නුඹ තරම් ප්‍රේමයක් – 38

තිස් අට වැනි නෙත් සැරිය

කාන්තාව අවිශ්කට අවනත වූවාය. මුලුතැන්ගෙයට ගියද ඇයට පියවි සිහියෙන් වැඩක් කරන්නට හැකි වූයේ නැත. තමා තවත් විනාඩියක් ප්‍රමාද වූයේ නම් කුමක් සිදු වන්නේ දැයි සිතීමම ඇයට මරණීයය. නිවසේ ඇස් දෙකවන් පොඩි සර් සහ බබාට මේ ගෙවෙන්නේ නම් යහපත් කාලයක් නොවේයැයි ඇය සිතුවාය.

චත්‍ර ඇයට පෙරලා ඇමතුමක් ගත්තේ අයත්මාවද කැටුව නිවෙසට යන්නට සූදානම් වෙද්දීමය.

” ගෙදර එන්න පොඩි සර් …”

ඕ හැකි තාක් කලබලය වසා ගන්නට උත්සාහ කරමින් කීවාය. එහෙත් චත්‍ර එය ගණනකට නොගත් නිසා ඇගේ කලබලය මතු විය. ඕ උස් හඬින් කෑ ගැසුවාය. 

” අනේ ගෙදර එන්නකෝ දෙය්යනේ..පිට පිරිමියෙක්ට සුදු බබාව දාලා මං මේ කුස්සියට ආවේ…”

” මොකක් ..?..”

” එන්නකෝ පොඩි සර් …”

මාලා  කෑ ගැසුවාය. එහෙත් ඕ පැහැදිලි ලෙසින්  කිසිත් කීවේ නැත. චත්‍ර   අයත්මාටද යන්තමින් සිද්දිය පැවසූ පසු අයත්මා වහා නිවෙසටම යමු යැයි කීවාය. විනාඩි දහයක් යන්නට මත්තෙන් දෙදෙනා නිවස අසල වූහ. චත්‍ර නිවෙසට ගොඩ වෙද්දීම පඩි පෙල බසමින් සිටි මාලා ඔහු වෙත ඇවිද ආවාය. ඇයට හැඬුණි. ඇය හැකි සරලම ආකාරයෙන් වෙන්නට ගිය විනාශය කීවාය. අයත්මා වහා චත්‍රගේ වම් බාහුව බඳාගත්තාය. ඔහු ගල් ගැසී ඇති බව ඇයටද දැනෙයි.

” මේ බබාගේ අයියා ආවාගෙන් සුදු බබා ගොඩ ආවා ..”

දෙදෙනාටම ඒ වැකිය  පැහැදිලි ව වටහා ගත හැකි ස්වරකින් ඇසුනේද නැත. දෙදෙනාම උන්නේ පඩි මඟ හරිමින් පඩිපෙල නඟිමිනි.  ඒ වෙද්දී අවිශ්ක උන්නේ සිහිනිට ඇය රිසි ඉරියව්වේම ඉන්නට දෙමිනි. පසෙක් ඇය අඩක්  පානය කල කෝපි කෝප්පය විය. චත්‍ර කාමරයට පැමිණියේ වෙවුලන දෙපයිනි.

 අවිශ්ක ඔහුට සන්සුන් වන ලෙස සන් කලේය. එහෙත්  එලෙස සන්සුන් වන්නට ඔහුට හැකි වූයේ නැත. ඔහු වහා අවිශ්ක අසලම බිම හිඳගත්තේය. සිහිනිගේ මුහුණ පාදාගන්නට උත්සාහ කලාය. එහෙත් සිහිනි කලේ අවිශ්කගේ පපුවට මුහූණ සඟවාගෙන තව තවත් ගුලි වීමය. අවිශ්ක උන්නේ ඉතා විශාල පීඩනයක් දරාගෙනය. මෙවෙලෙහි තමා වගකීම් සහගත ලෙස හැසිරිය යුතු බව ඔහු සිහිනිගේ කතාව අතරවාරයේම තීරනය කලේය.

විශ්වාස කිරීමට කිසිවෙකු නැති වටපිටාවක අවිශ්කගේ අත්වැල සිහිනිට මහ මෙරක්ව දැනුණි. ඒ නිසාම ඕ සියල්ල ඔහු හා කීවාය. ඇය උන්නේ මදක් විසිරිත සිහියකින් වූ නිසා චත්‍ර විසින් අයත්මාට සිදු කලා යැයි සිතා සිටින කරදරයද ඕ කියෙව්වාය. 

අවිශ්ක මිටි මෙලවුන දෑත් සන්සුන් කරගෙන උන්නේ සිහිනි ඒවාගේ එල්ලී උන් නිසාය. අයත්මා අයියාගෙන් පලිගන්නට සිතා ප්‍රේම සම්බන්ධතාවයක් අරඹා ඇති වග පවසද්දී අවිශ්කගේ ලෝකයම කඩා වැටුණි.

 නංගී මෙතරම් දුකක් තනිව උසුලන බවවත් තමා දැන නොසිටියේ කෙලෙසදැය් ඔහු කල්පනා කලේය. සිහිනි සමඟ කෝප ගන්නට කිසිඳු කාරනාවක් නොපෙනෙද්දී චත්‍ර මරා දැමීමට තරම් වන කෝපය අවිශ්ක කලමනාකරනය කරගනිමින් උන්නේය. සිහිනි මෙවෙලෙහි සියල්ලන්ම නිසා වින්දිතයා වී සිටින වග වටහා ගැනිම අවිශ්කට අපහසු වූයේ නැත.

“චූටි  ..  අයියා ළඟට එන්න පැටියෝ ..”

චත්‍ර අවිශ්කගෙන් ඇය මුදවා ගැනීමට උත්සාහ කරද්දී   ඕ කලේ අවිශ්කටම ගුලි වීමය. අයත්මා ද අවිශ්කට පෙනෙන්නට එතැනින්ම චත්‍රට පසෙකින් මදක් නැවී හිඳගත්තාය. අවිශ්කට නැගණියගේ මුහුණ දෙස බැලීමටත් නොහැකිය යන හැඟීම තදින්ම දැණුණි. ඇය සියල්ල දරාගෙන තනිවම ජීවිතයට් මුහුණ් දෙන්නීය. 

අවිශ්ක චත්‍ර දෙස බැලුවේය. ඔහු සැබැවින්ම අයත්මාට ප්‍රේම කරන බවට සැක නැත. එහෙත් ඔහුට සමාව නොදෙමියි අවිශ්ක සපත කරගත්තේය. තමාට එවන් අඩත්තේට්ටම් කල මිනිසෙකු හා නංගී ප්‍රේමයෙන් බැඳීම කිසිවිටෙකත් සිදු නොවන බව අවිශ්ක දනී. එනිසා සැබැවින්ම සිදුවන්නේ සිහිනි පැවසූ දෙයම විය හැකියැයිද ඔහු සිතුවේය.

” සිහිනි නංගී ..  මේ බලන්නකො.. දැන් ඔයාලාගේ අම්මා එන්න කලින් අයත්මයි මමයි යන්නම් .. අම්මලා මේ සිද්දිය දැනගෙන කලබල වෙනවනේ … ඔයා ටිකක් රිලැක්ස් වෙන්න … මම කෝල් එකක් දෙන්නම්කෝ …”

අවිශ්ක සිහිනිව තමාගෙන් මෑත් කරන්නට උත්සාහ කරමින් කිවේය. එහෙත් සිහිනිගෙන් ඉඩක් ලැබුනේ නැත.

” යන්නෙපා.. අනේ ..ප්ලීස් .”

“විකාරද ඕයි ..කෝ..මෙහෙට එනවා ..”

චත්‍ර ඉන් කෝප ගත්තේය. අවිශ්ක සහ සිහීනි සිනහවකින් එහා කිසිඳු කතාබහක් හෝ කර නැති බව චත්‍ර දනී. එලෙස තිබියදීත් මෙවන් උණුහුමකින් ගුලි වීම ඔහු පටලැවීමකට හෙලා දමා තිබුණි. එහෙත් සිහිනි සෙලවුනේ හෝ නැත. අයත්මා චත්‍රට කලබල නොවන්නට ඉඟි කලාය. අනතුරුව සිහිනි ඇමතුවාය.

” සිහිනි … ඔයා ඉස්සෙල්ලාම අපේ අයියාගෙන් චුට්ටක් එහෙට වෙන්නකෝ.. අපි ඉඳගෙන කතා කරමු….. දැන් ඔයාලාගේ අම්මලා ආවොත් හෙම…”

අයත්මාට කතා කර අවසන් වන්නට ඉඩ ලැබුනේ නැත. සිහිනි කොටි ධේනුවක මෙන් කඩා පැන්නාය. ඇයට නැති වන්නටයැයි කියා දෙයක් නැති සෙයියාව දැනෙමින් තිබූ නිසා ඕ කිසිවක් මායිම් කලේ නැත.

