“මං ඊයේ තරංගාව දැක්කා ආසිරි එක ලඟදි” කියා මේධංගට කිව්වේ ගාමිණීය. තමනුත් තරංගාත් ඉන්නේ සෙපරේට් වී බව ඔෆිස් එකේ කවුරුවත් දන්නේ නැති හන්දා මේධංග ඒ කතාව පස්සේ එච්චර පන්නන්න හිතුවේ නැත. අනෙක කොහොමටත් ඉරිඳා ට තරංගා ළමයාව ඔක්කෙ ගහගෙන ඉස්පිරිතාලෙ මොකක්ද එකකට යන බව දන්න හන්දා මේධංගට ඒක ගැන එච්චර හිතන්න දෙයක් තිබ්බේ නැත.
“ආහ් ඔව් අර හොස්පිටල් එකට යනවනෙ ඩොක්ටර් විසිට් වලට”
“මාත් හිතුවා. මං ඒත් බැලුවා උඹ ඉන්නවද කියල කතාකරන්නවත්. හැබැයි තරංගා ගිහින් නැග්ගෙ වෙන කාරෙකකට. ඒකෙන් මං තේරුම්ගත්තා උඹ ඇවිත් නෑ කියලා”
“ආහ් ඔව් පික් මී එකක් දාගෙනනෙ යන්නෙ” කියා මේධංග ආයෙම වතාවක් පරිගණකය දිහාවට හැරුණේ තවත් ඉතින් ඕක ගැන කියන්න කතාකරන්න දෙයක් නැති හන්දාය.
“ඉස්සරහ සීට් එකට නැග්ග හන්දා මං හිතුවෙ අඳුරන කවුරුහරි කියලා” ගාමිණී කිව්වේ යාන්තම් සිනාසෙන ගමන් ය. හිත ඇතුලේ රතු එලියක් පත්තුවෙන බව තේරුම්ගියත් මේ මොහොත කියන්නේ ඒ එලියට එලියට දාන්න හොඳම වෙලාව නොදන්නා හන්දා මේධංග ගැලවිජ්ජාවට කියන්න උත්තරයක් වහාම හදාගත්තේය.
“ආහ් ඔව් මට අමතක වුණානෙ, තරංගලගෙ දෙණියායෙ ඉන්න අයියල ආව ඊයෙ. තරංගා එයා එක්කම තමයි හොස්පිටල් ගියේ” කියා ආයෙමත් කම්පියුටර් එක දිහාට හැරුණාට, ඇස් තිබුනේ කම්පියුටර් තිරය මත වුනාට මේධංග උන්නේ ගාමිණී කිව්ව කතාව ගැන හිතමින් ය.
“ආහ් ඒක තමයි. කවුරුහරි ජෙන්ට් කෙනෙක් තමයි උන්නෙ. තරංගා හිනාවෙවී කතාකල විදියට මාත් ඒත් හිතුවා අඳුරන කෙනෙක් වෙන්නැති කියල” ගාමිණී එහෙම කියමින් එතනින් නික්ම ගියත් මේධංගට හිත ඇතුලේ ඇවිලෙමින් තිබූ ගින්න නිවාගන්න පුලුවන් ක්‍රමයක් හිතාගන්න පුලුවන් වුණේ නැත. ගාමිණී කියන විදියට තරංගා ඊයේ ඉස්පිතාලෙට ළමයා පෙන්නා කවුරුන් හෝ මිනිහෙක්ගේ කාර් එකක නැගී පිටත්වී ගොස් තිබේ. එවෙලේ කරන්න දෙයක් නැතිකමට ඒ තරංගාගේ අයියා බව කිව්වත් අයියට තිබෙන්නේ කාර් එකක් නොවේ, පරණ වෑන් රියක් බව මේධංග දනී. තරංගා ගෙදරින් පිටත්ව ගිය මාස කිහිපයට අයියා කාර් එකක් අරගන්න ඇති බවක්වත්, ඒකෙන් තරංගාව ඉස්පිරිතාල ගානෙ අරගෙන යනු ඇති බවක්වත් හිතන්න සාධාරණ හේතුවක් මේධංගට නැත.
“ඕකි ඒ ඩිංගට තව කාත් එක්ක හරි පැටලුණාද?” කියා තරංගා ගැන හොඳටම දන්න හන්දා හිතන්න හිත ඉඩ නුදුන්නත් දරුවෙක් උන්නත් තරංගාට තාම තියෙන්නෙ මනහර කෙලි පෙනුමක් බව මතක් වෙද්දී එහෙම දෙයක් නොවී තියෙන්නත් බැරි බව මේධංග සිතුවේය.
ඒ සිතුවිලි පෙරදැරි කරගෙන ඉන්පසුව ඔෆිස් එකේ වැඩ පල ටික හරියට කරගන්න මේධංගට පුලුවන් වුනේ නැත. තරංගා නැවතී ඉන්නෙ කොහෙද කියා හොයාගන්න මේධංග හිතුවේ ඒ වෙලාව ඇතුලේය. එහෙත් ඒක තරංගාගෙන් අහන්න අමාරු බව දන්න හන්දාම එදා ඩිවෝස් එක ගැන කතාකරන්න තමන්ට ඇමතූ නීතිඥවරිය අමතන්න මේධංග හිතුවේය.
එහෙත් නීතිඥ කේතකී මහඉලුක්කුඹුර උන්නේ ඒ වගේ තොණ්ඩුවකට ලේසියෙන් බෙල්ල තියන්න හිතාගෙන නොවේ.
“මම ඒත් හිතුවා මිස්ට ගුණරත්න මට මීට කලින් කන්ටැක්ට් කරගනීවි කියල, මොකද තරංගාගෙ පැත්තෙන් නම් අපි ඔක්කොම දේවල් රෙඩි කරගෙන ඉන්නෙ. මට මිස්ට ගුණරත්නගේ ලෝයර් එක්කත් කතා කරන්න තිබුණා නම් අයිඩියල්”
“තරංගායි මායි අතරෙ ප්‍රශ්නයක් වුනා තමයි, ඒ උනාට මම හිතන්නෙ නැහැ ඒක මේ අපි දෙන්නට ඩිවෝස් වෙන්න තරම් රීසන් එකක් කියලා”
“ම්ම්ම් තරංගගෙ පැත්තෙන් එයා මට හැමදේම කිව්වා. මම නෝමලි ක්ලයන්ට් කෙනෙක් ආව ගමන් කේස් එකක් භාරගන්න ලෝයර් කෙනෙක් නම් නෙවෙයි, මම ඒත් තරංගටත් කිව්වා මුලින්ම ඕන නම් කවුන්සලින් වගේ ගිහින් ගිව් ඉට් අනදර් ශොට් කියලා. හැබැයි එයාම කිව්ව නිසා තමයි මම මිස්ට ගුණරත්නට කෝල් කරේ.
බට් ඉෆ් යූ වෝන්ට් ටු රී ලුක් ඇට් ඉට් ප්ලීස් ගෝ අහෙඩ් ඇන්ඩ් ටෝක් විත් තරංගා මිස්ට ගුණරත්න”
“ඔව් ඒක තමයි ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ එයා මගේ කෝල්ස් ආන්ස්වර් කරන්නෙ නැති එකනෙ. සෝ මැඩම්ට පුලුවන්ද මට පොඩ්ඩක් කියන්න තරංගා දැන් ඉන්න තෑ ඇඩ්‍රස් එක. සෝ මට එයාව මීට් වෙලා කතාකරන්න පුලුවන් නෙ මේ ගැන”
“අයෑම් එක්ස්ට්‍රීම්ලි සොරි මිස්ට ගුණරත්න ඒක නම් මට කරන්න බෑ. මිස්ට ගුණරත්නට තරංගා තමන් ඉන්න තැන කිව්වෙ නැත්තම් ඒකට මොකක් හරි රීසන් එකක් ඇතිනෙ. සෝ මට බැහැනෙ ඒ වගේ පර්සනල් ඉන්ෆොමේශන් එකක් තරංගාගෙන් අහන්නෙ නැතුව මිස්ටර් ගුණරත්නට වුණත් රිලීස් කරන්න” නේද කියා කේතකී මහඉලුක්කුඹුර දුරකතනය විසන්ධි කරද්දී මේධංගගේ කටට ආවේ තිත්ත කුණුහරුපය.
“මේ ගැණු ඔක්කොම හිතාගෙන ඉන්නෙ උන්ගෙ අරක තියෙන්නෙ නලලෙ කියලා” කියමින් මේධංග දුරකතනය ඇඳ උඩට විසිකර කාමරයේ එහා මෙහා ඇවිද්දෙ ඊලඟට කරන්න ඕන මොකද්ද කියා හිතාගන්න බැරුවය. කෙලින්ම මේ ගැන තරංගාගෙන් අහන එක ඕන බොරුවක් කියන්න ඈට දෙන වරමක් වගේ හන්දා මේධංගට උවමනා කරන්නෙ අතටම හැමදේම අල්ලගන්නය. ඉන්පස්සේ “තමුසෙ මාව රවට්ටන්න හැදුවත් මම ආයෙම තමුසෙවයි දරුවවයි භාරගන්නවා” කියා වැරැද්ද තරංගා පිටට දමා මේ දික්කසාද වෙන කතාව ඔලුවෙන් අයින් කරලා දාන්න පුලුවන් බවත්, ඔහොම වරදක් කරපු ගෑණියෙක් ඉන්පස්සෙ කොහොමත් කටගහගෙන එන්නෙ නැති බව දන්න හන්දාත් කරන්න තියෙන හොඳම දේ ඒක බව මේධංග හිතුවේය.
මේධංගට ඇත්තටම තරංගාව දික්කසාද කර දමන්න උවමනාවක් තිබ්බේ නැත. මේධංගට උවමනාව තිබ්බේ තරංගාට පාඩමක් උගන්වා ඇගේ හිතේ හයියත් කටේ හයියත් වසා දමන්නය.
“හරිහමං දරුවෙක් වත් දෙන්න පුලුවන් උනා නම් තව කමක් නෑ. ඒ මුකුත් බැරුව තව කියවන්නත් එනවා යැයි” මේධංගගේ හිතේ තරංගා සතුව තිබූ අසාමාන්‍ය ශක්තිය ගැන තිබ්බේ කෝපයකි. තරංගාගේ තාත්තා මිය ගොසින් තිබුනේ ඇය සාමාන්‍ය පෙළ කරන කාලයේය. අනතුරුව දුවවත් පුතාවත් හොඳින් උගන්වා උස් මහත් කරන්න තරංගාගේ අම්මා දරා තිබුණේ අපමණ වෙහෙසකි. තාත්තා සතුව තිබූ ඉඩම් කෑල්ලේ එලවලු වවන්නත් තාත්තා කරගෙන ආ සිල්ලර කඩය බැරි අමාරුකම් මැද්දේ කරගෙන යන්නත් අම්මා අපමණ වෙහෙසක් දරද්දී එයට සවියක් වනු පිණිස අයියා භානුක උසස් පෙළ අවසන් කල වහා අම්මාගෙන් කඩ කෙරුවාවත් ඉඩම් කෙරුවාවත් තමන්ගේ දෑතට ගත් බව තරංගා අනන්ත වාරයක් තමාට කියා තිබෙන බව මේධංගට අමතක නැත.
“අයියා කොච්චර හොඳ රිසල්ට්ස් තිබිලත් හයර් ස්ටඩීස් කලේ නැත්තෙ මට උගන්නන්න උවමනා තිබ්බ හන්දා මේධ. අම්මට හැමදේම තනියෙන් කරගන්න බැරි හන්දමයි අයියා ඒ හැමදේම කලේ. නැත්තම් අපෙ අයියා මටත් වඩා දක්ශයි ඉගෙනගන්න. අයියට හැමදාම මගෙ වියදම් බලන්න බැරි හන්දමයි මම ටියුශන් කරන්නෙයි පාට් ටයිම් ජොබ් එකකට ගියෙයිත්. මට ස්ටඩීස් එක්ක හැමදේම බැලන්ස් කරගන්න එක කොච්චර මහන්සි වුණත් අයියගෙ කරේ තියෙන බරෙන් මගෙ කොටස හරි අඩුකරන්න පුලුවන් වෙච්ච එක මට මාරම ලොකු දෙයක්” කියා ලෙක්චර්ස් ඉවර වුණයින් පස්සේ ෆ්‍රීලාන්ස් වැඩත් ටියුශන් පංතිත් කරමින් වෙහෙස වෙන තරංගාව එකල මේධංග දැක්කේ “පුදුම හිත හයිය ගෑණියෙක්” විදියටය. එහෙත් විවාහය ඇතුලේ තමන්ට වඩා ඉක්මණින් ඉහලට ගිය තරංගා ගැන හිතේ තරහක් හිත කෙලවරක හැංගී තිබෙන බව තේරුම් ගන්න පුලුවන්කමක් මේධංගට තිබුනේ නැත.
මේධංග තරංගාගේ හොර අල්ලන්න හිතුවේ ඒ නිසාය. තමන් නැතුව ඇයට අනාගතයක් නැති බව පෙන්වන්න උවමනා නිසාමය.