තේ බෑග් වල තේ බොන්න හොඳද?

කාලෙකට කලින් ආපන ශාලා සහ වැඩි පිරිසක් සහභාගී වෙන අවස්ථා වලදී විතරක් භාවිතයට ගත්ත තේ බෑග් අසුරා තැබීමේ පහසුව, අරපිරිමැස්ම සහ භාවිතා කිරීමේ පහසුව වගේ කාරණා නිසා අද වෙද්දි අපි බොහෝදෙනෙක් නිවසේදී වුනත් බොහෝවිට භාවිතා කරනව. 

නමුත්, පසුගිය කාලයේදී මේ තේ බෑග් භාවිතා කිරීමේදී ඇතිවෙන්න පුළුවන් අහිතකර සෞඛ්‍ය බලපෑම ගැන නිතරම කතා බහට ලක්වුණා. 

එහිදී වැඩි අවධානයක් යොමුවුණු කරුණු කීපයක් ඔබත් එක්ක බෙදාගන්න smart lady අපි අද තීරණය කරා. 

එහෙනම්, අපි බලමු ඒ මොනවද කියල? 

තේ බෑග් හදල තියන්නෙ මොනවගෙන්ද ? 

බොහෝ තේ බෑග් හදන්න පාවිච්චි කරන්නෙ නයිලෝන්, ප්ලාස්ටික් සහ බ්ලීචිං යෙදූ කඩදාසි බවයි මේ ගැන අදහස් දක්වන පුද්ගලයන් සඳහන් කරන්නේ. 

ඒ වගේම තේ බෑග් බොහොමයක් සීල් කිරීම සඳහාත් විවිධ ගම් භාවිත කරන බවයි ඔවුන් තවදුරටත් ඒ ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ.

ඒ නිසා තේ බෑග් වල ගුණාත්මක බව ගැන ඔබේ අවධානය යොමු කරද්දී ඒවා සාදා ඇති අමුද්‍රව්‍ය වල ගුණාත්මක බව ගැන මුලින්ම ඔබටත් සිතා බැලීමේ හැකියාව තිබෙනවා. 

මුල් කාල වකවානුවේ නිපදවූ තේ බෑග් කඩදාසි භාවිතා කර නිපදවුවත්, මේ ප්ලාස්ටික් ආශ්‍රිත අමුද්‍රව්‍ය භාවිත කර ඉක්මණින් දිය නොවන වර්ගයේ තේ බෑග් නිපදවීමේ ප්‍රවණතාව මෑතකදී ආරම්භ වී ඇති බව දැකගන්න පුළුවන්. 

මේ ප්ලාස්ටික් සංයෝග වල අඩංගු කුඩා මයික්‍රොප්ලාස්ටික් අණු අපිට නොපෙනීම අපි පානය කර තේ කෝප්පයට මුසු වීමේ ඇති  අවධානම ගැනත් මේ සංවාද වලදී නිතරම කතාබහට ලක්වුණා. 

තේ බෑග් නිපදවීම සඳහා කඩදාසි කොළ භාවිත කරත් ඒවාත් කඩදාසියේ වර්ණය වෙනස් කිරීම සඳහා බ්ලීචිං වැනි රසායනික ද්‍රව්‍ය යෙදූ කඩදාසි කොළ නිසා එහි ඇති අවධානමත් බැහැර කළ නොහැකි බවත් සඳහන් වෙනවා.

තේ බෑග් විෂ සහිතද? 

තේ බෑග් භාවිත කිරීමේදී එක් තේ කෝප්පයකට මයික්‍රොප්ලාස්ටික් අණු බිලියන 11.6 ක් සහ නැනෝප්ලාස්ටික් අණු බිලියන 3.1ක් පමණ තේ වල උණුසුම් ජලය සමඟ මුසුවී ශරීරගත වීමේ අවධානමක් තිබෙන බවත් හඳුනාගෙන තිබෙනවා. 

ඊට අමතරව නයිලෝන් සහ සීල් කිරීමට භාවිත ගම් වර්ගත් මේ අවධානම තවත් වැඩි කරන්න හේතු සාධක වෙන්න පුළුවන් කියල සඳහන් වෙනවා. 

මේ සංයෝග ශරීරගත වී අපේ ශරීරයේ නීරෝගී ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරන්න වගේම පාරිසරික දූෂණය සඳහාත් හේතු වෙන්න පුළුවන් බව හඳුනාගෙන තිබෙනවා. 

මේ සංයෝග වලින් ඇතිවන සෞඛ්‍ය බලපෑම  ගැන සනාථ කිරීමට තවත් පරීක්ෂණ අවශ්‍ය වුවත් තේ බෑග් වෙනුවට තේ කුඩු හෝ තේ කොළ පුරුදු පරිදි වත්කර පානය කිරීමත් නිතිපතා තේ බෑග් පරිහරණය නොකිරීමත් වඩා යහපත් බවයි පර්‍යේෂකයන් පෙන්වා දෙන්නෙ. 

ඉතිං, අපේ පහසුව සඳහා අපි තෝරාගන්න නිෂ්පාදන වල ගුණාත්මක බව ගැන අපි වඩා සැළකිලිමත් විය යුතු බව ඔබට නැවත මතක් කරමින් අද ලිපිය අපි අවසන් කරනවා. 

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles