හන ඇට වල මේතරම් ගුණ තියනවා කියලා ඔබ දැන සිටියාද?

හන ඇට එහෙමත් නැත්නම් flaxseed ගැන කතා කරන්නයි smart lady අපේ අද සූදානම. 

ප්‍රෝටීන්, ෆයිබර්, Omega 3 මේද අම්ල අන්තර්ගත වෙලා තියෙන මේ හන ඇට ප්‍රධාන වශයෙන්ම සමහර පිළිකා වර්ග ඇතිවීම වළක්වන්න, ශරීරයේ නිවැරදි බර පවත්වා ගන්න වගේම රුධිරයේ කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය අඩු කරන්නත් උපකාරී වෙන ඉතාම ගුණදායක ඇට වර්ගයක් විදිහට හඳුනාගන්න පුළුවන්. 

කිරි රසට හැපෙන මේ හන ඇට එහෙමත් නැත්තන් flaxseed ස්මූති, පෑන් කේක්, එළවළු බර්ගර් සහ ඕට්ස් වගේ ආහාරත් එක්ක පිළිඟැන්වීම් බොහෝ විට කරනවත් අපි දැකල තියෙනවනේ. 

ඉතිං මේ හන ඇට වලින් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද දැනගන්න කලින් එහි අන්තර්ගත පෝෂණ සංඝටක මොනවද කියල අපි මුලින්ම බලමු. 

හන ඇට 7g ක, 

කැලරි 37 ක්, කාබ්ස් 2g ක්, මේදය 3g ක්, ෆයිබර් 2g ක්, ප්‍රෝටීන් 1.3g ක් සහ දෛනික කොපර්, මැග්නීසියම්, පොස්පරස්, සෙලිනියම්, සින්ක්, විටමින් B6, අයන් සහ ෆෝලේට් අවශ්‍යතාවයන්ගෙන් පිළිවෙලින් 9%, 8%, 7%, 4%, 3%, 3%, 2%, 2% ක් සහ 2% කුත් අඩංගු වෙනවා. 

පරිවෘත්තීය ක්‍රියාකාරකම් සහ සෛල වල නිසි ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න උදව් වෙන විටමින් B සංඝටකයක් වන තයමීන් වලින් වැඩි ප්‍රතිශතයකුත් හන ඇට වල අන්තර්ගතයි. 

එහෙනම් අපි ඊළඟට බලමු දැනට හෙළිදරව් කරගෙන තිබෙන හන ඇට වලින් අපිට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවද කියල?

පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරයි

Omega 3 / ඔමෙගා 3 මේද අම්ල අඩංගු නිසා හන ඇට වලට පියයුරු පිළිකා සහ වෙනත් පිළිකා කීපයක් ඇතිවීමේ අවදානම අඩු කරන්නත් ඒවාගේ වර්ධනය සීමා කරන්නත් හැකියාව තිබෙන බව ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ කීපයකින් සනාථ කරගෙන තිබෙන බව පරීක්ෂකයන් සොයාගෙන තිබෙනවා. 

රුධිර පීඩනය ක්‍රමවත් කරයි

රුධිර පීඩනය ක්‍රමවත් කරන්න, ප්‍රදාහ තත්වයන් වළක්වා ගන්න වගේම නරක කොලෙස්ටරෝල් එහෙමත් නැත්තන් LDL මට්ටම අඩු කර, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම යාමනය කරන්නත් හන ඇට වල අන්තර්ගත Omega 3 මේද අම්ල ඇතුළු අනෙකුත් සංයෝග උපකාරී වෙන බව පරීක්ෂකයන් සඳහන් කරනවා. 

ප්‍රදාහ තත්වයන් වළක්වයි

පාකින්සන් වැනි ප්‍රදාහ තත්වයන් ඇතිවීමේ අවදානම අඩු කරන්නත්, ඒ මඟින් හෘදයාබාධ වැනි හදවත් රෝග ඇතිවීමේ අවධානම අඩු කරන්නත් හන ඇට වල අඩංගු පෝෂක වලට හැකියාව තිබෙන බව පර්‍යේෂකයන් සඳහන් කරනවා. 

මේ සියළුම ප්‍රතිලාභ ලබාදීමේ හැකියාව පිළිබඳ පර්‍යේෂණ තවදුරටත් සිදුවෙන නිසා හන ඇට ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමේදී ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්නත් (විශේෂයෙන්ම ගර්භණී මව්වරු සහ කිරිදෙන මව්වරු) හන ඇට කියන්නෙ මැජික් ඇට වර්ගයක් බව නොසිතන්නත් ඔබ සැළකිලිමත් විය යුතුමයි. 

ඒ නිසා හන ඇට වගේම ඔබ ගන්නා අනෙකුත්  ආහාර වල ගුණාත්මක බව සහ ඔබේ ජීවන රටාවේ යහපත් බව පවත්වා ගැනීමත් ඉතාම වැදගත්.

එහෙනම්, මේ වගේම වැදගත් තවත් ලිපියකින් නැවත ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි අද සමුගන්නවා.

සටහන – දුලානි නවෝද්‍යා  

Related Articles

Don't Miss


Latest Articles