සාගර තරංගා – 14

0
5487

“සච් අ නයිස් කපල්” කියමින් විදෙස් යුවලක් සනුකිව වඩාගෙන උන් සාගරවත් තරංගාවත් පසුකර ගියේ ඔවුන් ගාලු මුවදොර අද්දර තනා තිබූ සිමෙන්ති බංකුවක වාඩි වී මුහුද දෙස බලාගෙන කල්පනා කරමින් ඉද්දීය. 

විදෙස් යුවල දෙස බලා සිනාමුසු මුහුණින් ස්තුති කරන්නට සාගර පෙළඹුණත් තරංගා වහා වචන ගොනු කරන්න උත්සහ කලේ “වී ආර් නොට් අ කපල්” කියා කියන්නටය. මෙවන් මොහොතක උදව්වක් ඉල්ලගන්න කෙනෙකු නැති හන්දාම පමණක් සාගරට කතා කරද එයට එක්කහු වූ මේ වැරදි හඳුනාගැනීම සාගරගේ හිතට අපහසුවක් ගෙන දෙන්නට හේතුවක් වනු ඇතැයි යන හැඟීම එයට හේතුවක් උනත්, තරංගා ඒ වචන කරන්නට පෙර විදෙස් යුවල එතනින් නික්ම ගියහ.

සාගර බලාගෙන උන්නේ තරංගාගේ දෙනෙතේ රැඳී තිබුණ බැගෑබර බව දිහාය.

“සමහර දේවල් තියෙනවා තරංගා අපි උත්තර බඳින්න ඕන නෑ. උත්තර බැන්දා කියල තේරුමක් නැති. එහෙම තේරුමක් නැති දේවල් වෙනුවෙන් අපි කාලය, ශ්‍රමය වැය කරන එක ඇත්තටම අපරාදෙ. අපේ ජීවිතවලට වැදගත් නැති මිනිස්සු අපි ගැන හිතන කියන දේවල් වල හරි වැරදි හදන්න යන එකෙන් නැතිවෙන්නෙ අපේ කාලයයි, ඔලුවෙ නිදහසයි. අපේ ජීවිතවල නැති මිනිස්සු, අපිට ඉම්පෝටන්ට් නැති මිනිස්සු අපි ගැන මොනවා හිතාගත්තම මොකද කියලා හිතලා සද්ද නැතුව ඉන්න එක අපේ පීස්ෆුල් ස්ටේට් ඔෆ් මයින්ඩ් එකට හරිම හොඳයි” සාගර කිව්වේ මේ මොහොතේ වෙච්ච සිදුවීම අලලා පමණක් නොව අතීතයේ වූ බොහෝ දේද අනාගතයේ වෙන්නට නියමිත බොහෝ දේද එකතුකර බව තරංගා හීන් සැරේ හිතුවාය.

“ඩොක්ටර් කියන කතාව ඇත්ත. ඒ උනාට සමහර වෙලාවට අපේ හිත වැඩිපුරම රිදෙන්නෙ අපේ ලඟින්වත් නැති, අපිට අදාලම නැති මිනිස්සු කියන දේවල් නිසා නේද?”

“ඒකට හේතුව අපේ ලඟින්ම ඉන්න මිනිස්සු අපිට මොක කිව්වත් අපි අනේ අපිට මෙයාලා නැතුව බෑනෙ කියලා කොච්චර දුක හිතුනත් නිහඬව දරාගන්න හන්දා. ඒකම තමයි අපි අපේ ජීවිතවලට කරන ලොකුම වරද තරංගා. අපේ ලඟින්ම ඉන්න මිනිස්සු, අපි වැඩිපුරම ආදරේ කරන මිනිස්සු අපිට රිද්දද්දි පවා ඉවසගෙන ඉන්න එක. ඇහුනෙ නෑ දැනුනෙ නෑ ගාණක් නෑ වගේ ඉන්න එක. අපිට ඇත්තටම පුලුවන් වෙන්න ඕන අර අපේ ජීවිතවල නැති මිනිස්සු දෙයක් කිව්වම අපේ හිත රිද්දගන්නව වගේ අපි වැඩිපුරම ආදරේ කරන මිනිස්සු අපේ හිත් රිද්දුවම ඒ ගැන හිතලා දුක්වෙන්න. එහෙම මිනිස්සුන්ව මෙච්චරකල් කොච්චර ලඟින් තියාගෙන හිටියත් අපිට දිගින් දිගටම රිද්දනවනම් ජීවිතෙන් අයින් කරලා දාන්න.

ඒ උනාට අපි කරන්නෙ මොකද්ද ආදරේ වගේ හේතු හදාගෙන එහෙම රිද්දන මිනිස්සුන්ව තව තව අපේ ජීවිතවලට ලං කරලා තියාගන්න මහන්සි වෙන එක. ඒ නිසාම මුලු ජීවිත කාලෙම විඳව විඳව් ඉන්න එක” සාගර හෙමින් සැරේ වචන ගලපා කිව්වේ සාගරයක් තරම් විශාල ජීවන යතාර්තයක් දෝතට ගත් වතුර පොදක් වැනි කෙටි වචන ප්‍රමාණයකින් තමන්ට පැහැදිලි කල එක බව තරංගා වටහාගත්තේ හෙමින් සැරේය.

සාගර කිව් පරිද්දෙන්ම තමන් කලේත් තමන් ආදරය කල මිනිසා තමන්ට තවදුරටත් ආදරේ නැති බව හොඳාකාරවම දැන ඉද්දීත් ඔහු පපුවට එක්ක කල හැම පිහි තුඩක්ම, ඒ හැම පිහි තුඩක් අගම තැවරී තිබුන හැම වේදනාවක්ම හීන් සැරේ දරාගත් එක බව තරංගාට මේ මොහොතේ සිහිපත් වුණාය.

සනුකි අනෙක් දරුවන් වගේ නිසි වයසෙදි බිම පෙරලෙන්නේ නැති වූ විට,වචන ගලපා කතාකරන්න උත්සහ නොකරන විට තරංගාත් මේධංගත් සනුකිව වෛද්‍යවරයා ලඟට සනුකිව අරගෙන ගියේ ” අයෑම් සොරි ටු සේ දිස්. ඔයාලාගෙ බබාට ඕටිසම් තත්ත්වයක් තියෙනව වගේ පෙන්නනවා” යන වචන අසන බලාපොරොත්තුවකින් නොවේ. 

එදා රැයේ ආපහු ගෙදර ආවේ සනුකිව තුරුලු කරගෙන ඒ ගෙදරින් හැන්දෑවේ වෛද්‍ය හමුව සඳහා පිටත්ව ගිය තරංගාවත් මේධංගවත් නොවේ. 

“මොකද ළමයො දොස්තර කිව්වෙ?”කියා අසමින් නැන්දම්මා ඉදිරියට එද්දී තරංගා සනුකිවත් වඩාගෙන කාමරයට ගියේ ඇත්තටම දොස්තර කිව්ව දේ වචනවලට හරවා නැන්දම්මාට කියන්න තරම් මානසිකත්වයක තමන් උන්නේ නැති හන්දාය. එදා රැයේ සුපුරුදු පරිදි සනුකිව නින්දට යනතුරු බොහෝ වෙලාවක් ඇයව තුරුලු කරගෙන කිරි සුවඳ හමන හිස සිඹිමින් උන් තරංගා නිදාගනු පිණිස ඇඳට ආවේ මේධංග නිදාගන්නට ඇවිල්ලත් බොහෝ වෙලාවකට පස්සේය. 

“අපි දැන් මොකද කරන්නේ මේධංග?” කියා අසමින් ඔහු දිහාවට හැරී පපුවට උඩින් අතක් දමා තරංගා හෙව්වේ ඒ මොහොතේ පමණක් හෝ හිත සනසාගන්නට හැකි අන්දමේ ආදරබර, හිත හයිය කරන වචන පේලියකි. එහෙත් මේධංග උන්නේ තරංගා සනසන්නට වචන ගලපන අදිටනක නොවේ.

“මොනවා කරන්නද ඉතින්.කරුමෙ පලදුන්නම විඳවන්න වෙනවා මිසක්කා” කියමින් තමන්ගේ පපුව මත රැඳී තිබිච්ච තරංගාගේ අත විසි කරන්න මෙන් ඉවතලමින් මේධංග තරංගාට පිටුපා ඇඳේ පැත්තකට හැරුණේය.

එදා ඒ වචන නිසා හිතට ඇණුන පලවෙනි පිහිතුඩෙන් හටගත් වේදනාව හන්දා ඇහෙන් වැටිච්ච කඳුලු පමණක් නොව ඉන්පස්සේ ඇණුන දහසක් පිහිතුඩු නිසාවෙන් තමන් ඇතැම් විටක හෙලුවාවූද ඇතැම් විටක සඟවාලූද කඳුලු මේධංග නොදැක්ක බව තරංගාට මතකය.එහෙම බලද්දී සාගර කියූ කතාව ඇත්තක් බව නොසිතා ඉන්න පුලුවන්කමක් තරංගාට නැත. තමන් හිත වඩාත්ම රිද්දගත්තේ දිවිහිමියෙන් ආදරය කල මිනිසෙකු හන්දාය. ආදරේ යැයි සිතමින් ඔහු තමන්ව අනන්ත වේදනා ගංගාවක ගිල්වද්දී හැරදමා එන්නට කල් ගත්ත හන්දාය.

“ඩොක්ටර් ඒ කතාව කිව්වෙ හරියට ලොකු කලකිරීමකින් වගේ”

“අපි කාටද තරංගා ජීවිතේ කලකිරීම් නැත්තෙ. හැම මනුස්සයෙක්ම ලෝකෙට පේන්න හිනාවෙලා උන්නට අතීතයේ වෙච්ච දෙයක් හන්ද හරි වර්තමානයේ වෙමින් පවතින දෙයක් හන්දා හරි පොඩි හරි කලකිරීමක් හිත අස්සෙ හිරකරගෙන තමයි ඉන්නෙ. එක එක මිනිස්සු ඉතින් ඒක විඳ දරාගන්න විදිය වෙනස්. සමහරු ඒ කලකිරීම ලෝකෙට පෙන්නනවා. සමහරු හංගගෙන ඉන්නවා” කියා සාගර ආයෙ වතාවක් තරංගා දෙස බලා හීන් හිනාවක් පෑවේය. තමන් කිසිදාක නැති පරිද්දෙන් මිතුරෙකුත් නොවන අවස්තා දෙක තුනකදී පමණක් හමු වූ තරංගා එක්ක මෙහෙම දේවල් කතාකරන්නෙ ඇයිද කියා සාගරවත් දැන උන්නේ නැත. එහෙත් වචනයෙන් අර්ත දක්වන්නට නොහැකි යම් කිසි විශ්වසනීය හැඟීමක් තමන්වත් තරංගාවත් එකිනෙකාට වඩා ලං කර ඇති බවක් පමණක් සාගරට තේරුම් ගොස් තිබුණේය. 

“බබාට හොඳටම නින්ද ගිහින් ඩොක්ටර් අතේ”

“ඒක හොඳයි. අතන සද්දෙ එක්ක උන්නා නම් තාම මේ දරුවා ඇහැරන් අඬ අඬ දුක් විඳිනවා. පාටි දාලා විනෝද වෙන එකේ වරදක් මං දකින්නෙ නෑ. ඒ උනාට ඉතින් අහල පහල මිනිස්සුන්ටත් කරදර වෙන විදියට ඔහොම සද්ද දාන් විනෝද වෙන එක නම් ඇත්තටම අනුමත කරන්න බෑ. කොච්චර අපේ රටවල් අපිට හොඳයි කියලා කිව්වත් මේ වගේ කාරණාවලදි තමයි එංගලන්තෙ වගේ රටවල් කොච්චර ඩිවලොප්ඩ් ද කියලා තේරෙන්නෙ”

“අපේ රටවල්වලට ඇත්තටම දියුණු වෙන්න බැරිවෙලා තියෙන්නෙ අපේම ආකල්ප හන්දා කියලා තමා මම නම් හිතන්නෙ ඩොක්ටර්. අපේ රටේ මිනිස්සු මොකක් හරි මුලු සමාජෙටම හරියන හොඳක් කරන නීතියක් ගෙනාවත් කරන්නෙ ඒකෙ අඩුපාඩු එහෙම හොයන එකනෙ. මිනිස්සු වෙනස් නොවී ඉතින් අපිට ඇත්තටම රටක් විදියට ඉස්සරහට යන්න බෑනෙ. 

මම බබාව ගන්නද ඩොක්ටර්? ඩොක්ටර්ගෙ අතත් රිදෙනවා ඇති දැන් එයාව වඩාගෙන ඉඳලා”

“නෑ. ඔහොම ඉඳපු දෙන්. ආයෙ ඔයාගෙ අතට මාරුවෙන්න ගියොත් ඇහැරෙයි. තරංගාගෙන් මං අහන්න ඉඳියෙ. මම දන්නෙ නෑ මම මෙහෙම අහන එක කොච්චර හොඳද කියලා. ශ්‍යාමනී මෙහෙන් අයින් වෙලා. යන්න කලින් එයාගෙ පේශන්ට්ලා ඔක්කොම ගැන මට ඉන් ඩීටේල් කියලා ගියේ. ස්පෙශලි තරංගා ගැන. සෝ අයෑම් අවෙයාර් ඔෆ් යුවර් සිටුවේශන්. 

දැන් තරංගා මොනවද කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ?”

“ඩිවෝස් එක ගැනද ඩොක්ටර්?”

“ඔයා ඩිවෝස් කියන ටර්ම් එක යූස් කරේ ඒ ගැන තීරණයක් අරගෙනනෙ. ඒ කියන්නෙ අපිට තව ඒ ගැන කතාකරන්න දෙයක් නෑනෙ. මම ඇත්තටම ඇහුවෙ බබා ගැන. ඔයා ඉස්සරහට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here