මතක මන්දිර – 6

0
5567

“ආර් යූ ඕකේ?”

අඩියේ සිට අඟලක් පමණ ඉහළට රන් පැහැ ද්‍රාවණයක් පිර වූ වීදුරුවක් එකාතකින් ගෙන තමන් අසුන්ගෙන සිටි මේසය වෙත නැඹුරු වූ කේසර අසනතුරුම කාලින්දී සිටියේ වෙනත් ලොවක අතරමං වීය.

සිතූ පරිදිම ඉතාම හොඳින් කටයුතු සම්පාදනය කොට උත්සවය අවසාන කරන්නට හැකි වූ නිසාත්, පැමිණි සියල්ලන්ම තුටු වන අන්දමේ අවසානයක් ලැබූ නිසාත් එස්.කේ සමාගමෙන් පැමිණි නියෝජිතයන්ගේ ආරාධනය පරිදි කේසරත්,විදූත්, විසුර, පංකජා, අනුරුද්ධ සහ රදීෂා සමහ කාලින්දීත් වන් ගෝල් ෆේස් හි ඩිල්මා ටී ලෞන්ජ් එකේදී මුණගැසුනේ සුහද හමුවකටය.

වොඩ්කා මුසු වූ ලෙමන් වීදුරුවෙ රැඳුණු සීත බිඳුවලට පහලට රූටා ගොස් මේස මුහුණත සිපගන්නට ඉඩ හැර, පසෙක ඇති වන් වේ මිරර් එකෙන් පෙනෙන පිටත දෙස බලා සිටින කාලින්දීගේ රුව කේසරගේ සිත තුළ ඇති කොට තිබුණේ කුකුසකි.

ඕනෑම හිත් කරදරයක දී වුව මුව හසරැල්ලක් රඳවාගෙන හිඳින්නී, විසල් ගසක් මෙන් නොබියව, නොසැලී හිඳින කාලයක නොසිතූ මොහොතක කල්පනාබරව, අරමුණකින් තොරව බලා හිඳීම හොඳම මිතුරා වූ කේසරට ගැටළුවකි.

“කාලි”

මුල්වර තමන් ඇසූ ප්‍රශ්නය ඇයට නොඇසුණ බැව් තේරුම්ගිය හෙයින් දෙවනිවරටත් එයම අසන්නට කේසර පෙළඹුණේ එකී කුකුස නිසාවෙනි.

“ම්ම්ම්” යැයි තිගැස්සුණ ඇය වෙත යළිත් නැඹුරු වුණු කේසර එකම දෙය යළිත් ඇසුවේය.

“ආර් යූ ඕකේ?”

“යා, අයෑම් ඔකේ” යැයි පවසන වදන ඇතුළතම ඕකේ නොවන්නට බොහෝ කාරණා ඇතුළත් වී ඇති බව කාලින්දී මෙන්ම කේසරත් නොදන්නවා නොවේ.

මත් පැන් රස නොදන්නා මුල් කාලයේ, සමුද්‍ර සමග ඩිල්මා ටී ලෞන්ජ්හි කෙළවරක ඇති තැඹිළි පැහැ කුෂන් ඇතිරූ සෝෆාවක දිගා වී පොල්කිරි සහ හකුරු මුසු වූ උණුසුම් තේ බඳුනක් තොල ගාමින්, වරු ගණන් අදහස් බෙදා ගත් සැඳෑවන් අතීත මතකයන් ලෙස යළි යළිත් සිත මත්තට ගෙන එන්නට හුරු පුරුදු වටපිටාවටත්, ලෙමන් මුසු වූ වොඩ්කා බඳුනටත් හැකියාවක් ලැබී ඇත.

“ඔබේ අතගෙන පෙර සැඳෑවක

උයන් තෙර හිඳ ආදරේ

ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය

විරහ ගීයක් නොවේවා”

ආදරය බිඳුණු අවදියේ හිත තුළට වී හිඳින කඳුලු බිඳු නෙතු අද්දරට ගෙන එන්නට නිරත්තරයෙන් ඇසූ, රෝහණ වීරසිංහයන්ගේ එකී ගී පද පේළි යළිත් සිත පාරවයි.

සමුද්‍රගෙන් වෙන්වුණු පසුව ගෙවුණු වසර හතකටත් වඩා වැඩි කාල වකවානුව අතරතුර එක දිනෙක හෝ නොඑන්නට වග බලාගත් අතීත මතකයන්ගෙන් එකකට ආයෙමත් එන්නට ලැබීමම කෙතරම් නම් වේදනාවක්ද?

“ ඕකේ කිව්වට ඔයා ඕකේ නෑ කියල මම දන්නව කාලින්දි. මම හරියටම කියන්න දන්නෙ නෑ මොකක්ද හේතුව කියල ඔයා දැන් අවුලෙන් ඉන්න. හැබැයි මට ෂුවර් ඒක ඔයා මට කියල තියන කාරණාවට සම්බන්ද දෙයක් විත්තිය. සමහර මිනිස්සුන්ට තප්පර හතෙන් අමතක කරල දාන්න පුලුවන් දෙයක් ඔයාට අවුරුදු හතක් විතර ගිහිල්ලත් අමතක කරන්න බැරි එක ගැන මම පුදුම නෑ. ඒත් ඇත්තටම මට දුකයි.”

හඬන හැම වෙලාවකම පාහේ සනසන්නට ළඟ රැඳුණු මිත්‍රත්ත්වයේ සවිමත් හස්තය මේ කාල වකවානුව තුළ සියවන වරටත් කාලින්දී වෙත දිගුකරමින් කේසර එසේ පවසන්නට විය.

“ඔයා කරියර් එක ඇතුළෙ කෙල්ලෙක්ට එන්න පුළුවන් ලොකු දුරක් හරිම හයියට ආව කෙනෙක්. ඒ හයියම ඔයා ඔයාගේ පර්සනල් ලයිෆ් එක ඇතුළෙත් මේන්ටේන් කරගන්න එක පටන් ගන්න දැන් කාලෙ හරි කියල තමයි මම හිතන්නෙ. ඒ මනුස්සය ඔයාව අමතක කරල ලබාගත්ත යම් සන්තෝසයක්, සතුටක් තියෙනම් ඒ සන්තෝසෙම, සතුටම ඒ වගේ දෙතුන් ගුණයකින් ඔයත් විඳින්න ඕනෙයි කියල තමයි මම හිතන්නෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයා ඒකට ඉඩක් නොදෙන එක.

අපි හැමෝටම දවසක් එනව කාලින්දි අකමැත්තෙන් හරි කැමැත්තෙන් හරි අපේ අතීතෙ අතාරින්න වෙන. ඔයා මොනතරම් බලෙන් එල්ලිල ඉන්න ඉන්න වෙන්නෙ ඔයාටම දැනෙන දුක වැඩිවෙන එක විතරයි.

මේ දේම අපි මීට කළිනුත් ඩිස්කස් කරල තියෙනව.මට ආයෙ ආයෙත් ඒකම තමයි කියන්න තියෙන්නෙ.”

සීතල ජල බිඳිති රැඳුණු වීදුරුවට මැඳගිල්ලෙන් තට්ටු කරමින් පවසන්නට වූ කේසරගේ වදන්වලට බාධා කරමින් එහි පැමිණියේ විදූ ය.

“එක්ස්කියුස් මී කේසර, කාලින්දී, දිස් ඊස් එස් කේස් පර්සනල් කෙයා කැටගරි හෙඩ් – මිස්ට සමුද්‍ර අබේසූරිය

සමුද්‍ර දිස් ඊස් කේසර පද්මතිලක – හෙඩ් ඔෆ් ඩිජිටල් ඇට් ක්‍රියේටිව් ස්පාක්ස් ඇන්ඩ් කාලින්දී කග්ගොඩආරච්චි – ක්‍රියේටිව් ඩිරෙක්ටර් ඇට් ක්‍රියේටිව් ස්පාක්ස් ඇන්ඩ් ද පර්සන් හූ ඩිඩ් ඇන් ඇමේසින් ජොබ් ඔන් යුවර් කම්පනීස් විමෙන්ස් ඩේ කැම්පේන්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here