ප්‍රේමයේ අභිමන් -06

ඒ රාත්‍රියේ අපරාජිතා රත්මල්ගොඩ නිදි ලැබුවේ කඩින් කඩ ය. කුමක් හෝ හද දවනා හීන ඡායාවකින් ඇය තිගැස්සී අවදි වූවා ය. බෙඩ් සයිඩ් කබඩ් එක මත තියා ගෙන ඉන්නා කුඩා මැටි බෝතලයෙන් ඇය කිහිප වරක් ම උගුර කට තෙමා ගත්තා ය. තනිකම කියන්නේ කෙතරම් කටුක කටුවක් දැයි වටහා ගන්නට නම් තනි විය යුතු ය.

ඇය තනි වූයේ දික්කසාදය නිසා නොවන බව අපරාජිතා විශ්වාස කරයි. විවාහය තුළදීත් ඇය තනි වී සිටියා ය. තනිකම කියන්නේ කාලයක් තිස්සේ හුරු පුරුදු දෙයකි. නමුත් ඒ මානසික තනිකම ද අභිබවා යන කීරි ගැස්මක්, ශාරීරික ව තනි වීම තුළින් දැන් ඇය අත්විඳිමින් සිටී. තනි වීම ගැහැනු හිතක් සවිමත් කරන බව ඇත්ත ය. නමුත් ඒ සවිය අයිස් පතුරක් වාගේ ය. ඕනෑ ම මොහොතක කඩා ගෙන වැටිය හැක.

ජීවිතයෙන් දශක හතරක් ගෙවා ආ ගැහැනියක ලෙස කුළී නිවසක් තුළ තට්ට තනි වීම යනු හද පාරන සිදුවීමකි. අපරාජිතා ට දැන් උවමනා ඒ බව නො සිතා සාමකාමී සන්සුන් දිවියකට එළඹෙන්නට ය. ජීවිතයෙන් දශක දෙකක් ම වෙහෙසකර බහින්බස් වීම් ද, සිත් රිදවා ගැනීම් ද, රණ්ඩු දබර ද, කඳුළු ද සුසුම් ද නොගැලපීම් ද සමග අපරාදේ ගෙවී ගියේ ය. ඒ පරිච්ඡේදය එතනින් නවතා තබා අලුත් පිටුවක් පෙරළන්නට ඇය ට උවමනා වී තිබේ. එහි පෙර කී කිසිත් නැත. ඇත්තේ නිහඬ සන්සුන් බව ද බලාපොරොත්තුවේ උණුහුම ද ප්‍රහර්ශයේ සිසිල ද පමණකි. නමුත් යටි හිතේ දශක දෙකක් තිස්සේ තැන්පත් වී පැවතියා වූ සුන් බුන්, නින්දේ දී හිත මතුපිට පැමිණෙන එක වලකා ලිය නො හැකි ය. 

අඳුර හරියට ම දුරු වී යන්නට ද පෙර අපරාජිතා නැගිට ගත්තා ය. මේ අලුත් දවසේ, පෙර දා රාත්‍රියේ අරවින්ද සමග ඇති වූ කතා බහ හිතේ අඳුරුම මුල්ලකට ඔබා තබන්නට ඇය ට ඕනා විය. ඕ ස්ප්‍රේ ගන් එකට වතුර පුරවා ගෙන අවුදින් කැක්ටස් වල කුඩා බඳුන් වල පාංශු කොටසට වතුර ස්ප්‍රේ කළා ය. බැල්කනියට පෙනෙන හිමිදිරිය හරි ලස්සන ය. කපුටු හා ගිරා රෑන් හඬ නගමින් රංචු පිටින් එක ම පැත්තකට ඉගිල යති. නැගෙනහිර අහස ලා තැඹිලි පැහැයක් දරා හිඳී. ලේන් යුවලක් බැල්කනියට එනු දැක අපරාජිතා වහා ගොස් කෙසෙල් ගෙඩියක් ගෙනවිත් බැල්කනි බැම්ම මත තැබුවා ය. බිය වී පැන ගිය ලේන් යුවල, එහි අනතුරක් නොවන බව දැන යළිදු කෙසෙල් ගෙඩිය වෙත පැමිණියහ. සතුටු සිනහවක් අපරාජිතා ගේ මුවෙහි ඇඳිණි. සතුට හොයනවා නම්, දුක් වෙවී ඉන්නට මොහොතක් හෝ නොවන තරමට විශ්වය පුරා සතුටු කාරණා ය. ලේනුන්ට ද කුරුල්ලන්ට ද විත් කෑම කා වතුර බී සිය නා  යන්නට තැනක් බැල්කනිය තුළ ඉදි කළ යුතු යයි ඇය සිතා ගත්තා ය. 

මෝල්ටඩ් මිල්ක් එකක් හදා ගෙන බැල්කනියට වී එහි රස විඳ, අපරාජිතා පැහැදුල් සිතින් සූදානම් ව පිටතට ආවා ය. මෝටර් රථය ද නොවන නිසා ඇය ජය පාර දිග ඇවිද ආවේ පයිනි. මගදී ත්‍රීරෝද රියක් හමු වී එයට අත දහා නවතා ගෙන නුගේගොඩ නාවල පාර තෙක් පැමිණියා ය. එෆ් එම් නාලිකාවෙන් ලැබී තිබූ චෙක් පත, බැංකුවේ චෙක් තැන්පත් කරනා මැශින් එක ඔස්සේ සිය ගිනුමට බැර කළ ඕ, ඒටීඑම් එකට බැංකු කාඩ් පත දමා නිකමට ගිනුම් ශේෂය විමසුවා ය. ඇය බලාපොරොත්තු වූ ශේෂයට වඩා ලක්ෂ පහක පමණ මුදලක් වැඩි බව දැනී ඕ දෑස් හකුලා ගෙන බැලුවා ය. ඒ වගේ මුදල් ප්‍රමාණයක්, ඈ වැඩ කළ කිසිදු තැනකින් ගිනුමට බැර වන්නට නොතිබූ බව ඇය යළිත් සිහිපත් කොට නිශ්චිත කර ගත්තා ය. එසේ නම් මේ බැංකුවට සිදු වූ වරදක් ද?

අරවින්ද ව ක්ෂණික ව ඇය ට සිහි විය. මේ ඔහු ගේ වැඩක් විය යුතුම යයි ඇය වහා තීරණය කළ අතර ඒ මොහොතේ ම ඔහු ට දුරකතන ඇමතුමක් ද ගත්තා ය.

අද දවස තුළ කවර මොහොතක හෝ මේ ඇමතුම එන බව අරවින්ද දැන සිටියේ ය. නමුත් එය මේ තරම් පාන්දරින් එත හැකැයි ඔහු ට සිතුණේ නැත. මේ මොහොතේ ඔහු සිය අලුත් ම මැදුරේ නින්දෙහි සිටියේ, අවදි වූයේ ඇමතුමේ හඬට ය. පිළිතුරු දීම යනු බැණුම් කන්දක් අසා ගන්නට වීම බව දන්නා අරවින්ද ෆෝන් එක පසෙකට තල්ලු කොට නැවත නෙතු පියා ගත්තේ ය. 

“මොන වදයක් ද මේ..මට එයාගෙ සල්ලි ඕන නෑ කියන එක තේරෙන්නැද්ද මන්දා”

