“නෑයන්ට එන්න කියන්නෙ කොහොමද රෙද්දක් ඇඳගෙන, මේ ළමයා දැක්කම ඒ මිනිස්සු මහ අමුතුවට බලං ඉන්නෙ” කියමින් නැන්දම්මා කාත් එක්කදෝ දුරකතනයෙන් කුටු කුටු ගානවා ඇහුනත් තරංගා ඒවා නෑහුනා සේ උන්නාය.
අනෙක් අතට ඕව ඉතින් අලුත් කතන්දර නොවේ. නැන්දම්මා සනුකිටත් තමාටත් දාහක් දේවල් කියන්න පටන් ගත්තේ සනුකි ඕටිසම් සහිත දරුවෙක් බව දැනගත්ත කාලයේ පටන්මය. මුල් කාලයේ නෑහෙන්න කල කතන්දර පස්සෙ පස්සේ ඇහෙන්න, පේන්නම කියන කරන එක මේ ගෙදර කාටවත් වගක් නැතිවෙච්ච දෙයක් විය.
සනුකිගේ දෙවනි අවුරුද්දේ උපන්දිනේ ටිකක් ලස්සනට ගන්න තරංගට උවමනා උනේ පලවෙනි උපන්දිනය දවස් ටිකේ සනුකි අසනීපෙන් උන්නු හන්දා ගෙදර කේක් එකක්වත් කැපුවේ නැති එකේය. ලඟ පාත ගෙවල් කිහිපයක දරුවන්ට සහ දෙමව්පියන්ට වගේම, ලඟම නෑයන් කිහිප දෙනෙකුට එන්න කියා පොඩි පාටියක් දාන්න තරංගට උවමනා උනේ අනෙක් දරුවන්ගෙ පොඩි කාලෙ උපන්දින අම්මලා තාත්තල එක්කහු වී මහ ඉහලින් සමරන බව දන්න හන්දාය. ඒ සතුට තමන්ගේ දරුවටත් උරුම වෙන්න ඕන බව හිතපු හන්දාය.
“ඔයාගෙ ඔෆිස් එකේ යාලුවන්ටත් එන්න කියන්න මේධ” කියා තරංගා මේධංගට කිව්වේ මේධංග තරහා ගිය වෙලාවල්වල මොන දේ කිව්වත් සනුකිට තාත්තා කෙනෙකු විදියට හිත අස්සෙන් හෝ ආදරේ කරනවා ඇතැයි හිතුවිල්ලක් තරංගාට තිබිච්ච හන්දාය.
“අනේ මේ, තමුසෙ ඕන පාටියක් දාගන්නවා.මගෙ යාලුවන්ට නම් ඉන්වයිට් කරන්න හිතන්න එපා. මං වැඳලා ඉල්ලන්නම්. මට තව ලැජ්ජ කරන්න හිතන්න එපා” කියා මේධංග කිව්වේ අත් දෙකත් එක්කහු කර තරංගාගෙ පැත්තට හැරිලාය.
“ඔයා නිකන් හරියට කතාකරන්නෙ මේ ඇවිදගන්න, කතාකරන්න බැරි දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් වගේනේ. එහෙම දරුවො ඉන්න තාත්තලවත් දුක් වෙන්නෙ නැති විදියටනෙ ඔයා මේ ඕටිසම් හැදිච්ච, හයිපර් ඇක්ටිව් බබෙක් ඉන්න තාත්තෙක් වෙලා හැසිරෙන්නෙ”
“ඇවිදගන්න, කතාකරගන්න බැරි එකෙක් ඉඳියනම් ඌ පැත්තකට වෙලා ඉන්නවනෙ. මේක එහෙමද මිනිස්සු දෙන්නෙක් කතා කර කර ඉන්න තැනකට ඇවිල්ලා බහ් බහ්හ් ගානවා. පොඩි සද්දෙකටත් මහ හයියෙන් බෙරිහන් දෙනවා ලැජ්ජාවෙ පණ යනවා, තැනකට එක්කරගෙන ගියාම. එහෙම එකේ තමුන් මේ තව බර්ත් ඩේ පාටි දෙන්න ලෑස්තිය.
අනේ මේ සල්ලි නාස්ති නොකර ගෙට වෙලා ඉන්නවා ඕයි පිස්සු වැඩ කරන්නෙ. හරියට මේ ඕව මේව කරා කියලා අසනීප හොඳ වෙනවා වගේ. පිස්සුනෙ” කියා මේධංග එතනින් නික්ම ගියත් තරංගා සනුකිගේ දෙවනි උපන්දින පාටිය ගන්න අදහස හිතෙන් අතෑරියේ නැත.
