ගමේ තාලෙට අවුරුදු කමු – හත් මාලුව

අලුත් අවුරුද්ද අපේ සංස්කෘතිය සහ අපේකම අපිට සිහිපත් කරන වකවානුවක්. ගෙදර හැම දෙනාම එකතු වෙන අවුරුදු කෑම මේසෙට ඔබ දන්නා අලුත් පන්නයේ ආහාර වලට අමතරව අලුත් අවුරුද්දට ආවේනික අපේ ආහාර එකතු කරගන්න පුලුවන් නම් ඒ ඔබේ හපන්කමක්.

අලුත් අවුරුදු කෑම මේසයට අතීතයේ නැතිවම බැරි දෙයක් වුණේ හත් මාලුව.. ආහාරයක් සැකසීමේදී ඖශධිය ගුණය, වර්ණය හා පෝෂණය රැකෙන සේ පිස ගැනීම යන කාරණා සියල්ල හත් මාළුව තුලින් ඉටු වුණා. අතීතයේ දී හත්මාළුව පිසීම ගැමියන් අතර දෙයාකාරයට සිදු වුණා. අවුරුදු කිරි බතට පසු අලූත් අවුරුදු දින කෑම මේසයට හත් මාළුව පිසීමත් දෙවන හත්මාලුව හිස තෙල් ගාන දිනයේ පිසීමත් ලෙස යි.

පුරාණයේ විසූ සිංහලයන් හත් මාළුව නම් විශේෂිත ආහාරයක් හොද්ද, තම්බුම, මැල්ලුම, නියඹලාව, ආනම, පැළඳුම හා බැදුම ලෙස පිසූ අතර පසුකාලීනව එක් ව්‍යාංජනයක් ලෙස වෙනස්කම් වලට ලක්වී හත් මාළුව සිංහල අවුරුදු මේසයේ අනිවාර්යය අංගයක් වී තිබෙනවා.

හත් මාළුව පිස ගැනීමේදී ආහාර වර්ග සංයෝජනය කිරීම ඉතා විශිෂ්ට ලෙස සිදු කරනවා. කාබෝහයිඩේට්‌, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛණිජ, තන්තු සහ ශාක රසායනික යන සියලු පෝෂණ සංඝටක සිරුරට එකවරම ලැබෙන ආහාරයක් ලෙස හත් මාලුව හඳුන්වන්න පුලුවන්. . හත්මාළුව ආහාරයක අඩංගු විය යුතු ගුණ හා අඩංගු විය හැකි සියලු ගුණයන් එකවිට උපරිමයෙන්ම සිරුරට ලබා දෙන ආහාරයක් බවයි අපේ පැරැන්නන් අදහස.

හත්මාළුව පිසීමේදී ගෙඩි වර්ගයක්‌, කරල් වර්ගයක්‌, ඇට වර්ගයක්‌, කොල වර්ගයක්‌, දලු වර්ගයක්‌, මල් වර්ගයක්‌ ආදී ගස්‌ වැල් වල සෑම අංගයක්‌මද ආහාර ප්‍රභව ලෙස යොදා ගැනීම සිදු කරනවා. රසකාරක හා සුවඳකාරක ලෙසත් ආකර්ෂණීය පෙනුමක්‌ ලබාදීමටත් විවිධ දේශීය කුලුබඩු වර්ග රැසක්‌ ද හත්මාළුවට යොදා ගන්නවා.

අවුරුද්දට රස කැවිලි ආහාරයට ගැනීමේදී අධික තෙල් හා පිටි ප්‍රමාණයක් ආමාශ ගත වී ඇතිවිය හැකි බඩ පිපුම, මල බද්ධය, කෑම අරුචිය හත් මාලුව ආහාරයට ගැනීමෙන් සමනය වන බව අපේ ගැමියන් විශ්වාස කළා.

පළාත් අනුව යම් යම් වෙනස්කම් සහිතව හත්මාලුව සකස් වෙනවා.

ඔබට පහසුවෙන් සපයා ගත හැකි දේවල් සහිත මේ රෙසිපිය යොදාගෙන හත් මාලුවක් සකස් කරලා ඔබේ අලුත් අවුරුදු කෑම මේසයට වැඩි වටිනාකමක් දෙන්න අමතක කරන්න එපා.

අවශ්‍ය දේවල්-

1. කජු 50 g
2. කොස් ඇට
3. මෑ කරල්
4. වම්බටු
5. අර්තාපල්
6. වට්ටක්කා දලු ස්වල්පයක්
7. අලු කෙසෙල් ගෙඩි දෙකක්
8. පොල් ගෙඩියක පමණ මිටිකිරි හා දියකිරි
9. මිරිස් කුඩු තේ හැඳි 3 ක්
10. තුනපහ කුඩු
11. තලාගත් එනසාල් කරල් 2 ක්
12. සූදුරු කුඩු ස්වල්පයක්
13. උලු හාල් ස්වල්පයක්
14. හොඳින් ලියාගත් රතු ළූනු
15. තලා ගත් සුදුළූණු
16. කරපිංචා,රම්පේ, ස්වල්පයක්
17. අමු මිරිස් කරල් දෙකක්
18. පොල් තෙල් ස්වල්පයක්

කජු පෙඟෙන්නට තබා පෙඟුණු පසු පොතු ඉවත් කර ගන්න.කොස් ඇට කැබලි කපා ගන්න. මෑ කරල්, වම්බටු, අර්තාපල්, අලු කෙසෙල්  කුඩාවට කපා ගන්න.

භාජනයකට තෙල් දමා රත් වූ පසු ලියා ගත් රතු ලූනු, තලා ගත් සුදු ලූනු, රම්පේ,කරපිංචා,කුඩාවට කපා ගත් අමු මිරිස් එකතු කරන්න. රන්වන් පැහැ වන සේ බැද ගත් මිරිස් කුඩු,තුන පහ, සූදුරු කුඩු, එනසාල් එකතු කර හොඳින් කවලම් කරන්න.

එයට කපා ගත් කජු ,කොස් ඇට, මෑ කරල්, වම්බටු, අල, අලුකෙසෙල් දමා දියකිරි එකතු කර මඳ වෙලාවක් පිසගෙන කිරි හිඳීගෙන එනවිට උළුහාල්, වට්ටක්කා දලු එකතු කර මිටිකිරි දමා මඳ ගින්නේ පිස ගන්න.

හත් මාලුව ඔබේ අලුත් අවුරුදු කෑම මේසයට වැඩි අගයක් එක් කරනවා නොඅනුමාන යි.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss



Latest Articles

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...

හිමගිරි අරණ -19

"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි." හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින්...

(අ)හිමි සිහින -123

මම මගේ ක්ෂේත්‍රයේ මට හැකි උපරිමයෙන් ඉදිරියට එන්නට වෙනකොට කටයුතු කරමින් සිටියා.හැබෑවටම මම ඒ වෙනකොට රටේ බොහෝ පිරිසක් දන්නා චරිතයක් බවට පත්වෙමින්...

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...