අපරාජිතා කේන්තියෙන් තමන්ට ම එසේ කියා ගනිමින් සිය දුහුල් කෙස් වැටිය පිටුපසට තල්ලු කළා ය. නොරිස්සුම් සිතින් ම අරමුණකින් තොර ව ඕ නාවල පාර දිග පිය තැබුවා ය. අවුරුදු විස්සක විවාහ දිවියෙන් පිටමං වීමේ දී අපරාජිතා සිය සැමියා ගෙන් සත පහක හෝ වන්දියක් ප්‍රතික්ෂේප කළා ය. අරවින්ද සිටියේ අසරණ අනාථ හැඟීමකිනි. ඒ විදිහට හිස් අතින් ඇය ට යන්නට හරින එක වාවා ගන්නට ඔහු ට හැකි වූයේ නැත. නමුත් ඔවුන් දෙදෙනා වෙනුවෙන් සියල් පහසුකම් සහිත ව ඉදි කළ දෙහිවල වෛද්‍ය පාරේ නිවස පවා ඇය ප්‍රතික්ෂේප කළා ය. අරවින්ද එය ඔවුන්ගේ දියණිය අනන්‍යා නමින් ලීවේ එබැවිනි. අනන්‍යා ව එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයකට ඇතුළත් කිරීමට අරවින්ද මුදල් වියපැහැදම් කිරීම ගැන නම් අපරාජිතා වචනයකින් හෝ විරුද්ධ නොවූවා ය. අනන්‍යා යනු ඔහු ගේ දියණියයි. ඔහු ඇගේ අනාගතය පැහැදිලි කොට තැබීම ඇගේ සිතට නිවනකි. නමුත් සිය හිටපු බිරිඳ ගැන හැම මොහොතක ම අරවින්ද ගේ හිත වද වූයේ ය. ඔහු ගෙන් ඇය ට වූයේ කවදාවත් නිවැරදි කළ හැකි වරදක් නොවන බව අරවින්ද දනී. නමුත් දික්කසාදයක් අවශ්‍ය වූයේ අපරාජිතාට ම ය. ඇය ඊට බල කරමින් අරගල නොකරන්නට ඔහු ඒ තීරණය කිසි දා නො ගනු ඇත. නමුත් ඒ අවාසනාවන්ත කතාව තුළ වැඩියෙන් ම පසුතැවිලි වෙන පුද්ගලයා අරවින්ද ය. එසේ ම ලොකු ම සැනසිල්ල විඳින තැනැත්තිය අපරාජිතා ය. 

දික්කසාදය ලැබී දෙදිනකට පසු අරවින්ද ගේ නීතීඥවරයා අති විශාල වන්දි මුදලක් සනිටුහන් වූ, අරවින්ද විසින් අත්සන් කොට තිබූ චෙක් පතක් වෛද්‍ය පාරේ නිවසට ම විත් අපරාජිතා ට දුන්නේ ය..ඇය එය අතටවත් ගත්තේ නැත.

“මට එයාගෙන් සතයක්වත් වන්දි ඕන නෑ මිස්ට දිවාකර”

අපරාජිතා ගේ මුවග වූයේ මඳහසකි.

“මේක වන්දියක් නෙවෙයි”

“උසාවියෙ ලියවුණ වන්දියක් නෙවෙයි. හැබැයි වන්දියක් තමයි. අරවින්දගෙන් කියල අබ ඇටේක දෙයක් මට එපා. මොකද…මං හිතන්නෑ එයාගෙන් මට ඩැමේජ් එකක් වුණා කියල. මේ..මං හොඳට ඉන්නව”

සිය රාජකාරී දිවියේ දී විවිධාකාර මිනිසුන් හමු වී ඇති බව ඇත්ත ය. නමුත් මේ වාගේ ගැහැනියක් ඒ කිසි තැනෙක නො සිටි බව ඔහු සසල වූ සිතින් සිතුවේ ය.

අරවින්ද මේ මුදල පෙර දා ඇගේ ගිනුමට බැර කළේ, මෝටර් රථය ද ගරාජයේ වන බැවින් ඇගේ මග වියදම් වැඩි වන නිසා ය. ඇය උද්දච්ච මුරණ්ඩු ගැහැනියක බව ඔහු දනී. නමුත් දික්කසාද වූවා කියා ඔහු ට ඇය නිකං ම අත්හැර දැමිය නොහැකි ය. ඒ ඇයි කියා අපරාජිතා දනී. 

ඇය ඇවිද ගියේ නුගේගොඩ තෙත් බිම් උද්‍යානය වෙතට ය. කාලයකට පෙර තෙවසරක කාලයක් පුරා සතියකට දෙවරක් අනිවාර්යයෙන් මෙතැන පසු කොට ගිය හැටි අපරාජිතා ට සිහි විය. ඒ ඇය සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් ඇල්ෆා අධ්‍යාපන ආයතනයට, ජයනෙත්ති සර් ගේ ගණිතය පන්තියට ගිය යුගයයි. අතිශය නාගරික වූ නුගේගොඩ නගරයේ ක්ශේම භූමිය සේ සැලකිය හැකි මේ තෙත් බිම් උද්‍යානය හෙවත් වැලි උද්‍යානය යනු එදා වැලි හා ගඩොල් පිරවූ ලොරි රථ විශාල ප්‍රමාණයක් එක පෙළට නවතා තිබූ හිස් බිමයි. මිකුරියන් කිහිප දෙනෙකු සමග ඇල්ෆා එකට එන යන වාරයක් පාසා ඇය ඒ ලොරි පෙළ පසු කළේ ඒවා ගණං කරමිනි. වැලි හා ගල් ලොරි ඒ තරම් ප්‍රමාණයක් එතැන නවතා තිබෙන්නේ කුමකට දැයි ඒ දින වල ඇය දැන සිටියේ නැත. ඇල්ෆා එකේ සිට නුගේගොඩ හරහා කොහුවලට පයින් ගොස් කොහුවලින් එකසිය විස්සක නැගී පැපිලියානෙන් බැසීම එකල ඇගේ ගමන් මාර්ගයයි. වැලි ලොරි නවතා තිබූ තැන උද්‍යානයක් ගොඩ නගන පුවතින් සසල වන්නට හෝ සතුටු වන්නට අවස්ථාවක් ලැබුණා දැයි දැන් අපරාජිතා ට මතක නැත. ඒ ඇගේ ජීවිතයේ සංකීර්ණ ම යුගයයි. 

තුරු සෙවනේ නිදහස් ව ඉන්නට අවකාශ සලසා ඇති කොටසේ බංකුවක ඇය අසුන් ගත්තා ය. උදේ පාන්දර ම හිත කළඹා ගත්තේ අපරාදේ කියා ඇය ට සිතිණ. අරවින්ද ගේ බැංකු ගිනුම් අංකයක් ඇය දන්නේ නැත. නො එසේ විණි නම් දැන් ම ඒ මුදල ගෙන ඔහු ගේ ගිනුමේ බැර කරන්නට තිබිණ.

ඇය කවදාවත් ඔහු ගේ බැංකු ගිනුම් අංකයක් හෝ බැංකු කාඩ් පතක රහස්‍ය අංකයක් හෝ දැන නොසිටි බව අපරාජිතා ට සිහි විය. ඇය ට ඒවා ගැන උනන්දුවක් වූයේ ද නැත. ඒ සියල්ල බලා කියා ගන්නට ඇත්තේ ඇය ය. සමින්දි ය.

ලොකු හුස්මකින් පෙනහලු පුරවා ගන්නා ගමන් අපරාජිතා හිස මඳක් සලා ඒ අතීත සුන් බුන් හිතෙන් පලවා හැරීමේ උත්සාහයක් ගත්තා ය. දැන් ඇයට ඕනා ඔය සුන් බුන් වලින් තොර සන්සුන් ජීවිතයකි. ඕ නැගිට ව්‍යායාම පථය අයිනෙන් ඇවිද යන්නට වූවා ය. ඇය පසු කොට එක වර ඉදිරියට දිව ගියේ සසංක විදානගමගේ ය. ඈ පසු කොට යත්දී ඔහු ට සුවදායී සුවඳක් දැනිණ. දුවන ගමන් ම පසු පස හැරී බලන්නට සිත් වී ද එය අවිනීත කමක් සේ තරුණිය සිතාවියි යන හැඟීමෙන් ඔහු එසේ නොකළේ ය.

සසංක සතියකට දවසක් දෙකක් උදේට නුගේගොඩ තෙත් බිම් උද්‍යානයේ ව්‍යායාම පථයෙහි දිවීම පුරුද්දක් කර ගෙන සිටියේ ය. ඉන් පසු ගෙදර ගොස් සූදානම් ව රැකියා ස්ථානයට යයි. 

අපරාජිතා හෙමිහිට ඇවිද යළි නාවල පාරට එන විට, දම්පාට වොක්ස්වැගන් රිය ඇය පසු කොට වේගයෙන් ඉදිරියට ඉගිල ගියේ ය.

“අන්න අරය”

ඇගේ සිත ලොකු උනන්දුවෙන් ඒ දෙස බැලුවේ ය. 

“පුතා”

මල් යායක් හදවත පුරා පිබිදුණා වන් සතුටක් ඇති වෙන්නට හේතුවක් ඇය දැන සිටියේ නැත. නමුත් ඇගේ සිත එහෙම බව ඇය දැන සිටියා ය. ළදරුවෙකු සෙයින් සතුටු වන්නට ලොකු දෙයක් ඕනෑ නැත. තවමත් හැබැහින් දැක නැති ගෙදර හිමිකරු ගේ මෝටර් රථය මේ විදිහට හදිසියේ පාරේ දී දැකීම, මහ මග දී අලියෙකු දැකීම, කෝච්චියක් දැකීම වැනි ක්ෂණික ප්‍රීතියක් ඇති කරනා හේතුවක් විය. 

අපරාජිතා අවන් හලකට ගොඩ වී කිරිබත් කැබැල්ලක් මිල දී ගෙන ගෙදර ආවා ය. ඇය එන විට දම් පාට වොක්ස්වැගන් රිය වූයේ නැත. ඇය ලුණු මිරිස් සමග කිරිබත් කැබැල්ල කා ඉඟුරු දමා තේ එකක් බීවා ය. උදේ වරුව ම ලියන්නට හිතා ගෙන හිටියාට වරින් වර කුස ගින්නක් ඇය ට කරදඑ කරන්නට විය. තනි වීමට අදාල කුස ගින්නක් බව ඇය දැන සිටි අතර, විට්න් විට පළතුරු ද චීස් කැබලි ද රට ඉඳි ද කමින් නාට්‍ය පිටපතක් ලියා ගත්තා ය. දවල්ට හාල්මැස්සන් තෙල් දමා පරිප්පුවක් උයා කීරි කැකුළු හාලේ බත් එක්ක බඩ පැලෙනකම් කෑවා ය. මෝටර් රථය නැති වීම යනු තනි වූ ඇය ගේ කකුලක් කැඩී යාම හා සමාන ය. අපරාජිතා ගරාජයේ අතුලට කතා කොට රියෙහි තත්වය විමසා සිටියා ය. ඔහු එය දෙන්නට පොරොන්දු වූයේ පසු දාට ය. 

කලින් වැඩ නිම වී දේශිකා උඩහමුල්ලට ආවා ය.  ඇය ආවේ ඒ රාත්‍රිය යෙහෙළිය ගේ නවාතැනේ ගත කරන්නට සිතා ගෙන බියර කෑන් දෙකක් ද තෝසේ හා උළුඳු වඩේ ද ඇපල් ද ගෙන ය. ඔවුහු තෝසේ කමින් ‘මයි ලිට්ල් බ්‍රයිඩ්’ චිත්‍රපටය නරඹමින් සිටියහ. අඳුරත් එක්ක ගෙදර ආ සසංක, මිදුලේ වියළී යමින් තිබි පැළ වලට වතුර දමා තිබෙන බවක් දුටුවේ ය. ඔහු මඳක් එහි නතර වූයේ ය. අම්මා ඉන්න කාලයේ මේ මිදුල මල් උයනක් සේ වූ බව සසංකට සිහි කර ගත හැක. නමුත් ඇය සේ ම පියා ද ජීවිතය හැර යාමෙන් පස්සේ, මල් වලට ද ඒ ඉරණම ම අත් වූයේ ජීවිතයේ අතිර බව පසක් කරමිනි. මල් වලට ආවතේව කරන්නට තරම් වෙලාවක් සේ ම ඒවා ගැන උනන්දුවක් ද සසංකට වූයේ නැත. වැහි කාලයට ඒවා දලු නගා වැඩුණේ ය. පායත්දී මැලවෙන්නට ද හේ බාන්නට ද වියළී මිය යන ඒවා එසේ වන්නට ද ඇත. ඉතිරි වෙන යමක් වී නම් ඊළඟ වැස්සේ දී යළි පණ රැක ගත්තේ ය. ඒ මල් වල ජීවිත කතාව එසේ ය. 

