මියුරු පෙම් වසන්තේ – 64

ඩී එන් ඒ පරීක්ශණයේ ප්‍රතිඵල ආවේ වසන්තා කියූ වචන ඇත්තක් කරවමිනි.

“ඒ ක්ලීටස්ගෙ ලමේක් උනානම් අම්මා හිතනවද මම ඒ දරුවව ඔහේ තනියම පිට උන් එක්ක දාලා ඒවි කියල? මං දාලා ආවෙ ඒකි විල්සන්ගෙ ලමේක් හන්දා. මං විල්සන්ව බැඳල වරදක් කරගත්ත එක ඇත්ත. ඒ මිනිහගෙ ලමේක්වත් ලඟ තියන් හදලා මුලු ජීවිත කාලෙම මගෙ වැරදිවල ප්‍රතිඵල දැක දැක දුක් විඳින්න මට උවමනාවක් තිබ්බේ නෑ.

අම්මා තමන් ගැන එසේ කිව්ව බව දැනගන්නට ලැබීම නදීගේ හිත රිද්දන්නට හේතු වුණා නොව ජීවිතය දිහා උපේක්ශාවෙන් බලන්න තවත් හේතු කාරණා ඇතිකරවන්නට හේතුවක් විය. 

“අම්මා කෙනෙක්ට දරුවෙක්ට වෛර කරන්න පුලුවන්ද කියන්න මම දන්නෙ නෑ පුතේ. වසන්තා මොන වරද කරත්, මට තාමත් ඒකි ගැන එහෙම තරහකින් හිතන්න බැරි මම හරිහමං අම්මෙක් හන්දනම් මට ඒක ගැන සන්තෝසයක් මිස දුකක් නෑ. උඹ ජීවිතේ වැඩිම කාලයක් හැදුනෙ මං ළඟ හන්දා මං බලාපොරොත්තු වෙනවා උඹත් අම්මෙක් වෙච්ච දවසට මං වගේ හිතාවි කරාවි කියල. වසන්තා උඹේ අම්මා වගේ නොවුණට. 

මං එහෙම හිතන එක කොච්චර හරිද කියන්න මම දන්නෙ නෑ. මොකෝ වසන්තා හැදුණෙත් මං ළඟ හන්දා. ඒ උනාට අන්තිමේ ඒකි කරේ මට කවදාවත්ම කරන්න බැරි දෙයක් නෙ” චන්ද්‍රකාන්ති කිව්වේ අමයුරු ගෙදරටම ඇවිත් මේ විත්තියක් කියා ගියයින් පස්සේය.

ඩී එන් ඒ පරීක්ශනයෙන් ආ ප්‍රතිඵල මල්ලිගේත් නදීගේත් පැත්තෙන් හිතද්දී අමයුරුට සතුට ගෙන දෙන්නට හේතුවක් වෙච්ච කාරණාවක් උනත් තාත්තා පැත්තෙන් හිතද්දී තමන් සතුටු වෙන්න ඕනද දුක් වෙන්න ඕනද කියා පැහැදිලි කරගන්නට අමයුරුට නොහැකි විය. මේ වනාහී ඒ තරම්ම සංකීර්ණ කාරණාවකි. අමයුරු ක්ලීටස් අතේ ඩී එන් ඒ වාර්තාව තබා ඒ බව කියන්නට වචන ගලපගත්තේත් ඒ තරම්ම අමාරුවෙනි.

“මම දන්නෙ නෑ තාත්තෙ මේ රිසල්ට් එක තාත්තට සතුටක් අරං එයිද දුකක් අරන් එයිද කියල. මල්ලිගෙයි නදීගෙයි පැත්තෙන් ගත්තොත් ඒ දෙන්නට එකතුවෙන්න බාධාවක් දැන් නෑනෙ කියල මම මුලින් හිතුවත් තාත්තා කාලයක් තමන්ගෙ කෙල්ලගෙ අම්මා එක්ක යාලුවෙලා හිටියා කියන එක මල්ලිට කොහොම දරාගන්න පුලුවන් වෙයිද කියන්න මම දන්නෙ නෑ. අනික ඒ වගේ දෙයක් දැන් දැනම එක ගෙදරක එක පවුලක් වගේ අපිට ජීවත් වෙන්න පුලුවන් වෙයිද කියන්නවත් මම දන්නෙ නෑ.

මල්ලිගෙන් මේ විත්තිය සහමුලින්ම හංගගෙන ඉන්න අපිට පුලුවන් උනත් තාත්තයි නංගියි ඇත්ත දන්න එක ඔය දෙන්නට මාමායි ලේලියි වගෙ ඉන්න එක ලේසි කරන්නෙ නෑනෙ. හිතේ කහටක් තියාගෙන එකට ජීවත්වෙන එක කොච්චර අමාරුද කියල අවුරුදු විසි ගානක් තිස්සෙ මේ වගේ රහසක් හිතේ තියන් උන්නු තාත්තට මම අමුතුවෙන් කියන්න ඕන කියල මම හිතන්නෙ නෑ. හිත රිදෙන්න හරි තේරුම්ගන්න හරි තාත්තා මල්ලිට ඇත්ත කියන එක හොඳයි කියල තමයි මම හිතන්නෙ.

මල්ලි මොන විදියට ඒක පිළිගනීවිද කියන්න මම දන්නෙ නෑ. ඒත් අම්මවත් තාත්තවත් නැතුව හැදිච්ච කෙල්ලෙක්ට අපේ මල්ලි වගේ ඇත්තටම හොඳ, ආදරේ වෙනුවෙන් පණ දෙන්න උනත් ලෑස්ති කොල්ලෙක්ව ලැබෙන්න ඕන තාත්තෙ. තාත්තල එක්කහු වෙලා කරපු වැරදි වලට අඩුම ගාණෙ ඒ විදියට හරි වන්දි ගෙවන්න” කියා අමයුරු කාමරයෙන් නික්ම යද්දි ක්ලීටස් අන්ධකාරය අස්සේම කල්පනා කරමින් උන්නේ තමන්ගේ අතේ තියෙන මේ රිපෝට් එකේ ලියවී තියෙන්නේ තමන්ගේත් තමන්ගේ දරුවන්ගේත් අනාගතයේ සටහන බව ක්ලීටස් දනී. ඒ අනාගතය තමන් සතුටෙන් ඉන්න ඕන එකක්ද, එහෙම නැත්තම් දරුවෙන් සතුටෙන් ඉන්න එකක්ද කියා නොසිතා ඉන්න ක්ලීටස්ට බැරිය. 

“අපේ කාලෙ දැන් ඉවරයෛ, අපි අපේ කාලෙ වැරදි විදියට විනෝද වෙච්ච හන්දා අන්තිමේ ඒවට වන්දි ගෙවන්න උනේ අපෙ දරුවන්ට කියල හිතලා මම මියුරුට ඇත්ත කිව්වත් මටවත් මියුරුටවත් ඉන්පස්සෙ ජීවිතේ කවදාවත්ම සන්තෝසෙන් ඉන්න පුලුවන් වෙයිද?” කියා ක්ලීටස් හිතුවේ ඒ නිසාය.

මේ රහස් කවදා හෝ එලිවෙන්නට නියමිත ඒවාය. ඒව හංගගෙන ජීවත්වෙන එක කොච්චර අමාරුද කියා අමුතුවෙන් කියන්න ඕන නැත. අවුරුදු විසි ගාණක් තිස්සේ හංගගෙන උන්නු වසන්තා සම්බන්ධ රහස එලියට ආවේ නොහිතපු වෙලාවක නොහිතපු විදියකිනි. එහෙම තැනක මේ කතාව මියුරු කවදාක හෝ මේ ගැන දැනගන්න එකක් නැතැයි කියා හිතන්න විදියක් නැත. 

