නාස්තිකාරයා

ගයානි පරිප්පු කරියේ ලුණු බැලුවේ හිත බර කරගෙන.කුස්සියේ කිසිම දෙයක් නෑ.ඉතුරු වෙලා තිබුණු එකම එක බිත්තරයෙන් ඔම්ලට් එකක් දාලා නාගන්න ගියෙත් කල්පනා කර කර.එන මාසේ වැටුප් ගන්න තව දවස් එහෙමමයි.ඒත් සල්ලි ඉවර වෙලා ටික දවසක්.

“මොනවද චාමර ඔච්චර ණය?”

ගයානි එහෙම අහනකොට අර බිස්නස් එක කරන්න මේ බිස්නස් එක කරන්න ණය ගත්තු හැටි ගැන චාමරට දිග විස්තරයක් තියනවා.දියුණු වෙන්න උත්සාහ කරන කෙනෙක්ට උදව් නොවී ආඩපාලි කියන්න හොඳ නැහැ කියලා ගයානි මුලදී හිතුවත් චාමරගේ තියෙන්නේ නාස්තිය විතරයි කියලා ගයානිට තේරිලා දැන් ටික දවසක්.ඇයි බෝතලයකටම මොනතරම් ගාණක් යනවද?

“චාමර,ඔයා මේ ඔම්ලට් එකම කෑවද?”

නාගෙන ඇවිල්ලා බත් බෙදා ගන්න ගිහින් ගයානි ඇහුවේ කලකිරීමෙන්.

“ආ ඔව්! ඔයා එකක් හදා ගන්න.”

ෆෝන් එකට මුහුණ ඔබාගෙන චාමර කියනකොට ආයේ බිත්තර නැති බව කියලා ගයානි පරිප්පුයි බතුයි කන්න පටන් ගත්තා.

“මේ දවස්වල ඔෆිස් එකට හැරෙන හන්දියේ හොරෙක් ඉන්නවලු අනේ.”

කාර්යාලයේ දී දවල් කෑම කන ගමන් සාවිත්‍රි කියනකොට ගයානි හූමිටි තිබ්බා.රටේ ප්‍රශ්න අහන්න තරම් හිතට නිදහසක් නැහැ.හිතේ ප්‍රශ්න ඒ තරමට පිරිලා.

“මම හිතුවේ ඔයා දන්නව ඇති කියල.කරේ චේන් එකත් නැති නිසා.මමත් අනේ හෙට ඉඳන් මොකුත්ම දාන්නේ නෑ.”

සාවිත්‍රි එහෙම කියනකොට ගයානිට බෙල්ලට අත ගිහින් හීල්ලුනා.කරන්නම දෙයක් නැති තැන කර මාලය උගස් කරේ පෙරේදා හවස බව සාවිත්‍රිට කියන්නේ කොහොමද?

“ඒ බිස්නස් එකෙනුත් මෙලෝ ලාබයක් නෑ..”

චාමර එහෙම කියන්නේ කීවෙනි වතාවටද කියලා ගයානි කල්පනා කළා.

“චාමර, ඔයා රස්සාව හරියට කරන්නකො.
බිස්නස්වලින් දැන් දිගටම පාඩුයිනෙ.අනික ඔයාට උහුලගන්න බැරි ගණන් වල ෆෝන් ගන්නයි එක එක දේවල් වලටයි ඔහොම සල්ලි නාස්ති කරන්න එපා.බලන්නකො, ක්‍රෙඩිට්කාඩ් බිල්ම කීයක්ද? ඔක්කොම අනවශ්‍ය වියදම්.”

ගයානි එහෙම කියනකොට චාමර හයියෙන් හිනා වුණා.

“රජයේ සේවිකාවක් බැඳල ඉන්න මට සල්ලි අඩුපාඩු නෑනෙ..”

ගයානිට කාර්යාලයේ නැහෙන තරමට වැටුපක් නැති වුණාට චාමරට ඒ වැටුපත් වියදම් කරන්නනම් ඕනෑවටත් වඩා හේතු තියනවා. ගයානිගේ වැටුප එන දවසට අර බිල් මේ බිල් අර ණය මේ ණය කියලා සල්ලි ඉල්ලන චාමර ගැන දැන් දැන් ගයානිට එන්නේ තරහක්.

“ඇඳුමක් ගත්තු කාලයක් මතක නෑ.”

ගයානි එහෙම කියනකොට චාමර හෙළන්නේ නොරිස්සුම් බැල්මක්.

“ගෑනුන්ට ඉතින් කොච්චර තිබ්බත් මදිනෙ..”

අනිත් තරුණියන්ට එහෙම වුණත් තමන් යට ඇඳුම් පවා අඳින්නේ අණ්ඩ දමාගෙන කියලා මතක් වෙනකොට ගයානිට දැනෙන්නේ ආත්මානුකම්පාවක්. චාමරගේ අධික වියදම් නැති වුණානම් මේ වැටුප සාමාන්‍ය ජීවිතයකට ප්‍රමාණවත් කියල ඇය දන්නවා.

“අනේ, ඊයේ  කල්හාරිට බබා හම්බෙලා නේද? ෆොටෝස් එව්වද ඔයාටත්?”

එක දවසක් උදේ සාවිත්‍රි එහෙම අහනකොට ගයානිට හීල්ලුනා.ඒ පුංචි පැටියාගේ මුහුණ දකිනකොට ඇයටත් අම්මා කෙනෙක් වෙන්න පුදුමාකාර ආසාවක් ආවා.ඒත් තමන්ගෙ වියදම්වත් පිරිමහගන්න බැරුව මොන බබාලද?

“චාමර ඔයාට අද දවස මතකද?”

දවසක් පුරා මඟ බලලා එක දවසක් ගයානි චාමරගෙන් ඇහුවේ කලකිරීමෙන්.

“අද සෙනසුරාද.”

චාමර කියන්නේ ජංගම දුරකථනයෙන් ඔලුව උස්සන්නේවත් නැතිව.

“සෙනසුරාදා තමයි.අද මගෙ උපන් දිනේ…”

චාමර යන්තම් ඔලුව උස්සලා බැලුවා.

“ආ සුබ උපන්දිනයක් ගයා.මොකුත් අරන් දෙන්නවත් නම් මගෙ අතේ කීයක්වත් නෑ..”

ගයානිට මහා ලොකු තෑගි ඕනෑ නෑ.ඒත් අද දවස මතක තියාගෙන පුංචි තෑග්ගක් අරන් දෙන්න තරමේ සංවේදීකමක් චාමරට නොවීම ගැන ඇය ආයේ ආයේ දුක් වුණා.උපන්දිනයක් එන්නේ අවුරුද්දකට වතාවයි.ඒ ගැන වගක් නැති චාමරගේ ළඟ ආදරේ ඉතිරියි කියලා ගයානිට හිතෙන්නේ නෑ.

තමන්ගේ වැටුපෙන් රුපියලක්වත් ඉතුරු කර ගන්න නොදෙන,ගයානි කෑවා හෝ නොකෑවා උයලා දෙන දේ ගිලලා දාන,බේබදුකම ඉහ මුදුනේ තියා ගත්තු,ගයානිගේ රන් බඩු සේරම උකස් කරලා දාපු,ඒත් වචනයක් වැරදෙනකොට අත උස්සන චාමර තවදුරටත් ස්වාමි පුරුෂයා විය යුතුද කියලා හිතන්න දවසක් ගයානිට ආවා.

“මාව දික්කසාද කරලා උඹ කරයි..”

චාමර එහෙම කීවත් දුක් කසාදයක් දිගින් දිගට ඇදගෙන යාම ඵල රහිත බව ගයානි තරයේම හිතුවා.නඩු තීන්දුව දෙන දවසේ චාමරගේ මුහුණේ තිබුණේ පසුතැවීමක්.

“අරපිරිමැස්මෙන් ජීවත් වෙන්න බලන්න.”

අවුරුදු තුනක්ම තමන් හූරාකාපු මනුස්සයාට එහෙම කියලා ගයානි එන්න ආවා.

“ඔයාට තාම තිස් එකයිනෙ පුතේ.අපි කටයුත්තක් බලන්නං.”

දික්කසාදයෙන් පස්සේ ආයේම ඔලුව උස්සමින් හිටිය ගයානිට අම්මා එහෙම කියන්න ගත්තේ හිත නොරිද්දා.අම්මලගෙ බල කිරීමට තමයි ගයානි විරාජ්ගේ යෝජනාව පිළි ගන්න තීරණය කළේ.

“මං හවුසින් ලෝන් එක ටික ටික ගෙවන්නං..ගෙදර වියදම් බලා ගන්න ඔයාට පුලුවන් නේද?”

විරාජ් අහනවා.විරාජ් තනියම හදල තිබුණු තනි මහල දෙමහල් නිවසක් කරන මෙහෙයුමට මැදි වෙලා ඉන්න ගමන් ගයානි හිස වනන්නේ හීන් සන්තෝසයකින්.

“අද අපි එළියෙන් කාලා යමු.මෙයාටත් බඩගිනි පාටයි.”

ට්‍රැෆික් පෝලිමක පුංචි මෝටර් රථය නවත්තාගෙන  ඉන්න ගමන් විරාජ් අහන්නේ ගයානිගෙ නෙරා ආ කුසට අතක් තියලා.මේ වගේ කුසක් අරගෙන බස්වල හිර වෙවී ගෙදර ගිහින් මොනවද උයන්නෙ කියලා හූල්ලන්න කාලයක ජීවත් වෙන්න උනානම් කියලා ගයානි හිතන්න ගත්තා.

“අර ඔයා ලියාගෙන හිටිය බඩු ලැයිස්තුව,මේ මාසෙ නම් ගන්න අමාරුයි ගයෝ..චැනලින් වලටත් සල්ලි ටිකක් ගියානෙ.ඊළඟ මාසෙ කරගන්න පුලුවන්.”

විරාජ් එහෙම කියන්නේ සමාව ඉල්ලන කටහඬකින්.එහෙම තමයි! අගහිඟකම් මොන පවුලකටත් පොදුයි.හැබැයි සාධාරණ හේතු තියෙන්න ඕනෑ.

“මං ඉතුරු කරගත්තු සල්ලි ටිකක් තියනව.ඒකෙන් ගමු..”

ඉස්සර ඒටීඑම් මැෂින් එකට ගිහින් අන්තිම සතය පවා හිඳී යන අන්දම බලාගෙන හිටිය හැටි මතක් කරගෙන ගයානි කියනවා.

“ඔයාගෙ සල්ලි තිබුණදෙන්..”

විරාජ් එහෙම කියලා මෝටර් රථයේ වේගය අඩාල කරන්නේ සෙනඟ පිරුණු තැනක තදබදය නිසා.

“මිනිස්සුන්ට සල්ලි නෑ කියන්නත් බෑ.බලන්නකො බාර් ගාව ඉන්න සෙනඟ..”

විරාජ් එහෙම කියලා හිනා වෙනවා.

“ඔයාටත් ඔය හිටිගමන් අනුමත වෙන්නේ..”

ගයානි ඒ හිනාවට එකතු වෙන්නේ සෙනඟ පොකුර  ඇතුළේ අහම්බෙන් දැක්ක පුරුදු රූපය අමතක කරන්න ඇස් පිහදාන ගමන්.

More Stories

Don't Miss


Latest Articles