සඳක් තනියම  – 36

0
6612

මිලීනා  ප්‍රියංකාගේ දුරකථන අංකය දිනාරාගෙන් ඉල්ලා ගත්තේ මින් දින කිහිපයකට ඉහතදීය.ඇය පැවසූයේ මේ දේපළ සම්බන්ධව ඉදිරියේදි කලයුතු  යමක් ප්‍රියංකා හා පැවසීමට ඇති බවය.

ඇය  ප්‍රියංකාට දුරකතන ඇමතුමක් ලබාගත්තේ ඉන් දෙදවසකට පසු දහවලකදීය.

“ මම මිලිනා ජයසුන්දර..”

එහා පසින් ඇසුණු ගැඹුරු හඬ ප්‍රියංකා විසින් හඳුනාගත්තේ ඇය නම කියා තමාව හඳුන්වා දෙන්නටත් ප්‍රථමවය.

“ කියන්න මැඩම්…”

“ කොහොමද අපේ සුදු මැණිකේ..”

“ අනේ මැඩම් කියන්න තරම් වරදක් නෑ. පාඩුවේ රාජකාරී වැඩක් කරගෙන ඉගෙනීමේ වැඩක් කරගෙන ඉන්නවා.කොහොමටත් ඒ තමන්ගේ පාඩුවේ ඉන්න දරුවෙක්නේ..”

“ මේ වගේ ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ උනාට ජයසුන්දර වලව්වේ ලේනේ ඒ.ප්‍රියංකා දන්නවා ඇතිනේ මං මගේ යුතුකම් ඉෂ්ඨ කලා ඒවයේ ඔප්පු තිරප්පු මං ලඟදීම සුදු මැණිකෙගේ අතටම බාර දෙනවා..දැන් ඔය කරනවයි කියන උපාධිය ඉවර වෙන්න තව කොච්චර කල් යනවද.”

“ තව අවුරුදු දෙකක් විතර යනවා මැඩම්.ඊට පස්සේ පී.එච්.ඩී  එකක් කරන්න කියලා තමයි මං හිතන්නේ දුව බලාපොරොත්තුවෙන් ඉන්නේ.ඉගනීමට වයස බේදයක් නැහැනේ..”

ප්‍රියංකා එසේ පැවසූයේ මිලීනා මේ හදිසියේ තමා ඇමතූයේ හොඳකටනම් ⁣නොවනබව දැන උන් නිසාය.

“ නෑ… නෑ ..එච්චර දුර යන්න අවශ්‍ය නෑ.ගෑනු ළමයෙක්ට තමන්ට ඉගෙනීමේ සුදුසුකම් තියෙනවා කියලා කියන්න උපාධියක් විතරක් තිබුනහම ඇති.මම එයාට සුදුසු තැනකින් විවාහ කටයුත්තක් බැලුවා.”

“ අනේ මැඩම් ඒකනම් දැන්ම  කරන්න එපා.තතාම විසි දෙක ලැබුවෙත් නැහැනේ.ගෑණු දරුවෙක් අඩු ගානේ අවුරුදු විසිපහක් වෙනකල්වත් ඉන්නවනම් හොඳයි.”

“ මම මේ කතා කළේ ප්‍රියංකාගෙන් උපදෙස් ගන්න නෙමෙයි. මේ දරුවා බලන්න ළඟදීම ඒ ළමයා එනවා කියලා කියන්න.”

“ මොනවා කරන කෙනෙක්ද..කමක් නැද්ද මං එහෙම ඇහුවට..

“ ඒකට මොකද..ඒ ළමයා රජයේ ඔෆිස් එකක එකවුන්ටන්  කෙනෙක්.අපේ සුදු මැණිකට වඩා අවුරුදු හතක් වැඩිමල් ඒ උනාට මං දන්න කියන තැනක ළමයෙක්.මම හිතුවේ ඉක්මනින්ම මේවා පිළිවෙලක් කරලා විවාහ ලියාපදිංචියේ වැඩ කටයුතු කරන්න.ඊට පස්සේ ඕන නම් බැරිය ඔය උපාධිය ගත්තට පස්සේ මඟුල් ගේ ගන්න.ඒක එයාලගේ කැමැත්ත විදිහට.මං වියදම් කරනවා ව්තරයි.”

“ මොන දේ කරන්නත් ඉස්සර වෙලා දිනාරාගෙන්  අහලා හිටියොත් හොඳයි නේද මැඩම්.එයා මොනව සැලසුම් කරගෙන ඉන්නවද දන්නේ නැහැනෙ.”

“ ඒක කොළඹ සාම්පලේ . මේ ගමේ ජයසුන්දර වලව්වේ සාම්පලේ…දරුවන්ගෙන් අහල දරුවොන්ට ඕන දේවල් කරන්න දුන්නෙ නෑ මෙහේ. අපි දරුවන්ට නරකක් කරන්නේ නෑ.අපි හොයන්නේ හොඳම දේ සුදුසුම දේ..”

තවදුරටත් මේ ගැන ඇය හා කතා කර පලක් නැතැයි සිතූ ප්‍රියංකා නිහඬ වූයේ හිතාමතාමය.තමා විවාහ නොවූවත් ඈ කෙදිනකවත් යුවතියකට විවාහයක් අනවශ්‍යයය යන තීරණයේ සිටියේ නැත.එහෙත් එයට දිනාරාගේ කැමැත්ත තිබිය යුතුය යන්න ප්‍රියංකා උපරිමයෙන් විශ්වාස කළාය.ජීවිතය බෙදා ගන්නේ ඔවුන්ය.ජීවත් විය යුත්තේ ඔවුන්ය.

“ මම කැමති නැහැ ඔය ගෙදරට ඒ ළමයා එනවට. අපි ඒ ගැන කාරණා කටයුතු කතා කරගෙන දවසක කොළඹ එනවා. අපි හෝටලේකදි වගේ මේ ළමයි මුණ ගස්සවන්න  සැලසුම් කරගන්න කියලා හිතුවේ.ප්‍රියංකාත් එතනට  ආවට කමක් නෑ.අපේ සුදු මැණිකේ රැකවරණයක් ලැබෙන සුදුසු තැනක නවතින්න ඕනේ.ප්‍රියංකා මගේ දරුවගේ හිත වෙනස් කරන්න එපා.ඔය කොන්වන්ට්වල සිස්ටර්ස්ලත් කරන්නේ ඒකනේ..”

 “ ඒක වැරදි අවබෝධයක් මැඩම්..”

දුරකථනය විසන්ධි  වූයේ තවත් විනාඩි කිහිපයකට පසුවය.දිගු සුසුමක් මුදාහල ප්‍රියංකා තමා දෙස බෝලයක්  දිගු කරගෙන බලා සිටින කුඩා පුතු දෙසට දෑත් පෑවාය.ඒ  දෑස්වල වූයේ කඳුළකි.එහෙත් ඕ සිනහසෙමින් උන්නාය.ගෙවී ගිය සති දෙක තුන තුළ ඈ දිනාරාගෙන් විද්‍යාමාන වූ වෙනස දුටුවේ ඈ ගැන සැලකිල්ලේ උන් නිසාය.

කාර්යාලයේ සිට ආවාට පසුව යුවතිය වැඩි වේලාවක් කාලය ගත කළේ කාමරයේය. වෙනදා ප්‍රියංකා ව⁣ටා දැවටෙමින් දවසේ සිදුවීම් සියල්ල පවසන ඈ අසාමාන්‍ය ලෙස නිහඬ වූවාය.ඒ මේ දිනවල අධික වැඩ රාජකාරීන් , වගකීම් මැද්දේ ඈ සිටින නිසායැයි සිතුණත් එය එසේ නොවනබව දැන් විශ්වාසය.විටෙක ඇගේ දෑස් වල කඳුළු පිරී ⁣තිබෙණු ප්‍රියංකා දැක තිබේ.වරින් වර විවිධ අයුරේ කතාබහ ගොඩනංවමින් ඇගේ සිතුවිලි හඳුනා ගන්නට තැත් දැරුවත් ඒ සෑම විටකම ප්‍රියංකාට වූයේ පරාජය පිළිගන්නටය.

දේපළ ප්‍රශ්නයත් ඒ මනසට වද දුන්නේ ඒ කාලයේමය.

“ මට ඕනේ මානසික නිදහසක්  මේ දේපළ නෙමෙයි.”

ඕ ප්‍රියංකා හා පැවසූයේ වරක් දෙවරක් නොවේ.සමහර විටක අත්තම්මා හිතුවක්කාරීයැයි පවසා දිනාරා කෝප ගත්තාය..මේ ඇගේ පිළිවෙල නොවේ.සචින්ව  නිදි කරවා සවස හිමාෂාට කතා කළ යුතු යැයි ඈ තීරණය කළේ එනිසාය. දියණියගේ සතුටම පැතූ ප්‍රියංකා උන්නේත් සිත රිදවාගෙනය.

***************=======******=======

විවේකී ඉරිදා දිනයේදීත්  අකලංකත් මහින්දත් දෙදෙනාම වූයේ කාර්යාලීය වැඩකටයුත්තක් සඳහා නිවසට පිටතට ගොසින්ය.නර්මදා හා වෛද්‍යවරයා හමුවීමට යා යුතු වූ නිසා විශ්ව නිවසේ රැඳී සිටියේය.තේජාත්, සේවිකාවත් කුඩා දියණිය සමඟ එළිමහන් උද්‍යානයට වී සිටියේ සෙල්ලම් කරමින්ය.

මද වෙහෙසක් දැනෙමින් තිබූ නිසා තේජා පැමිණ අසල වූ සිමෙන්ති බංකුවකින් අසුන් ගත්තේ මිනිබිරියට  සේවිකාව සමඟ සෙල්ලම් කරන්නයැයි පවසමින්ය. ඊයේ පෙරේදා සමරසේකර අයියා කතා කරමින් පැවසූයේ ඔහු විසින් ගෙනවිත්  දුන් හඳහන් දෙකම හිමි දියණියන්ගේ නිවාස වලින් වරින් කැමැත්ත විමසන බවය.

“ ඒ ගොල්ලෝ කැමැත්තෙන් ඉන්නේ දරුවන්ගේ කටයුතු ඉක්මනට වෙනවා දකින්න..”

තේජා සැවොම එක්ව සිටි  රාත්‍රියක අකලංකට එම ඡායාරූප දෙක පෙන්වා කැමැත්ත විමසුවාය. එහෙත් අවසන ඇයට වූයේ සිත රිදවා ගන්නටය.

“ අම්මා මම මැරි කරන්නේ නෑ. ඒ තීරණය එහෙමම තමයි.ඒක වෙනස් කරන්න හදලා මාව  කේන්ති ගස්සන්නවත් අම්මා  දුක් වෙන්නවත් එපා.මනුස්සයෙක් මැරි කරන්නම ඕනේ කියලා නීතියක් නෑ.සමහරවිට  ඒක මගේ අඩුපාඩුවක් වෙයි.ඒ අඩුපාඩුව ඇරෙන්න අනිත් හැම දේකින්ම මං අංග සම්පූර්ණයි කියන එක අම්මා මතක තියාගන්න.”

“ කවදද ඔයා එහෙම තීරණයක් ගත්තේ.”

“ අද ..මේ දැන්..මේ මොහොතේ ඉදන්..”

අවසන ඔහු උඩුමහලට නැගුනේ දැඩි හඬකින් එසේ පවසමින්ය.ඇය පිහිට පතා තම ලේලිය හා වැඩිමහල් පුතණුවන්  දෙස බැලුවත් ඔවුන් දෙදෙනාම තමාගෙන් දෑස් සඟවා ගත්තායැයි  තේජාට  සිතෙන්නේ දැන්ය.

වරක් දෙවරක් ඔහුගෙන් එම තීරණයට හේතු විමසන්නට ගියත් ඒ සෑම වරකම අකලංක අහේතුකවම කෝප ගත්තේය.ගෙවුණු සති දෙක තුන පුරා විද්‍යාමාන වූ වෙනස්කම් රැසක් තේජාට දැනෙන්නට පටන් ගත්තේ එතැන් පටන්ය.පසුගිය සතිය පුරාම ඇගේ දවස ගෙවී ගියේ ඒ එකින් එක ගලපමින්ය.ජීවිතයේ බොහෝ කාලයන් දරුවන් සමගම සිටි අම්මා කෙනෙකු නිසා අකලංකගේ හැසිරීමෙහි වෙනස හඳුනාගන්නට බැරි කමක් ඇයට වූයේ නැත. අවසන ඕ ලේලියත් ,  විශ්වත් සමග මේ ගැන කතා කරන්නට තීරණය කළාය.මහින්ද මේ දිනවල සිටින්නේ කිසිවක් කතා කළ ගත හැකි තත්ත්වයක නොවේ.ඒ තරමට ඔහුට වැඩ රාජකාරි බහුලය.

සේවිකාවට දරුවා පරිස්සමට බලාගන්නයැයි  පැවසූ තේජා උඩුමහල නැගුනේ  නර්මදාත් විශ්වත් වෙනුවෙන් සැකසූ පලතුරු යුෂ වීදුරු දෙකක්ද රැගෙනය.

“ ඇයි අම්මා මේ ඕකත් උස්සගෙන කිව්වනම් අපි පහළට එනවනේ…”

නර්මදා පැවසූයේ තේජා දුටු හැටියේමය.විශ්ව සුවපහසු සෝපාවෙහි අසුන්ගෙන සිට්යේ  ලැප්ටොප් පරිගණක තිරයට එබීගෙනය. නර්මදා  ඒ අසලින්ම අසුන්ගෙන ඔහුගේ එක් උරයකට තම හිස තබාගෙන සිටියාය.

“ පුතා හදිසි වැඩක්ද?  මට ඔය දෙන්නත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ..”

එවර ඈ  පැවසූයේ තැටිල්ල නර්මදා වෙත දිගු කර ඉදිරිපස අසුනට බර වෙන ගමන්ය.

“ නෑ අම්මා.. කියන්න හදිසි වැඩක් නෙමෙයි.මම මේ මල්ලි දාපු වීඩියෝ එකක් බල බල හිටියේ ෆ්ලවර් ඩෙකරේෂන් ගැන.”

“ පුතා මං කතා කරන්න ආවේ මල්ලි ගැන තමයි.” 

තේජා එවර පැවසූයේ ඔහු දෙස බලාගෙනමය. නර්මදා තම සැමියා දෙස බැලුවේ එවේලෙහිය.

“ මං කැමතියි ඔය දෙන්න කිසි දෙයක් හංගන්නේ නැතුව මමත් එක්ක කතා කරනවානම්.මොකද අපේ ගේ ඇතුලේ කවදාවත් රහස් තිබුණේ නැහැ.සමහර දේවල් රහස් වෙලා තියෙනකල් අපිට ඒවා විසඳ ගන්නත් බැහැ. මං හිතන්නේ මම ඔයාලට සමහර තැනකදි අම්මා කෙනෙක් උනා සමහර තැනකදී යාළුවෙක් උනා.සමහර තැනකදී සහෝදරියක් වගේ උනා..හැම දේකටම වඩා මට හැමදාම වැදගත් වුණේ ඔයාලගේ සතුට.මල්ලිට මොකද උනේ ලොකු පුතා”

ඈ පැවසූයේ   විශ්වගේ දෑස් දෙස බලාගෙනමය.එනිසාම ඇගෙන් දෑස් සඟවා ගන්නට හැකියාවක් ඔහුට වූයේ නැත.

“ මොනවා ගැනද අම්මා කතා කරන්නේ.”

“ කතා කරන්නේ මොනව ගැනද කියලා ඔය දෙන්නම හොඳටම දන්නවා ලොකු පුතා.ඔයාල දෙන්නගෙයි මල්ලිගෙයි  අතර තියෙන සහෝදරකම ගැනත් මම හොඳටම දන්නවා.ඔයාලා අතරේ රහස් නෑ කියලත් මම දන්නවා.මේ ආදරය ගැන, මේ  බැඳීම ගැන මං හරි ආඩම්බරෙන් පුතේ ඉන්නේ. ඒ උනාට මල්ලිගේ මේ වෙනස මගේ හිතට ගොඩක් තදින් දැනෙනවා.එයා දැන් හැමදේම කරනවා.හැබැයි එයාගේ ජීවිතේ එක තැනක නතර වෙලා කියලා මට දැනෙනවා.මට අන්න ඒකටයි හේතුව දැනගන්න ඕනේ.”

තේජා පැවසූයේ මදක උස්වූත් පැහැදිලි වූත් හඬකින්ය..අවසන තිදෙනා අතර පැතිර ගියේ නිහැඬියාවකි.ඒ නිහැඬියාව බිඳින්නට කටයුතු කළේ විශ්වය.ඉන් පෙර ඔහු තම බිරිඳකගේ මුහුණ දෙස බලා ඒ සඳහා අවසර පැතුවේය.

“ ලොකු පුතා ඒ ප්‍රශ්නෙ මොකක් වුණත් මට ඕනේ ඕගොල්ලොත් එක්ක ඒකට හවුල්කාරයෙක් වෙන්න.ඔයාලගේ අම්ම විදිහට.එහෙම නැතිවුනොත් මට මේක මහා මානසික වදයක් වෙනවා.”

“ නෑ අම්මේ එච්චර දුර හිතන්න දෙයක් නෙමෙයි..මල්ලි ගර්ල් කෙනෙක්ට ආදරේ කලා..”

“ ඒක සාමාන්‍ය දෙයක් පුතා කොයිම වෙලාවකවත් මමවත් තාත්තවත් එයාට ඒ වගේ දෙයක් කරන්න එපා කියලා නෑ.දුව දන්නවා මං පහුගිය කාලේ පුරාවටම  ඔයත් එක්ක කතා කළා මල්ලිගේ මැරේජ් එක ගැන.මම හැමතිස්සෙම කිව්වේ ඔය දෙන්න වගේ සතුටින් ,ආදරෙන් මල්ලි ජීවත් වෙනවා දකින්න ඕනේ කියලා.”

“ සොරි අම්මා . ඒත් මට ඒක කියන්න පුළුවන්කමක් තිබුණෙ නෑ.”

නර්මදා පැවසූයේ බිම බලාගෙනය.තේජා අකලංකගේ විවාහය ගැන කතා කළ සෑම මොහොතකම ඇය උන්නේ පුදුමාකාර පීඩනයක් සිත්හි දරාගෙනය.

“ අනේ නෑ නෑ දුව මම මේ ඔයාට දොස් කිව්වා නෙමෙයි.මම කිව්වේ මල්ලිගේ විවාහය ගැන මගේ හිතේ ලොකු බරක් තිබුණා කියලා.ඉතිං ලොකු පුතා මොකක්ද වෙලා තියෙන්නේ.ඒ එෆෙයාර්  එක දැන් නැද්ද…”

“ නැති වෙන්න ඒ දෙන්න අතර එෆෙයාර් එකක් තිබුණේ නෑ අම්මා. මල්ලි එයාගේ කැමැත්ත කිව්වත් ඒ ගෑණු ළමයා කැමති වෙලා නෑ..”

“ මොකක්ද පුතා හේතුව…රාජ කුමාරයෙක් වගේ ඉන්න මගේ පුතාව රිජෙක්ට් කරන්න තරම්..”

“ නෑ අම්මා ඒක මල්ලිගේ වරදක් නිසා වෙච්ච දෙයක් නෙමෙයි. ඒ ගර්ල්  කවදාවත් මැරි කරන්නේ නෑ කියන තීරණයකලු ඉන්නේ.එයා මල්ලිට කිව්වලු එයාට ඒකට බොහොම සාධාරණ හේතුවක් තියෙනවා කියලා..”

ඒ විස්තරය පැවසූයේ නර්මදාය.පසුගිය කාලය පුරා ඇයත් විශ්වත් අකලංකව තනි නොකළ බව සැබෑය.තදින් අල්ලාගෙන උන් බව සැබෑය.එහෙත් වෙනදාට වඩා අකලංක හුදෙකලාව ප්‍රිය කරමින් සිටියේය.හැකි සෑම විටකම ඔහු උත්සාහ දැරුවේ තනි වන්නටය.

( යළිත් හමුවෙමු දයාබරව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here