නමුත් වැස්සකින් තොර ව මල් පාත්ති තෙමී ඇති විට තරුණයා ගේ හිතේ අම්මා ආවා වන් ස්නේහී හැඟුමක් තැවරී ගියේ ය. නියත වශයෙන් ම මේ උඩු මහලේ තැනැත්තිය ගේ වැඩකැයි ඔහුට හිත කීවේ ය.

“තැන්කූ”

සසංක ඉක්මනට වට්සැප් පණිවිඩයක් යැව්වේ ය. ලැප් ටොප් පරිගණකයේ මයි ලිට්ල් බ්‍රයිඩ් දර්ශයෙන් නෙතු ඉවතට නො ගනිමින් ම අපරාජිතා දුරකතනය අතට ගත්තා ය. ඒ පණිවිඩය දැක ප්‍රශ්නාර්ථයෙන් ප්‍රශ්නාර්ථ ලකුණක් ම යවා ලැප් ටොප් තිරය දෙස බලා සිටියා ය. දෙවන පණිවිඩය සේ ආවේ පහළ මල් පාත්තියක සේයා රුවකි. තවමත් එහි තෙත පාට තිබිණි. අපරාජිතා ට සිනහ ගියේ ය. 

“මොකෝ…”

දේශිකා වඩේ කෑල්ලක් කටට ඔබමින් යළිදු සිනමා පටයෙහි නෙතු රැඳවූවා ය. 

“යූ ආ මෝස්ට් වෙල්කම් අංකල්”

සසංකට සිනා ගියේ එය දුටු විට ය. වරක් උඩු මහල දෙස බලා ඔහු සිනහ වෙමින් ම ගෙතුළට වැදුණේ ය.

රෑ වන තුරු චිත්‍රපට බලමින් හිඳ අපරාජිතා යළි අවදි වූයේ මුළු ගේ ම දුමින් පිරී ගොස් ඇති බවක් දැනී ය. කලබල වී නැගිට ගත් ඇය ට කැස්සක් හැදිණ. දේශිකා ද කලබල වී වගේ නැගිට ගත්තා ය.

“ගිනිගන්නවද…”

ඔවුන් දෙදෙනා ම පිය ගැට පෙළ දිග දිව එත්දී දුටුවේ මිදුලේ ගිනි ගොඩක් ගසා ඇති බවයි. ඒ දුමෙන් උඩු මහල පිරී තිබිණි.

“පිස්සුද ආ මේ වගේ වැඩ කරන්න…”

අපරාජිතා වයින් බෝනික්කියක සේ නොසන්සුන් ව ඒ මත යමින් කෑ ගැසුවා ය. නමුත් දම් පාට වොක්ස්වැගන් රිය එහි වූයේ නැත. ඇය උඩු මහලට දිව ගොස් ඔහු ට ඇමතුමක් ගත්තා ය.

“හරි වැරදියි මේ වැඩ හොඳද…එහෙම ගිනි ගොඩක් ගැහුවහම උඩ ඉන්න මිනිස්සුන්ට හුස්ම ගන්න බැරි තරං දුම පිරෙනව කියල මිස්ට විදානගමගේල නොදන්නව වෙන්න බෑනෙ..”

වෙඩි පුපුරනවා වන් ඒ හඬින් මඳක් වික්ශිප්ත ව ගොස් සසංක සිහි එළවා ගත්තේ ය.

“ඕගොල්ලො ගෙදර ඉන්නවද..කා එක තිබුණෙ නැති නිසා මං හිතුව නෑ කියල. වත්තෙ වැඩ කරන සීයට මං කියල ආව කොළ ටික අතුගාල පුච්චල දාන්න කියල. සොරි”

ඔුහු සැබෑ පසුතැවිල්ලකින් කීවේ ය. ඒ විදිහට කතා කළ එක ගැන ඉසිහින් පසුතැවීමක් අපරාජිතා ට ද දැනෙන්නට විය.

“ඕකේ. ඉට්ස් ඕකේ”

ඇය දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. දේශිකා හඬ නගා සිනහ වූවා ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content