“ඒ මේධංග” බව අඳුරගන්න සීසීටිවි දර්ශන දැක්ක තරංගාටත් සාගරටත් අපහසු වුනේ නැත. සීසීටිව් දර්ශන දැක්කාට පස්සේත් තරංගා කිහිප වරක්ම දුරකතන ඇමතුම් දුන්නද ඒ කිසිම ඇමතුමකට සම්බන්ධ වුණේ මේධංග නොවේ. තරංගාගේ බය වැඩිවුනේ ඒකත් එක්කය. මේධංග සනුකිට ආදරේට මේ ගමන සනුකිව එක්කරගෙන ගියේ නැති බව තරංගා දනී. මේධංගගේ මේ සියලු හැසිරීම් පසුපස තියෙන්නෙ තමන්ගෙන් පලිගැනීම බව මතක් වෙද්දි ඒ සනුකිගේ තාත්තා වුනත් සනුකිගේ ආරක්ෂාව ගැන බය නොවී ඉන්න පුලුවන් කමක් තරංගාට තිබ්බේ නැත.
“මේධංගගෙ මොබයිල් එක ආන්ස්වර් කරන්නෙ නැත්තම් ඔයා ගෙදරට අරගන්න බලන්න” කියා සාගර කිව්වේ තරංගා පිස්සුවෙන් වගේ මේධංගගේ දුරකතනයට දිගින් දිගටම ඇමතුම් ගනිද්දීය.
“තරංගා ආවද පුතා?”
“ආවෙ නෑ, හැබැයි දැන් ඒකිට එන්නම වෙනවා” කියා මේධංග කියද්දිත් කුසුමලතා උන්නේ ඇත්තටම කියන්න ඕන මොකද්ද හෝ මේ වෙන්නෙ මොකද්ද කියා හිතාගන්න, තේරුම්ගන්න බැරුවය.
“ඔයා ඇයි මේ ළමයව එක්කරගෙන ආවෙ? ඇයි දැන් මේ ළමයා අඬන්නෙ?” කියමින් කුසුමලතා සනුකි දිහා බලද්දිත් සනුකි උන්නේ බිම වාඩි ගෙන අඬන ගමන් ය. ඒ අස්සේම දුරකතනය තිබ්බේ නාද වෙමිනි. කුසුමා සනුකි දිහාව බලාගෙනම දුරකතනය වෙතට යද්දී මේධංගට උවමනා උනේ ඒක නවත්තන්නය.
“ආන්ස්වර් කරන්න එපා, තරංගා වෙන්නැති”
“ඉතින් තරංගා නම් කෝල් එකට ආන්ස්වර් කරල කියන්නනෙ ඕන ලමයව ඇවිල්ලා අරගෙන යන්න කියලා”
“නෑ නෑ, අම්මා මේ පැත්තකට වෙලා ඉන්න මට මගේ විදියට මේ ප්‍රශ්න විසඳගන්න ඉඩ ඇරලා”
“උඹේ විදියට ප්‍රශ්න ඉවර කරගන්න හදන්නෙ කියන්නෙ උඹ මේ ළමයව බලෙන්ද අරගෙන ආවේ? පිස්සුද? එහෙන් මේ ඒ ගෑණි දික්කසාදයක් දාලා තියෙන වෙලාවක උඹ බලහත්කාරෙන් ළමේක්ව උස්සගෙන ආව එකෙන් උඹට බේරෙන්න පුලුවන් කියලද හිතන්නෙ?
පිස්සු නටන්නෙ නැතුව මෙන්න මේ ළමයව තරංගාට ගිහිල්ලා දීපන්. බලපන් මේ ළමයා බෙරිහන් දිදී අඬනවා. අපේ අත්වලට පුරුදු ළමේකුත් නෙවෙයි”
“අම්මෙ මේ, ඕකි ඕකි ඔය තරංගා ඕකි හිතුවෙ මේ ගෙදරින් ගිහිල්ලා ඉන්පස්සෙ මට විරුද්ධව දික්කසාදයක් දැම්මට පස්සෙ මං බයවෙලා මෙතන ඒකි කියන කියන එකට ඔලුව නවාවි කියලා. ඕකිව මං මට්ටු කරන්නෙ මේ පාර තමයි”
මේධංග පිස්සුවෙන් වගේ සාලෙ එහා මෙහා ඇවිදිමින් කියද්දී කුසුමා උන්නේ මාරුවෙන් මාරුවට මේධංග දිහාත් අඬමින් බිම වාඩිවෙලා ඉන්න සනුකි දිහාත් බලමිනි.සනුකි උන්නේ “අම්මා අම්මා” කියමින් අඬන ගමන් බිම බලාගෙන කඳුලු වක්කර වක්කරය. මෙච්චර වෙලා ඇස්වලින් වැක්කිරිච්ච කඳුලු වලින් සනුකිගේ දෙකකුල් මැද පුංචි ගඟකුත් හැදී තිබෙන අන්දම දකිද්දී පවා කුසුමාගේ හිතට ආවේ දරු දුකක් ගැන හැඟීමක් නොවේ. මේධංග මේ කරන මල පිස්සු වැඩ නිසා අන්තිමේ තමන්ටත් පොලිසි ගානේ යන්න වේය කියන අන්දමේ හැඟීමකි.
“උඹ ඒකිව මට්ටු කරන්න බලාගෙන හිටියට මේ පාර නම් උඹ විතරක් නෙවෙයි මටත් මට්ටු වෙන්නයි වෙන්නෙ. අනේ මේ ළමයව ගිහින් දාපන් පව් නොදී මට. මොන වදයක්ද බං මට මේ වලපල්ලට යන්න ඉන්න කාලෙ විඳවන්න වෙලා තියෙන්නෙ. උඹලට ඕන ඕන හැටියට උඹලට ඕන උන් එක්ක උඹල කසාද කරගත්තට පස්සෙවත් අපිට නිදහසේ ඉන්න විදියක් නැති හැටි. මට මගේ පාඩුවෙ මේ ගෙදර ඉන්න දීලා උඹ ඔය ලමයව ගිහින් දීලා වරෙන් තරංගාට.
බලපන් මේ ළමයා ගිරිය පුප්පගෙන අඬනවා. ඒ ළමයට අපිව පුරුදුත් නෑ. උඹ ඒ අස්සෙ ඒ ළමයව මේ ගෙදරට අරගෙන ඇවිල්ල”
“අනේ අම්මෙ මේ, ඔව් මං මට ඕන එකාව කසාද බැන්දා ඒක ඇත්ත. ඒ හන්දාම ඒකි මට ඕන විදියට ඉන්න දැනගන්නත් ඕන. ඒකිට ඒක කරන විදිය තේරෙන්නෙ නැත්තම් මං මගෙ විදියට ඒකිට ඉන්න විදිය කියලා දෙන්නම්”
මේධංගට සනුකිගේ හැඬිල්ල කන් කරච්චලයක් වගේ දැනුනත් සනුකිව නලවගන්න උවමනාවක් හෝ ඒක කරන්න ඕන විදිය ගැන අදහසක් හිතේ තිබ්බෙ නැති හන්දා මේධංග වැඩිය ඒක ගැන හිතන්න කරන්න ගියේ නැත.
“මේධංග ෆෝන් එක ගන්නෙ නෑ ඩොක්ටර්. එයාලගෙ ගෙදර ලෑන්ඩ් ෆෝන් එක ආන්ස්වර් කරන්නෙත් නෑ” කියමින් හඬා වැලපෙන තරංගාව පපුවට වාරු කරගන්න එක සාගරට මහ අමාරු දෙයක් වුණේ නැත. එහෙත් සාගර ඇඳගෙන උන් සාගර නිල් පැහැති කොට්න් කමිසය පෙඟී යනතුරුම හඬමින් උන් තරංගා අස්වසනවාට වඩා මෙවෙලේ ඉක්මන් වී ක්‍රියාකරන්න ඕන බව දන්න හන්දාම සාගර වෙලාව නාස්ති කරේ නැත.
ඒ අනුව යමින් සාගර කලේ පොලිසියට කතා කල මේ විස්තරය ගැන දැනුවත් කල එකය. සනුකි ගුණරත්න නම් දරුවාව ඇගේ පෙර පාසලේ සිටියදි බලහත්කාරයෙන් මෙසේ ගෙන ගිය බව ලිට්ල් බඩ්ස් කින්ඩර්ගාට්න් එක පිහිටා ඇති පොලිස් බල ප්‍රදේශයේ පොලිස් පොතේ ලියවුනේ ඒ ලෙසින් ය. ලිට්ල් බඩ්ස් ආයතනයේ සීසීටීවි සාක්කිත් රැගෙන පොලිසිය මේධංගගේ නිවසට යන්න සූදානම් වෙන අතරවාරයේත් තරංගා උන්නේ දෙණීයායේ ඉන්නා අක්කාටත් අයියාටත් දුරකතන ඇමතුමක් දී මේ විත්තිය කිව්ව එකය. අක්කලා දුර ඉන්න හන්දා කලබල කරන්න උවමනා නැති බව කියන්න සාගරට උවමනා උනත් තරංගාට මේ ලෝකයේ වඩා විශ්වාසැති නෑයෙකුට ඉන්නේ ඒ දෙදෙනා පමණක් බව දන්න හන්දා එහෙම කතා කරන එක වරදක් නැති බව සාගර අනතුරුව හිතුවේය.
“අපි කලින් ප්‍රොටෙක්ටිව් ඕර්ඩර් එකක් අරගත්තෙ නැත්තෙ අපරාදෙ කියලා මට හිතෙන්නෙ මෙන්න මේ වෙලාවෙ තරංගා. ඒ නිසා මේක කිඩ්නැප් සිටුවේශන් එකක් උනත් පොලිසියට අර ප්‍රොටෙක්ශන් ඕඩර් එකක් ගත්ත වෙලාවක වගේ වයලේශන් එකක් වගේ අරගෙන ඩිවෝස් කේස් එකා ඉක්මන් කරන්න හේතුවක් කරගන්න පුලුවන්ද බැරිද කියන එක මම බලන්නම්. හැබැයි ඔයා බයවෙන්න එපා, මම මෙතනදි කතාකරන්නෙ ලෝයර් කෙනෙක් විදියට නෙවෙයි. අම්මා කෙනෙක් ගෑණියෙක් විදියට. හිතේ ගින්දරක් පත්තුවෙන බව මම දන්නවා, ඒ උනාට බයවෙන්න එපා ඔයා වගේ හොඳ මනුස්සයෙක්ටවත් එහෙම මනුස්සයෙක්ගෙ දරුවෙක්ටවත් කිසිම කරදරයක් වෙන්නෙ නෑ තරංගා. අපි ඒ විශ්වාසයෙන් මේ වෙලාවෙ වැඩේ කරමු” කියමින් කේතකී මහඉලුක්කුඹුර කිව්වේ පොලිසියේ බංකුවක වාඩි වෙලා කඳුලු වක්කරමින් උන් තරංගාව තමන්ගේ උරහිසට වාරු කරගෙනය.
සනුකි උන්නේ බෙරිහන් දිදී අඬන අතරම ඒ ඇඬිල්ල නිසාම හුස්ම ගන්න අපහසුතාවයකින් පෙලෙමින් ය. ඒක පැනික් ඇටෑක් එකක් විදියට අඳුරගන්න තරංගා දැන් දැන් මග එනු ඇතැයි බලාපොරොත්තුවෙන් උන් මේධංගවත්, මේධංගගෙ අකල්ක්‍රියාවන්ට නොනවත්වා බණිමින් උන් කුසුමාවත් දුටුවේ නැත.
අම්මා නැති වේදනාවෙනුත්, අධික කුස ගින්නෙනුත් පෙලෙමින්, අඬ අඬ උන් සනුකි බිම හාන්සි උනේ ඉකිලමින් ඉන්න අතරම හුස්ම ගන්න අපහසුයි වගේ දැනුන හන්දාය.
“අම්මා අම්මා… අම්ම්ම්ම්…ම්මාආආ” කියමින් ඉකිගසමින් උන් සනුකිගේ දෙනෙත් රතු වී ඇති බවවත්, බිම හාන්සි වී ඉන්න ඇගේ පුංචි කෙට්ටු ශරීරය ගැහෙන අන්දමවත් නොදැක්ක මේධංග ඕටිසම් සහිත පුංචි දරුවන්ට පවා, මෙවන් කලබලකාරී අවස්තාවල, නුපුරුදු අවස්තාවල හද ගැස්ම වේගවත් වීම්, වෙව්ලීම්, පපුවේ වේදනා, කරකැවිල්ල සහ දැඩි බයක් සමග මතුවෙන පැනික් ඇටෑක්ස් එන්න පුලුවන් කියන එක ගැන කිසිම දෙයක් දැන උන්නේ නැත.
තරංගා “අනේ මගෙ දරුවා” කියමින් අඬ අඬ සාගරයේ මෝටර් රියේ නැගී මේධංගේ ගෙදරට එන අතරවාරයේ ඒ ගෙදර සාලයේ සෙටිය අසල බිම පැත්තක බිම වැටී උන් සනුකිගේ ලඟ තනියට උන්නේ ඇගේ ඇස්වලින් වැක්කිරිච්ච කඳුලු ගඟත් පණ නැති ටෙඩි බෙයා කෙනෙකුත් පමණකි.