහපතක් වුවද, තමා එය නවතා ගත්තේ කොතැනකින්ද යන්න ඇයට මතක ඇතිවා විය යුතු නොවේදැයි චත්‍ර සිතුවේය.
එහෙත් නංගී පවසන තෙක් ඇය තමා වෙනුවෙන් යම් උණුසුම් හැඟීමක් දරනවාය යන සිතුවිල්ල තමාට නොදැනී තිබීම සහ එවැන්නක් පිළිබඳව විශ්වාසයක්වත් නොමැති වීම නිසා යම් කුකුසක්ද චත්‍ර ගේ සිතෙහි නොවූවා නොවේ.
එහෙත් දැන් ගඟට බැස අවසන් ය. ගිලෙන්නට හෝ ගොඩ වෙන්නට දැන් පීනන්නටම සිදුවේ. ආපසු මෙගොඩට පීනන්නට උත්සාහ කිරීමක් ගැන අදහසක්වත් නැති නිසා එගොඩට පීනීම සඳහා වන ආයිත්තම් චත්‍ර සකසා ගත්තේය.
සිහිනි කපිල සමඟින් අයත්මාගේ නිවෙසටම ගොස් ඕ මෝටර් රියට නංවා ගත්තාය.
” ඩ්‍රාමා එකේ කොස්ටියුම් හදන වැඩ වගේකට සිහිනි එක්ක එලියට ය්නවා..”
පෙර දින රාත්‍රියේම අයත්මා අවිශ්කට එලෙස කීවාය. සැබැවින්ම සිදු වන්නේ කුමක්දැයි පවසන්නට ඇයට හිත ඉඩ දුන්නේ නැත. සිදුවන්නේ කුමක්දැයි කියාවත් නොදැන අයියාගේ හිත කලබල කල යුතු නොවේයැයි ඕ සිතුවාය.
අයත්මා ඇඳ උන්නේ නිල් පැහැ ගවුමකි. උදේ චත්‍රද සූදානම් වූයේ නිල් පාට කමිසයක් සමඟින් සමඟින් බව සිහිවී සිහිනිට සිනහ නැඟුනාය. ඕ කපිලටද කෙටි පණිවිඩයක් යවා ඒ බව පැවසුවාය.
” මුන් දෙන්නා කතා කරගෙන ඇඳලාද?..”
කපිල සිහිනි දෙස බලා සිනාසී අයත්මා දෙසද යන්තම් හැරී බැලුවාය. සිහිනි සහ චත්‍ර සූදානම් වන්නේ කුමටදැයි දැනගත්තේ පෙරේදා සවස චත්රගෙනි. ඒ මොහොතේ පටන්ම චත්‍රට අනතුරු ඇඟවීම් කලද, ඔහු ගණනකට නොගත් නිසා අවසානයේ කපිල චත්‍ර දෙස විමසිල්ලෙන් සිටීමේ තීරනය තමා වෙත පවරා ගත්තේය.
තිස්සමහාරාම නගරයෙන් එපිටට වන්නට පිහිටි කුඩා අවන්හලක මේස දෙකක් චත්‍ර වෙන් කරවාගෙන තිබුනි. මේස දෙක අන් මේස සහ විවෘ ත ප්‍රදේශයෙන්ද වෙන් වී තිබුණි. කපිල වාහනය නවතාලීමට යන අතරේ සිහිනි අයත්මා සමඟින් ඉස්සර වුයේ චත්‍රට ඇමතුමක් ගන්නා අතරේය.
චත්‍ර ඔවුන් ඉදිරියට පැමිණියේය. සිහිනි අයත්මා ඉක්මවා ගොස් චත්‍රගේ කනට කර යමක් කීවේය.
” තමුසේ අයත්මාට කිව්වා නේද නිල් පාටම ඇඳගෙන එන්න කියලා..”
චත්‍ර සිහිනිගේ උරහිසට ඉහලින් අයත්මා දෙස බැලුවේත්, අයත්මා සිහිනිගේ පිටුපසින් මදක් පසෙකට වී චත්‍රගේ ඇස් සොයාගන්නට උත්සාහ කලෙත් එක් මොහොතේය. සිව් දෑස් එකට ගැටීමේ පලමු මුහුර්තය ඒ මොහොත විය. අයත්මා වහා මිදුණාය. චත්‍ර සිහිනි දෙස බැලුවේ දෙතොල් අග මන්දස්මිතයක් සමඟය.
” බලන් ඉන්නවකෝ .. ඉස්සරහට ඊට වඩා සර්ප්‍රයිස් වේවි ..”
චත්‍ර දෙදෙනාට පැමිනෙන ලෙස ඉඟි කරමින් ඉස්සර වෙද්දී කපිලද එතැනට ආවෙය. කපිල වාහනයට වී ඉන්නම්යැයි කීවද, චත්‍රට එලෙස අවශ්‍ය වූයේ නැත.
” උඹ නංගී එක්ක කයියක් දාගෙන හිටපං…”
සිහිනි කපිල හා එක්ව චත්‍රට නොරිස්සුම් බැල්මක් තැනුවේය. අයත්මා දෙදෙනාටම සිනාසී බිම බලා ගත්තාය. සිහිනි චත්‍ර වෙතට යන්නයැයි අයත්මාට පවසා ඔවුන්ට පිටුපා වූ මේසයේ හිඳගත්තාය. කපිලද ඒ මේසයේම ඔවුන්ට පිටුපා හිඳ ගත්තේ සිහිනි හා චත්‍රට බැණ වඳිමිනි.
” මෙව්වා අයියලා නංගිලා එකතු වෙලා කරා වගේ නෙවෙයි, අන්තිමේදී නරක මිනිහා වෙන්නේ මම ..”
” විකාර කියන්නෙපා අප්පා . අපි එහෙම ඔයාව පාවා දෙනවාද?..”
” උදෙත් ලොකු මහත්තයා නිකන් නුහුරට වගේ කතා කලේ.. තේරුනේ නැද්ද ?..”
“ඒ ඉතින් මේ සෙනසුරාදා උදේ පාන්දර මම ගමනක් දාගත්ත නිසා මිසක් ඔයා එක්ක වුලක් නෙවෙයිනේ කපිල අයියේ … ඔයා බය නොවී ඉන්නකෝ.. අනාගත ඇමති කෙනෙක්ගේ සෙවන යටනේ අප්පා ඔයා ඉන්නේ ….ආයේ ඉතින් කාට බය වෙන්නද?..”
කපිල කිසිවක් නොපවසා ජංගම දුරකතනයේ වූ යමක් දෙස බැලුවේය. සිහිනිද පෙර දිනයේ බාගත කරගත් චිත්‍රපටයක් නැරඹීමට සූදානම් වූවාය.
” අයියේ කන්න බොන්න ඕර්ඩර් කරලා ඉන්න අනේ…”
ඒ අතරේ ආපස්සට හැරී චත්‍රට පවසන්නටද සිහිනි අමතක නොකලාය. චත්‍ර අවන්හලේ සහායකයෙකු අමතා පෙර සූදානම් කරන ලද අයුරින් ආහාර පාන ලැබෙන්නට සලස්වන මෙන් කීවේය. අයත්මා උන්නේ ඍ ජුවම චත්‍ර දෙස බැලීමට නොහැකිවය. ඕ වටපිටාව බලමින් නොසන්සුන්කම සන්සිඳුවා ගන්නට උත්සාහ කලාය.
” වෙනම වෙලාවක් දාලා දෙන්නම් වටපිට බලන්න. දැන් මගේ දිහා බලාගෙන ඉන්න …”
චත්‍ර වෙනස්ම ස්වරයකින්, අයත්මා දෙසට නැවී කීවේය. ඕ ඉන් තිගැස්සුණාය. අපහසුවෙන් කෙළ පිඬක් ගිල දැමුවාය. අනතුරුව උකුල මත වූ දෑත් දෙස බැලුවාය.
” ඔයා අපහසුවෙන් ද ඉන්නේ අයූ ?..”
එවර නම් අයත්මාට චත්‍රගේ ස්වර දිගේ ඔහුගේ දෑස් වෙතට යන පාර මඟ හරින්නට හැකි වූයේ නැත. ඕ ඔහු දෙස බලුවාය. නැතැයි කියන්නට හිස සැලුවාය. අවන්හල් සේවකයෙකු වයින් බෝතලයක් සහ අල පෙති සහ කෙටි ආහාර කිහිපයක් මේසය මත තැබුවේය.
” ඔයාට ඕකේද?..”