” එහෙනම් තමුසේ මගේ අයියාගෙනුත් ඈත් වෙනවකෝ …. මගේ අයියාගේ ජීවිතේන් පලිගන්නේ නැතුව පැත්තකට වෙනවකෝ ….. ඉවරනේ.. මගේ අයියා වැරැද්දක් කලා නම් ඒකට දඬුවම් දෙනවා ඒ විදියට … නිකන් කැත වැඩ නොකර… මගේ අයියා ඔයාට ආදරේ කොච්චරද කියලා දන්නේවත්  නැතුවයි තමුසේ ඔය සෙල්ලම කරන්නේ අයත්මා … තමුසේට යන්න වෙනම අපායක් හදන්න වෙනවා…”

අයත්මා ගොලු වූවාය. ඇයට ඉකි ගැසුණේ ඉන් පසුවය. උගුරේ ඉතා බරැති යමක් සිරවී ඇති බව දැණුනි. ඕ චත්‍ර දෙස බැලුවාය. චත්‍ර උන්නේද කිසිවක් සිතා ගන්නට නොහැකිව සේය.

” අනේ ප්ලීස් අයත්මා .. ඔයාට වුන දේට අපිට සමාවෙන්න .. ඒකට මගේ අයියාගෙන් ඔය විදියට පලිගන්න එපා.. දැන් කොහොමටත් හැමෝම ඇත්ත දන්නවා ….”

” සිහිනි … පිස්සුද ඕයි .. මොන මඟුලක්ද කියවන්නේ ?….. අදාල නැති එව්වාට කට නොදා ඉන්නවකෝ ඕයි….”

චත්‍ර සිහිනිට පහරක් ගසන්නට උත්සාහ කරමින් කීවේය. ඔහු උන්නේ අවිශ්කගෙන් සිහිනිව මෑත් කරගන්නට උත්සාහ කරමිනි. එහෙත් අවිශ්කගෙන් එවර ඉඩක් ලැබුනේ නැත.

” උඹ වැළලෙන්නේ නැතුව හිටපං ….”

අවිශ්ක උස් හඬින් කෑ ගැසුවේය. ඉන් තිගැස්සුනේ චත්‍ර පමණක් නොවේය. අයත්මාද වහා කඳුලු පිස ගත්තාය.

” මං මේකේ අග මුල අග්ගිස්සගන්නම් .. ඊට පස්සේ වැලල්ලෙන්න තියෙන උන්ට ඒ පිළිවෙලට එව්වා වේවි …”

එසේ කියා නිමවෙත්ම, සිහිනි කෑ ගසා හැඬුවාය.  අයියාට කිසිත් නොකරන්නැයි අයැද්දාය. අයත්මාට සිදුවූ වරදට යම් දඬුවමක් වේ නම් එය තමාට දෙන ලෙස ඉල්ලුවාය. අවිශ්කගේ දෑතින්ම අල්ලාගෙන දෑත් එකතු කරග්ව්න වඳින ස්වරූපයකින් උන්නාය. චත්‍රගේ ඉවසීම ඉක්මවා යමින් තිබුණි.

 සිහිනි මේ මනෝ ලෝකයක හිඳගෙන කියවන බව ඔහු දනී. ඇයට මෙය පැහැදිලි කිරීමද පහසු නැත. එහෙත් දැන් අවිශ්ක සිතා සිටින්නේද අනෙකකි. ඇතැම් විට සිහිනි අවිශ්කටද ඇගේ සිතෙහි පවතින සිදුවීමම පවසාද ඇතිවා විය හැකිය.  

මේ සියල්ල පසුවටය. පලමුව සිහිනිගේ මනස සැහල්ලු කර යුතුය. ඇය සිය දිවි නසා ගැනීමක් උත්සාහ කලේ තමා නිසාවෙන් ඇයට වන ලැජ්ජාව නිසාමදැයි චත්‍රට පැහැදිලි වූයේ නැත. එහෙත් අයියා ස්ත්‍රී දූෂකයෙකුය යන කට කතාව එතරම් තදින් පැතිරීම ඇයට දරාගන්නට නොහැකි වූවාද විය හැකි බව චත්‍ර අනෙක් පසෙටද සිතුවේය.

හිස තුළ නූල් බෝලයක් පැටලී ඇති සෙයකි.  නිරවුල් කරගන්නට උත්සාහ කල සියල්ලම දැන්  යලි පැටලී ගොසිනි. චත්‍ර අයත්මා දෙස බැලුවේය. ඕ ඉන්නේද වික්ශිප්තවය. සිහිනි අවිශ්කව අත් නොහැරම ඉන්න බව ද ඔහුට පෙනෙන්නේය. වහාම ඇයව ප්‍රතිකාර සඳහා රැගෙන යා යුතු බව චත්‍ර තීරනය කලේය. 

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles