මතකය අමතකයි වගේ අප්පු කරන රඟපෑම පිටිපස්සෙ තියෙන රහස මොකද්ද?

මලයාලම් චිත්‍රපට කියන්නෙ වෙනම Level එකකින් අපේ හිත් ඩැහැගන්න චිත්‍රපට වර්ගයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. ඔය මලයාලම් චිත්‍රපට වලට ලොකුවටම ට්‍රෙන්ඩ් එක හැදුනෙ මේ මෑත කාලෙක.ඉතින් ඒ විදියට ආපු අපුරූම මලයාලම් චිත්‍රපටයක් තමයි Kishikindha Kandam කියන්නෙ. මේක අයිතිවෙන්නෙ Mystery Thriller කියන ශානරයට. මේක ආවෙ මේ අවුරුද්දෙ.

ඉතින් අපි බලමු Social Media වල හැම තැනම වගේ කතාකරපු මේ අපූරු චිත්‍රපටය මෙච්චරම කතාබහට ලක්වෙන්න හේතුවෙච්ච කාරණාව මොකද්ද කියලා.

අජේ කියන්නෙ Forest Officer කෙනෙක්. චිත්‍රපටය පටන්ගන්නෙ මේ අජේගෙ සහ අපර්ණාගෙ විවාහ මංගල්‍ය උත්සවයෙන්. විවාහයෙන් පස්සෙ අජේ සහ අපර්ණා කියන දෙන්නම එන්නෙ අජේගෙ තාත්තා විතරක් ජීවත්වෙන එයාලගෙ මහගෙදරට.අජේගේ තාත්තා තමයි අප්පු පිල්ලෙයි. එයා Retired Army Officer කෙනෙක්. මෙයාලා ඉන්න ගෙදර තියෙන්නෙ කැලෑවට හරි ලඟින්. ඒ වගේම රිලව් ඉන්නවා මිනිස්සුන්ට වඩා වැඩිය. කොහොමහරි මේ රිලව් පිරිලා ඉන්න එක මේ ගමේ මිනිස්සුන්ට හරිම කරදරයක් තමයි වෙලා තියෙන්නෙ.

අප්පු පිල්ලෙයිව ගමේ මිනිස්සු දකින්නෙ නපුරු හරි තද මනුස්සයෙක් විදියට. ඒකට හේතුව එයා කාලයක් යුධ හමුදාවෙ සේවය කල එක කියලා තමයි ගමේ අයත් හිතන්නෙ.කොහොමහරි මේ කතාව පටන්ගන්නෙ අප්පු පිල්ලෙට අයිතිවෙලා තිබුන පිස්තෝල අතුරුදහන් වෙලා කියලා දැනගන්න එකත් එක්කම. අප්පුට ඇත්තටම මතක නෑ එයාගෙ මේ පිස්තෝලෙට මොකද වුණේ කියලා සහ එයා අන්තිමට ඒක තිබ්බෙ කොහෙද කියලා.

බලපත්‍රයක් සහිත පිස්තෝලයක් නැතිවෙච්ච එක ලොකු ප්‍රශ්නයක් නිසා මේ ගමේ පොලිසියෙ අයත් හොයලා බලනවා ඇත්තටම මොකද්ද මේ පිස්තෝලෙට වුනේ කියලා. මේ සියල්ල අතරෙ අජේ ඉන්නෙත් එයාගෙ ජීවිතේ වෙච්ච එක්තරා දුක්බර සිදුවීමක් නිසා හරි හිත් වේදනාවෙන්. ඒ තමයි අජේ කියන්නෙ කලින් විවාහ වෙලා උන්න කෙනෙක්. ඒ වගේම එයාට අවුරුදු හතක පොඩි පුතෙකුත් ඉඳලා තියෙනවා. අජේගෙ වයිෆ් පිලිකාවක් නිසා මිය ගිහින් තියෙනවා වගේම අජේගෙ පොඩි පුතා මීට අවුරුදු තුනකට කලින් අතුරුදහන් වෙලා තියෙනවා. අජේ ඉන්නෙ එක එක ආයතන, NGO වල එහෙම උදව්වෙන් තමන්ගෙ පුතාව හොයාගන්න උදව් වෙන්න කියලා කට්ටියගෙන් ඉල්ලන ගමන්.

අජේගෙන් මේ විස්තර අහගන්න අපර්ණත් අජේට උදව් වෙනවා එයාගෙ දරුවව හොයාගන්න.

අපර්ණාට ටික දවසක් යද්දි තේරෙන්න ගන්නවා එයාගෙ මාමණ්ඩි එහෙම නැත්තම් අජේගේ තාත්තගෙ හැසිරීම් රටාව හරි අමුතුයි කියලා. තාත්තාගෙ මේ අමුතු හැසිරීම, අජේගෙ පුතා අතුරුදහන් වීම සහ පිස්තෝලය අතුරුදහන් වීම පිටිපස්සෙ මොකක් හරි හිතාගන්න බැරි අභිරහසක් තියෙන්න පුලුවන් බව අපර්ණා හිතනවා.