සිහිනිද ආපසු හැරී බලනු යන්තමට පෙනෙද්දී චත්‍ර විමසුවේය. සිහිනි හිස සැළුවාය. චත්‍ර වීදුරු දෙකක අඩක් වනසේ පුරවා ඇය වෙත එක් වීදුරුවක් පෑවේය. ඕ එය ගත්තේ ඔහුගේ දෑස් වෙතින් නොමිදෙමිනි.
” සෝ .. චියර්ස් ..”
ඇය සිනාසෙමින් දෙතොල් අග්ගිසට සිනහවක් එක් කර ගත්තාය. චත්‍රට එයද ප්‍රමාණවත් ය.
” කියන්න ඉතින්…”
චත්‍ර පවසන විට අයත්මා විමතියෙන් ඔහු දෙස බැලුවාය. ඒ විමතිය හැඳින ගත් චත්‍ර එයට සිනාසී, හමුව සූදානම් කලේ තමා නිසා පැවසීමට ඇති යමක් වේනම් එය කිව යුත්තේ තමා නොවේදැයි විමසුවේය. අයත්මාද ඉන් ධෛර්යමත්ව හිස සැළුවාය. චත්‍ර අල පෙත්තක් ඇඟිලි දෙකකින් ගත්තේය. සිහිනිටද පිඟාන පෑවේය. ඕ හිස සැලුවාය.
” කොතනින්ද පටන් ගන්නේ මම ?…”
” ඕනි තැනකින්…”
එවර අයත්මා ඉදිරිපත් වූවාය. තමා මෙලෙස ගොලු වී සිටීමෙන් සිදුවීම ගලා යන්නේ නැති වග ඕ ක්ෂණයක කල්පනා කර තිබුනාය.
” ඔයාට එදා දවස ගැන මොකක්ද තියෙන මතකේ අයූ ?…”
චත්‍ර දෙපා ගල් කරගෙන ඇසුවේය. දෙපා ඉතා තරයේ පොළවට තද කරගෙන ආතතිය ඇයට නොපෙන්වා සිටින්නට උත්සාහ කලේය.
අයත්මා අල පෙති දෙකක්ම මුවට රුවා ගත්තාය.කෙටි, එහෙත් ස්තාවර සුසුමක් හෙලුවාය.
” කලු පාට වළාකුලක් අස්සෙන් මතුවුන රිදී ඉරක් දැක්ක දවසක් ..”
අයත්මාට තමා එවැන්නක් ගලපා ගත්තේ කෙලෙසද කියාවත් විශ්වාසයක් තිබුනේ නැත. එහෙත් චත්‍රගේ මඟ හැරීමට හේතුව ඔහුගේ සිතෙහි ඒ දිනය පිලිබඳව වන පසුතැවීම නම්, දැන් තමා ඉන් මිදී ඇති වග ඔහුට ඇඟවිය යුතු වග ඕ තනිවම කල්පනා කර තීරණය කර තිබුනාය.
චත්‍ර උන්නේ දෑස් ව්සල් කරගෙනය.
” ඒක ඇක්සෙප්ට් කරන එක ලේසි වුනේ නැහැ. මං කවුන්සලින් ගියා දිගටම.. මං කල්පනා කලා ඇයි ඔයාට එහෙම වෙන්න වුනේ කියලා… මං දන්නවා, ඔයා සිහියෙන් උන්නා නම් මගේ ළඟටවත් නේන බව මම දන්නවා.. එදා ඔයාට තරහ යන්න ඇති.. මම ඔයාව නිග්ලෙක්ට් කලෙත් ලේසි විදියෙන් නෙවෙයි.. මං කියන්නේ ඔයා කරන්න ගිය දේ හරි කියල නෙවෙයි… ඒක මට ප්‍රශ්නයක් නෑ කියලත් නෙවෙයි.. ඒත් මට දැන් තේරෙනවා කියලා…. දැනෙනවා කියලා… ඔයාට ඕනි වුනේ මට රිද්දන්න නෙවෙයි කියලා … ඔයා යකෙක් වුන තත්පර ගාන මට දරාගන්න තරම් හයියක් දැන් තියෙනවා කියලා…”
ඕ වයින් උගුරක් බීවාය. සෝස් ස්වල්පයක තවරාගත් අල පෙත්තක් මුවට රුවා ගත්තාය.
උන්නේ ඉවතක බලාගෙනය. කියන්නට බොහෝ දේ සැලසුම් කරගෙන ආවා වුවද දැන් ගොලුවී ඉන්නේ චත්‍රය .
| අපේක්ෂා ගුණරත්න |