කාන්තා සනීපාරක්ෂාව පිළිබඳව කතාබහ කරන විට බොහෝ දෙනා කතාබහ කරන කාරණා වගේම කතා නොකරන කාරණාත් බොහොමයක් තිබෙනවා. කාන්තාවකගේ සුන්දරත්වය ඔප් නංවන , කාන්තාවක් සතුව අනිවාර්යයෙන්ම තිබිය යුතු පිරිසිදුකම සහ සනීපාරක්ෂාව ගැනයි මේ ලිපිය.
පිරිසිදු ජලය භාවිතා කරන්න
ඔබේ යෝනි මාර්ගය පිරිසිදු කිරීම සඳහා සාමාන්‍ය ජලය හෝ මද උණුසුම් ජලය භාවිතා කරන්න. ඒ වගේම ඔබේ යෝනි මාර්ගයේ pH අගය වෙනස් කල හැකි විවිධ සුවඳ වර්ග අඩංගු නිෂ්පාදන , පිරිසිදු කිරීම සඳහා භාවිත කිරීමෙන් වළකින්න.
වියළිව තබා ගන්න
යෝනි මාර්ගය නිතරම පිරිසිදුව තබා ගැනීම වගේම වියලිව තබා ගැනීමත් අතිශයින්ම වැදගත් වෙනවා. උදාහරණයක් වශයෙන් පිහිනීමෙන් හෝ ක්‍රීඩා කිරීමෙන් පසුව නාන ඇඳුම් ,ව්‍යායාම ඇඳුම් ඉවත් කර පිරිසිදු ඇඳුම් වලට මාරු වන්න. තෙත සහ දාඩිය පිරුණු ඇඳුම් බොහෝ වේලාවක් ඇඳ සිටීම ක්ෂුද්‍ර ජීවීන් සහ බැක්ටීරියා වලින් විය හැකි හානි ඇති වීම සිදු වෙන නිසා කාන්තා ඔබ අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වනවා.
අනවශ්‍ය රෝම ඉවත් කිරීම
බොහෝ කාන්තාවන් යෝනි මාර්ගය අවට අනවශ්‍ය රෝම තිබීම ගැන අකමැත්තක් දක්වන නිසා ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සිදු කරනවා. නමුත් එම රෝම මගින් යෝනි මාර්ගය බැක්ටීරියා ආසාදන වලින් සහ යෝනි මාර්ගය අධික දහඩිය දැමීමෙන් ආරාක්ශා කරන නිසා අනවශ්‍ය රෝම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම වෙනුවට ඒවා කෙටි කිරීමට වග බලා ගන්න.
කපු යට ඇඳුම් අඳින්න
කාන්තා සනීප ආරක්ෂාව සඳහා කපු වලින් නිපදවූ යට ඇඳුම් භාවිතා කිරීම ඉතාම වැදගත් වෙනවා. කපු යනු වාතය ඉතා හොඳින් එහා මෙහා ගමන් කරන රෙදි වර්ගයක් නිසා දහඩිය සහ බැක්ටීරියා එකතු වීම වළක්වනවා. ඒ වගේම අතිරික්ත තෙතමනය හොඳින් වාශ්ප වීමට සලස්වනවා.
තද නොවන ලිහිල් යට ඇඳුම් අඳින්න
ඔබ යට ඇඳුම් තෝරා ගන්නා විට පිරිසිදු කපු රෙදි වලින් නිමවා ඇති යට ඇඳුම් තෝරා ගන්නවා වගේම ඔබේ ශරීරයට ගැලපෙන තද නොවන ඔබට සුව පහසුව ගෙන දෙන ලිහිල් යන ඇඳුම් තෝරා ගැනීමට සැලකිලිමත් වන්න.
ඔබ පානය කරන දේවල් ගැන සැලකිලිමත් වන්න
අධික සීනි සහිත බීම නිතර පරිභෝජනය කිරීම ඔබේ යෝනි මාර්ගයේ බැක්ටීරියා සමතුලිතතාවයට බලපාන අතර එමගින් එම ප්‍රදේශය විජලනය වීම සිදුවිය හැකිය.විෂ ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීමට සහ ඔබේ යෝනි මාර්ගය සෞඛ්‍ය සම්පන්නව සහ පිරිසුදුව තබා ගැනීමට හැකි තාක් පිරිසිදු ජලය පානය කිරීමට වග බලා ගන්න.
ඔසප් දින වලදී සනීපාරක්ෂාව
සාමාන්‍ය දිනවලදී වගේම ඔබ ඔසප් වීම සිදු වන දින වලදීත් ඔබේ පිරිසිදුකම සහ සනීපාරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීම අතිශයින්ම වැදගත් වෙනවා. ඔබ තෝරාගන්නා පෑඩ් වර්ගය වර්ගය , ටැම්පූන් හෝ වෙනත් නිෂ්පාදනයන් ඉතාම හොඳ තත්ත්වයේ ඒවා විය යුතු අතර ඒවා අනිවාර්යෙන්ම පැය තුනකට හෝ හතරකට සැරයක් මාරු කිරීම කළ යුතුයි.
කාන්තා සනීපාරක්ෂාව ගැන සිතන ඔබ දැන ගත යුතුම කාරණා කිහිපයක් ගැනයි මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කලේ.