“මගේ ලමයට අනිත් දරුවට නැති අසනීපයක් තියෙන්න පුලුවන් අක්කෙ. ඒ උනාට ඒක ඒ දරුවගෙ උපන්දිනේ සෙලිබ්‍රේට් නොකර ඉන්න හේතුවක් නෙවෙයිනෙ. අනික ඩොක්ටර් කිව්ව විදියට දරුවව චුට්ට චුට්ට මිනිස්සුන්ට පුරුදු කරවන තරමට තමයි ඒ දරුවට කවද හරි සමාජෙට බය නැතුව එන්ටර් වෙන්න පුලුවන්” කියා තරංගා මේධංගට දුන්නේ නැති උත්තර කියා දැම්මේ අයියාගේ බිරිඳ වෙච්ච නර්මදා එක්කය.
“අක්කා කියන්නේ අක්කෙක් නෙවෙයි, මට අම්මෙක් වගේ” කියා තරංගා හිතෙන් හිතූ වාර අනන්තය. ඒ ඇත්තටම නර්මදා මවකගේ ආදරයත්, මව්වත්කමත් එක්ක තරංගාගේ සියලු වේදනාවන් අහගෙන කරගෙන දරාගෙන උන්නු හන්දාය.
“නංගි සනුකිගෙ උපන්දිනේට පාටියක් දෙන්න හදපු එක හොඳයි. අනික මේ අසනීපයක් කියන්නෙ නංගි ඔය අසනීපෙ තියෙන ළමයි කොච්චරක් නම් ඉන්නවද? අනික ඕක අසනීපයක් නෙවෙයිනෙ. ඕව හොඳ කරන්න බැරි උනාට ඔහොම දරුවොන්ට අපේ උදව්ව ලැබුනොත් නොහිතපු තැන්වලට පවා යන්න පුලුවන් කියලා මං පත්තරේ තිබිලා කියෙව්වත් එක්ක.
කට්ටිය ඉන්න තැන්වලට පුරුදුවෙන්නත් එක්ක පාටියක් ගන්නවා කියල හිතපු එක හොඳයි. ඒ උනාට නංගි කෝකටත් ඔය විත්තිය මල්ලියි, එහෙ අම්මයි එක්කල කතා කරලා ඉන්න නේද? මොක උනත් ඒ දරුවගෙ තාත්තයි අත්තම්මයි නෙ නංගි” කියා නර්මදා කිව්වේ තරංගා නොකී කතා දාහක් හිතේ හිරකරගෙන ඉන්න බව දන්න හන්දාමය.
කොහොම වෙතත් තරංගා ගෙදර අයගේ කතා, අමනාපකම් දාහක් මැද්දෙ උනත් සනුකිගේ උපන්දින පාටිය සූදානම් කරාය. දන්න අඳුරන හිතවත් මිනිස්සුන්ට ආරාධනා කරාය. සනුකි වෙනුවෙන්ම බේක්ස් බයි මමාස් එකෙන් බාබී තීම් එකේ කේක් ගෙඩියක් ඕඩර් කරාය. ගෙදරට එන අමුත්තන්ට දෙනු පිණිස ප්ලැටර්ස් එකෙන් දරුවන්ට කන්න සැර අඩු සැන්ඩ්විච් ද, වැඩිමහල්ලන් වෙනුවෙන් සැර ගාණට ඇති සැන්විච්, පේස්ට්‍රි ආදියද ඕඩර් කරාය. බීමට දෙන අයිස් කෝපි ගෙදරම හදන්න තීරණය කලේ, පොඩ්ඩන්ට බොන්නට පැණි බීම හදන්නත් කලින් ප්ලැන් කරගෙන උන්නු හන්දාය.
කොහොම වෙතත් මේධංග මේ කිසිම දෙයක් වෙනුවෙන් තඹ සතේක උදව්වක් තරංගාට දෙන්න හිතුවේ නැත. කොටින්ම උත්සවය දවසට අඳින්න කියා තරංගා උපන්දින උත්සවයේ තීම් එකට ගැලපෙන්න ගෙනා ශර්ට් එකවත් අඳින්න මේධංග කැමති උනේ නැත.
“මල වදයක් වෙන්න එපා තරංගා. මොන කරුමයක්ද මං මේ ගෙවන්නෙ?” කියා මේධංග අනිත් පැත්ත හැරී නිදාගනිද්දිත් තරංගා ඒ හැමදේම උපේක්ශාවෙන් විඳ දරාගත්තාය. මොන දේ උනත් තමන් අම්මා කෙනෙක් කියන කතාව අමතක කරන්න තරංගා කටයුතු කලේ නැත.
උපන්දින උත්සවය දවසේ සනුකි උන්නේ සන්තෝසයෙනි. මීට කලින් මෙහෙම උත්සවයකට සහභාගි වෙන්නත් සනුකිට අවස්තාව ලැබී නැත. සෙනග දැක්කාමත්, සද්ද බද්ද මැද්දේත් සනුකි කලබල වෙන්න පුලුවන් යැයි සැකය හිතේ තිබුණා නමුත් සනුකි වගේම අසනීපයෙන් ඉන්න මිතුරු මිතුරියන් කිහිප දෙනෙක්ම ඇවිත් උන්නු හන්දා සනුකිට එදා ඒ කලබල ගැන වගක් තිබ්බේ නැත. කේක් ගෙඩිය කපා අම්මාටත්, අමනාපයෙන් මූණ නොරොක් කරගෙන උන් තාත්තාටත් කේක් කැව්වයින් පස්සේ සනුකිට ඕන උනේ ආපු යාලුවොද, නෑයන්ද, හිතවතුන්ද ගෙනවිත් තිබූ තෑගි බෝග ආදිය ලෙහා ඒවායේ තියෙන දේවල් මොනවද කියා බලන්නය.
“අනේ පුතේ එහෙම හොඳ නැනෙ, මේ ආන්ටිලා, ඔයාගෙ යාලුවො ගියාට පස්සෙ තමයි අපි ගිෆ්ට්ස් ඔක්කොම බලන්න ඕන හොඳේ” කියා තරංගා ආදරයෙන් කිව්වත් ඒ කතාව අහන්න ලෑස්ති උනේ සනුකි නොවේ.
“අම්ම්ම්ම්ම්ම්, බෑඈඈඈආආඅ, ඕන ඕන ඕන” කියා සනුකි කොඳුරන්න ගත්ත වෙලේ තරංගා බය උනේ පාටියේ ඔක්කොම සතුට දෙපිටින් යන්න සනුකි කලබලයක් කරාවිය කියාය.
“අනේ කමක් නෑ තරංගා, මේ පොඩි දරුවන්ට ඕවා තේරෙන්නෙ නෑනෙ. බලන්න දෙන්න අනේ එයාට ගිෆ්ට්ස්” කියාගෙන උදව්වට ආවේ සනුකිව එක්කරගෙන තරංගා යන ඕටිසම් සහිත දරුවන් වෙනුවෙන් තියෙන ලර්නින් සෙන්ටර් එකකදි තරංගාට හමු වූ තවත් අම්මා කෙනෙක් වුණු දේවින්දිය.
“අනේ ඒ උනාට දේවින්දි….” කියා තරංගා තවත් මොනවා හෝ කියන්නට ගියත් දේවින්දි ඒ කතාව නැවැත්තුවේ තමන් අරගෙන ආව තෑග්ග තමන්ගේ දෑතින්ම විවර කර සනුකි ඉස්සරහින් තියාය.
“පොඩි දරුවන්ට කොහොමත් ඕවා තේරෙන්නෙ නෑනෙ, අනික අපේ වගේ බබාලට ඔය වගේ දේවල් එකපාරක් කියලා තේරුම් කරවන්න අමාරුයි කියලා අපි දන්නවනෙ. හිමින් තමයි ඉතින් හැමදේම කරන්න ඕන. අනික මේ පොඩි එකෙක් තමන්ට ලැබිච්ච තෑග්ගක් ඕපන් කරලා බලන එක ඔච්චර වස වැරැද්දක් නෙවෙයිනෙ තරංගා” කියා දේවින්දි තරංගාව අස්වසද්දීත් “ඔයා හැමදේම දිහා ඔච්චර පොසිටිව් විදියට බලන්නෙ කොහොමද?” අහන්නට තරම් තරංගාට හිතුනාය. බාග දා ඒ සියල්ලටම හේතුව දේවින්දි පිටුපසින් සෙවණැල්ලක් වගේ රැඳී ඉන්න දේවින්දිගේ සැමියා වන් කෙනෙක්ගෙ සහය තමන්ට නැති හන්දා වෙන්නටත් ඇති බව තරංගා ඒ අස්සේම හිතුවාය.
උපන්දින උත්සවය අවසන් වුනේ තරංගා හිතුව විදියේ ප්‍රශ්න කරදර මුකුත් නැතුවය මේධංගගේත් අම්මාගේත් නොරොක් වෙච්ච මුහුණු ඇරෙන්න අනෙක් සියල්ලම ලස්සනට වෙච්ච එක ගැන තරංගා ඇත්තටම සන්තෝස වුණාය. වෙනදා වගේ කලබල නොකර, සද්ද නොකර තමන් වගේම යාලුවන් එක්ක එක්කහු වී සෙල්ලම් කරන්න ලැබිච්ච සතුටටමදෝ සනුකිත් වෙනදාට වඩා ඉක්මනට නින්දට ගියාය.
තරංගා එදා රැයේ ඇඳට ගියේත් ඒ සන්තෝසයෙනි. කොටින්ම මේධංග තවමත් ඉන්නේ මුහුණ එල්ලාගෙන කියන එකවත් තරංගාට ඒ සන්තෝසෙ මැද්දෙ පෙනුනේ නැත.