අපර්ණා මේ කතාව එයාගෙ සැමියා වුන අජේටත් කියනවා. හැබැයි අජේ නම් කියන්නෙ “තාත්තා දැන් වයසයිනෙ. තාත්තා ගෙදරටම වෙලා ඉන්න නිසා එයාට එපා වෙලා ඇති. ඔයා ඒව හිතන්න එපා” කියන එක. ඒත් අපර්ණාට නිතර නිතර තාත්තගෙ මේ අමුතු හැසිරීම දකිද්දි හිතට එන ප්‍රශ්න කන්දරාව ලේසියෙන් හිතෙන් අයින් කරගන්න පුලුවන් වෙන්නෙ නෑ.

කොහොමහරි මෙහෙම ඉද්දි අජේ අපර්ණාට කියනවා “අපේ තාත්තට කාලෙක ඉඳලා පොඩ්ඩක අමතක වෙන ලෙඩක් තියෙනවා. එයා ආමි එකෙන් අස්වෙද්දිත් ඒ ප්‍රශ්නෙ ලාවට වගේ තිබුණා.හැබැයි ඒකට බෙහෙත් ගන්න යන්ද වගේ දේවල් අපෙ තාත්තාගෙන් අහන්න එපා. එයාට එතකොට හරියට තරහා යනවා” කියලා.

මෙහෙම ඉද්දි දවසක් අප්පු පිල්ලෙගෙ ගෙදරට එනවා අප්පුගෙ පරණ යාලුවෙක් කියලා කියන අම්‍රිත් ලාල් කියලා මනුස්සයෙක්. අම්‍රිත් කියන්නෙ නම් අප්පුයි තමනුයි එකට හමුදාවෙ වැඩ කලා කියලා වුනාට අප්පුගෙ හිතේ එක විදියක සැකයක් තියෙනවා මේක හරි බොරුවක්, මම මේ මනුස්සයව දන්නෙ නෑ කියලා. මොකද තමන්ට අමතක වෙන ලෙඩක් තියෙන බව දන්න හන්දා අප්පු කරන්නෙ අම්‍රිත් මීට කලින් වෙලාවක ඇවිල්ල කියපු කරපුව තමන් ගාව තියෙන පොඩි පොතක ලියලා තියෙන එක. අම්‍රිත් එන එන වතාවට ඒ පොතේ ලියල තියෙන කලින් වතාවෙ වෙච්ච දේවල් කියවන නිසා තමයි අප්පුට මේ විදියට අම්‍රිත් ගැන සැක හිතෙන්නෙ. අප්පු අම්‍රිත්ගෙන් අහනවා “තමුන් මේ කරන්නෙ බොරුවක් බව දන්නවා” කියලා. ඒ දෙන්න අතරෙ රණ්ඩුවක් ඇතිවෙනවා. ඒත් ප්‍රශ්නෙ මොකද්ද කියන එක අඳුරගන්න අප්පුට පුලුවන් වෙන්නෙ නෑ.

කොහොමහරි මෙහෙම ඉද්දි වනජීවී කණ්ඩායමට දැනගන්න ලැබෙනවා අමුතුම කතාවක්. ඒ තමයි මේ කැලේ ඉන්න එක රිලවෙක්ගෙ අතේ පිස්තෝලයක් තියෙනවා කියන එක. මේ කතාවක් එක්ක පොලිසිය එහෙම සැක කරන්න පටන් ගන්නවා මේ රිලවෙක් අතේ තියෙනවා කියන පිස්තෝලෙ අර අප්පු පිල්ලෙ අතින් නැතිවෙච්ච පිස්තෝලෙ කියලා.

ඊට හපන් කතාව වෙන්නෙ මොකද්ද දන්නවද?

අප්පු පිල්ලෙගෙ ගෙවල් වලට ලඟ වත්තක තිබිලා වත්ත හාර හාර උන්නු මිනිස්සු කීප දෙනෙක්ට හම්බෙනවා ඇට සැකිල්ලක්. ඒක දැනගත්තම අප්පු හරියට කලබල වෙනවා.

ඔයාලා හිතන්නෙ මේ ඇට සැකිල්ල කාගෙ වෙන්න පුලුවන්ද? ඇට සැකිල්ලක් තියෙනවා කියල දැනගත්තම අප්පු මොකටද ඒකට කලබල වෙන්නෙ?

නැතිවෙච්ච පිස්තෝලෙයි අජේගෙ පුතා නැතිවිම ගැන මොනව හරි දෙයක් අප්පු දන්නවා ඇතිද?

ඉතින් තවත් පමාවෙන්න එපා, අදම බලන්න මේ Kishikindham Kaandam.

මේක අමුතුම චිත්‍රපටයක් වගේම, හැම විනාඩියෙන් විනාඩියටම මේ කතාවෙ ප්ලොට් එක වෙනස් වෙනවා. ඒකම තමයි මේ චිත්‍රපටය මෙච්චරටම සුපිරි එකක් කරලා තියෙන්නෙ.

Related Articles

Don't Miss


Latest Articles