මේ ගැන දැනගන්න එක නිසාම මියුරුගෙත් තමාගෙත් පිය පුතු සම්බන්ධය බිඳෙන බව ඇත්තක් උනත් තමන්ට අහිමිවෙච්ච සැබෑ ආදරය තමන්ගේ දරුවාගේ බිඳිච්ච හිත සනසවන්නට හේතුවනු ඇතැයි කියා ක්ලීටස් ඒ කතාව කියන එක තවත් පමා කරන්න හිතුවේ නැත.

ධම්මිකා මියුරුගෙන් මේ බව දැනගන්න එක සක්සුදක් සේ පැහැදිලි හන්දාම ක්ලීටස් මේ ගැන මුලින්ම ධම්මිකාට කිව්වේ නදීගේ ආරක්ශාව වෙනුවෙන් තමාත් අමයුරුත් ඉන්න විශ්වාසය හිතේ තිබිච්ච හන්දා මෙන්ම ධම්මිකාට කිසිසේත්ම නදීට කරදරයක් කරන්න ඉඩක් නැති බවට තිබ්බ විශ්වාසය හන්දාමය. ක්ලීටස් බලාපොරොත්තු වෙච්ච විදියට ධම්මිකාට මෙච්චර දවසක් පැළඳගෙන උන් වෙස් මූණ ගලවා හැපින්න වෙන්නට මහ වෙලාවක් ගියේ නැත.

“තමුසෙ ඒකිගෙ අම්මා එක්ක නටපු නාඩගං මේ කොලේක තියෙන රිපෝට් එකක් හන්දා මට අමතක කරන්න පුලුවන් කියලද තමුසෙ හිතුවෙ? තමුසෙට ඕන තමුසෙගෙ පුතත් ආතක් පාතක් නැති තැනකින් ආව එකියක් කරගහන්න කම් මම ඇස් කන් පියාගෙන බලන් ඉන්නද?

හිතන්න එපා ක්ලීටස් මම මේ වතාවෙනම් මේකලේසියෙන් අතාරීවි කියලා. කලින් වතාවෙ ඒකිව වචනෙන් බයගන්නලා පන්නල දැම්ම එක ගැන මම තාම පසුතැවෙනවා. මට තිබ්බෙ ඒකිව තොලොංජි කරලම දාන්න. වනචර හැත්ත. ඕකි වගේම වෙන්නැති ඕකිගෙ කෙල්ලත්. නෑ නෑ නෑ. මම ඉඩ දෙන්නෙ නෑ මගෙ පුතාට ඔය වනචර ගෑණු එක්ක පැටලෙන්න. දකින දකින මිනිස්සු ඉස්සරහ අම්මා රෙදි ගැලෙව්ව වගේ ඕකිත් සල්ලිකාර කොල්ලො ලඟ ඕන දෙයක් කරනවැති.

තමුසෙට් මේ පවුලෙ නම්බුව ගැන වගක් නැති උනාට මට තියෙනවා. මේව අපේ අම්මල තාත්තල මහන්සිවෙලා ගොඩ නගපු දේවල්. තමුසෙගෙ තියෙන වනචර කම් වලට ඒව සුන්නද්දුලි වෙන්න මං ඉඩ තියන්නෙ නෑ.

මං ඕකිව මරලා හංගනවා” කියා ධම්මිකා පුපුරා හැලෙද්දී ක්ලීටස් තිගැස්සුණේ පුස්තකාල කාමරයේ දොර අද්දරට වී දෙනෙත් විසල් කරගෙන තමන් දෙසත් ධම්මිකා දෙසත් බලා උන් මියුරුව දැක ය.

ඒ දෙනෙත්වල තිබුණේ කුතුහලයකි. වේදනාවකි. සියල්ල අහිමි වුණ හැඟීමකි.

මේ ඇවිත් තියෙන්නේ හීන් සීරුවේ කියන්න උන් කතාවක් කලබලයෙන් කියන්න වෙන මොහොතක් බව ක්ලීටස් තේරුම්ගත්තේ මියුරුගේ දෙනෙත් අස්සේ සැඟවී තිබුණ ඒ හැඟුම් සමුදාය වටහා ගන්න ගමන් ය.

මියුරුත් තමනුත් සහෝදරයන් නොවන බව එක මොහොතකට හිතට සැනසුමක් ගෙන දෙන්නට හේතුවක් වුණත් මේ ඇත්ත මියුරුට නොකියා තමන්ට එකතු වෙන්න හැටියක් නොමැති බව මතක් වෙද්දී හිත ආයෙම වරක් පරණ දුකේම ගිලෙන එක නවත්තන්න විදියක් නදී දැන උන්නේ නැත.

මේ ඇත්ත දැනගත්ත එක තමන් උපේක්ශාවෙන් දරාගත්තත් තමන්ගේ තාත්තා මෙහෙම කෙනෙක් කියා දැනගන්න එක මියුරුට කොච්චර ලොකු වේදනාවක් වනු ඇතිද කියා නොහිත ඉන්න නදීට බැරිය. තමන් කුඩා කාලයේම සිටම අම්මාගේ ආදරය අහිමි වෙච්ච එකියකි. තාත්තා උන්නට එහෙමකට කියා ආදරේ නොලැබිච්ච එකියකි. මියුරු වනාහී අම්මාගේත් තාත්තාගෙත් ආදරය මැද්දෙ හැදිච්ච දරුවෙකි. තමන්ගෙ ලෝකෙ වීරයා තාත්තා ලෙස දුටුව දරුවෙක්ට තාත්තා කෙනෙකු ගැන මෙයාකාර ඇත්තක් දැනගන්න එක දරාගන්නට කොච්චර අපහසුද කියා නදීට හිතාගන්න බැරිය. අම්මා ලඟ නැතුව උනත් අම්මාට වෙන සම්බන්ධයක් තිබුනාය කියා දැනගත්ත එක තමන් ගේ හිත මොහොතකට හෝ සසල කල එකේ මියුරු මේ රහස් දැනගැනීම ඔහුව කොච්චර කඩා වට්ටන්නට හේතු වනු ඇතිද කියා නදී නැවත නැවත හිතුවාය.

වඩා හොඳ දෙය වන්නේ මේ හිටපු විදියටම මියුරුගෙන් හැංගී ජීවත්වෙන එකය. තාත්තා ගැන ඇත්ත මියුරුගෙන් සදහටම හංගා තබන එකය. ඒක තමන්ව ජීවිතාන්තය දක්වා දුකක ගල්වා තබන්නට හේතුවක් වන බව දැන හිටියත් තමන්ගේ ඒ කැපකිරීම දෙමව්පිය යුවලකට දරුවාත්, දරුවෙකුට අම්මා තාත්තාත් අහිමි නොකරන එකම ඊලඟ ආත්මයේ හෝ තමන්ගේ හරිහමං අම්මෙක් තාත්තෙක් ලඟ ඉපදෙන්නට හේතුවක් වනු ඇතැයි කියා නදී දුරකතන අතට ගත්තේ අමයුරුට මේ ගැන කියන්නය.

දොර සීනුව නාද වුණේ ඒ වෙලාවේය.

“මේ වෙලාවෙ කවුද?” කියා මුමුණමින්ම නදී දොර හැරියේ ඒ හැරුණ දොර එහා පැත්තේ තමන් මේ ලෝකෙ වඩාම ආදරය කල දෙනෙත දැක ගන්නට බලාපොරොත්තුවෙන් නොවේ.

“මට දැන් කවුරුත් නෑ නදී, අනේ ඔයත් මාව දාලා යන්න එපා” කියා කොඳුරමින් පපුවට කඩං වැටිච්ච බීමත් තරුණයා මගාරින්න, අතාරින්න, පිටු දකින්න, හැරයන්න ඉතින් තමන්ට මේ සසරේ කවදාවත් බැරිබව නදී ඒ මොහොතේ තේරුම් ගත්තාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles