ඉක්මණින් කෑම උයන්න එළවළු තම්බලා තියාගන්නෙ කොහොමද?

කාර්‍යාලයේ, තමන්ගෙ පුංචි ව්‍යාපාරයේ, දූ දරුවන්ගෙ, දෙමාපියන්ගෙ, අධ්‍යාපන වැඩ කටයුතුත් එක්ක කාර්‍යබහුල වෙලා ඉන්න අපේ කාන්තාවන්ට උදව් වෙන හරවත් ලිපි හැකි සෑම වෙලාවකම ඔබත් එක්ක බෙදාගන්න smart lady අපි සූදානම් කියල අපිත් එක්ක එදා ඉදන්ම එකතු වෙලා ඉන්න ඔබ දන්නව.

ඔන්න අදත් අපි ඔබට ගෙනාවෙ අන්න ඒම ලිපියක්.

බෝඩිමේදී, ගෙදරදි ඉක්මණින් උයාගන්න අවශ්‍ය එළවළු කලින්ම පිරිසිදු කරල ඒ ඒ ව්‍යාංජනයට ගැළපෙන විදිහට කපල තියාගන්න එක හරිම ප්‍රයෝජනවත් කියල අපි කවුරුත් දන්නව.

අද අපි කතා කරන්න යන්නෙ ආහාර පිසීමේ කාලය අඩු කරගන්න පාවිච්චි කරන්න පුළුවන් උපක්‍රමයක් ගැනයි.

ඒ තමයි එළවළු වර්ග තම්බා (blanch) ශීතකර (freeze) ගැනීම. 

ආහාර පිසීමේ කාලය අඩු කරගන්න වගේම එළවළු නාස්තිය අඩු කරගන්නත්, එළවළු කල්තබා ගන්නත් මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්.

බ්‍රොකලි, කොළ පාට කොළ එලවළු, බෝංචි, බණ්ඩක්කා, අල වගේ එළවළු මේ විදිහට තම්බලා ශීතකරලා ආහාර පිසීමේදී භාවිතා කරන්න ඔබට පුළුවන්. 

නියමිත උෂ්ණත්වය සහ වේලාව ඉක්මවා තම්බා ගන්න එළවළු වල පෝෂණ ගුණය යම් පමණකට අඩුවීමේ අවධානමක් තිබුණත් එළවළු කුඩා කැබලි වලට කපා තැම්බීමෙන් තොරව ශිතකිරීමෙන් එළවළු වල වර්ණය සහ වයනය වෙනස් වීමේ හැකියාවක් තියෙනවා.

ඒ නිසා තැම්බීම එහෙමත් නැත්නම් blanch කිරීම මඟින් එළවළු දිරාපත් කරන එන්සයිම වල ක්‍රියාකාරීත්වය නවත්වා දමන්න හැකියාව තියෙනව වුනත් අධිශීත කිරීම මඟින් එසේ එන්සයිම වල ක්‍රියාකාරීත්වය නවතා දැමීමේ හැකියාවක් ලැබෙන්නෙ නෑ. 

එක් එක් එළවළු වර්ග තම්බා ගැනීමට නියමිත කාලය පිළිබඳ දළ අවබෝධයක් තිබීමෙන්  පමණක් මේ ක්‍රියාවලිය පහසුවෙන් කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. 

එහෙනම් අපි මුලින්ම බලමු මේ විදිහට එළවළු තම්බා ගන්න අපිට අවශ්‍ය වෙන්නෙ මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය

තරමක් විශාල භාජනයක් සහ එළවළු තම්බාගැනීමට අවශ්‍ය ජලය 

අයිස් කැට දැමූ අයිස් වතුර භාජනයක් 

සීල් කර හැකි ප්ලාස්ටික් බෑග් හෝ හොඳින් වැසිය හැකි ප්ලාස්ටික් පෙට්ටි

පිරිසිදු තුවායක් හෝ රෙදි කැබැල්ලක්  

එහෙනම් අපි ඊළඟට බලමු කොහොමද අපි මේ ක්‍රියාවලිය කරන්නෙ කියල?

පියවර 01

මුලින්ම එළවළු ටික හොඳින් සෝදා පිරිසිදු කරගෙන ඔබට අවශ්‍ය ප්‍රමාණයේ කැබලි වලට කපා ගන්න.

එළවළු අඟලක් හෝ අඟල් භාගයක් පමණ කුඩා කැබලි වලට කපා ගන්න පුළුවන් නම් වඩා හොඳයි.

පියවර 02 

දැන් වතුර භාජනය ලිපේ තබා වතුර නටන තුරු තබාගන්න.

පියවර 03 

වතුර නටන විට එක් එළවළු වර්ගයක් නටන වතුරට දමා එම එළවළු වර්ගයට අදාළ කාලය වතුරේ තබා තම්බා ගන්න.

පියවර 04 

අදාළ නියමිත කාලය තිබූ පසු එළවළු කැබලි වතුරෙන් ඉවත් කරගෙන එසැණින් අයිස් වතුර සහිත භාජනයට තබාගන්න.

පියවර 05 

අයිස් වතුරට දැමූ එළවළු කැබලි සම්පූර්ණයෙන් සිසිල් වූ පසු අයිස් වතුරෙන් ඉවත් කර රෙදි කැබැල්ල මත අතුරා හොඳින් වතුර ඉවත් කරගන්න. 

පියවර 06

එළවළු කැබලි වලින් වතුර ඉවත් වූ පසු ප්ලාස්ටික් බෑගයට දමා ශීතකරණයේ උඩ කොටසේ තබාගන්න.

වැදගත් කරුණු – 

අපි එළවළු තම්බා ගැනීමට ගතවෙන කාලය ඔබව දැනුවත් කරනව වුනත් ඔබ කපාගන්නා එළවළු කැබලි වල ප්‍රමාණය මත මේ කාලය වෙනස් වෙන්න පුළුවන්. 

ඒ නිසා, සාමාන්‍යයෙන් ඔබේ එළවළු වල වර්ණය පිළිබඳ අවබෝධයෙන් ඉදල අනවශ්‍ය පරිදි එළවළු තැම්බීම වළක්වා ගන්න පුළුවන්.

එහෙනම් අපි බලමු ඒ ඒ එළවළුව තම්බා ගැනීමට නියමිත කාලය කොපමණද කියල? 

එක් එක් එළවළු තම්බා ගැනීමට ගතවන කාලය

කැරට් විනාඩි 02 ක්

බෝංචි විනාඩි 02 ක් 

බ්‍රොකලි විනාඩි 02 ක් 

ගෝවා මල් විනාඩි 03 ක් 

බණ්ඩක්කා විනාඩි 02 ක් 03 ක් 

ග්‍රීන් පීස් විනාඩි 01 ½  ක් 

කොළ වර්ග විනාඩි 01 ක් 01 ½ ක් 

එහෙනම්, මේ විදිහට එළවළු තම්බා ශීත කරගෙන ඔබේ එදිනෙදා වැඩකටයුතු පහසු කරගන්න ඔබට පුළුවන් වෙයි යැයි අපි විශ්වාස කරනවා. 

මේ වගේ තවත් වැදගත් ලිපියකින් අපි නැවත ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyReply allForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles