යකඩ ඌණතාවය, රක්තහීනතාවයේ එක් පොදු ප්‍රභේදයක් විදිහට හඳුනාගන්න පුළුවන්. ශරීරයේ පටක වලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රවාහනය කිරීමට ප්‍රමාණවත් රතු රුධිර සෛල ප්‍රමාණයක් නොතිබීම මෙහි ප්‍රධාන ලක්ෂණයක් ලෙස සඳහන් වෙනවා.
අපේ ශරීරයේ ප්‍රමාණවත් යකඩ ප්‍රතිශතයක් නොමැති වූ විට ශරීරයට අවශ්‍ය කරන ප්‍රමාණයට හිමෝග්ලොබින් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය රතු රුධිරාණු නිපදවීමේ හැකියාවක් ලැබෙන්නෙ නෑ.
ඒ නිසා යකඩ ඌණතාවය සහ රතු රුධිර සෛල වල හිඟබව පිළිබඳ සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්.
පටක වලට ප්‍රමාණවත් ඔක්සිජන් නොලැබී යාම නිසා හුස්ම ගැනීමේ අපහසුව පවා ඇතිවෙන්න ඉඩකඩ ඇති නිසා ශරීරයට අවශ්‍ය යකඩ ප්‍රමාණය නිසි පරිදි පවත්වා ගැනීම ගැන අපි වඩාත් සැළකිලිමත් විය යුතුමයි.
විශේෂයෙන්ම බාහිරින් ලබාගන්න ප්‍රතිකාර සහ ආහාර මඟින් මේ තත්වය කළමණාකරණය කරගන්න හැකියාව ඇති නිසා ඔබේ වෛද්‍යවරයාගේ නිතිපතා උපදෙස් ලබා ගනිමින් මේ තත්වයෙන් පහසුවෙන්ම මිදීමේ හැකියාව ඔබට තියෙනවා.
ඒ නිසා, අපි අද යකඩ ඌණතාවය ඇති බවට ඔබට පෙන්වන සළකුණු මොනවද කියල හඳුනාගමු.
රෝග ලක්ෂණ
සාමාන්‍යයෙන් යකඩ ඌණතා ලක්ෂණ මුල් කාලීනව පෙන්වීමේ අඩුබවක් තියෙනවා.
ඒ නිසා අපි නොදැනුවත්වම අපේ ශරීරයේ යකඩ ඌණතාවය ඇතිවීමේ අවධානමක් ඇතිවෙන්න පුළුවන්.
නමුත්, මේ යකඩ ඌණතාවය රක්තහීනතාවයක් දක්වා වර්ධනය වීමේදී ඒ හා සම්බන්ධ රෝග ලක්ෂණ ඉස්මතු වී පෙනීම ආරම්භ වෙනවා.
මේ රෝග ලක්ෂණ අතර,
අධික තෙහෙට්ටුව
දුර්වල බව
සම සහ ඇස් සුදුමැලි වීම
අත් පා සීතල වීම
කැපීපෙනෙන ලෙස හිසකෙස් වැටීම
දිව සිනිඳු වීම, ඉදිමීම සහ වේදනාවක් ඇතිවීම
කටේ වණ ඇතිවීම, කටේ දැවිල්ල සහ තුවාල ඇතිවීම, වියළි සහ තුවාල සහ කටේ කෙළවර රතු පැහැති තත්වයන් ඇතිවීම
ඇස් වල සුදු පැහැ ප්‍රදේශ අළු, ළා නිල් හෝ දම් පැහැයට හැරීම
මතකය දුර්වල වීම
පපුවේ වේදනාව, හෘද ස්පන්දනය වේගවත් වීම සහ හුස්ම හිරවීම
හිසරදය සහ කැරකැවිල්ල
දුර්වල සහ බිඳෙන සුළු නියපොතු
අයිස්, අපිරිසිදු සහ පෝෂ්‍ය ගුණයක් නොමැති ද්‍රව්‍ය ආහාරයට ගැනීමට අසාමාන්‍ය ආශාවක් ඇතිවීම සහ විශේෂයෙන්ම දරුවන් අතර ආහාර රුචිය අඩුවීමේ තත්වය හඳුනාගන්න පුළුවන්.
ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙක්ට මේ රෝග ලක්ෂණ ඇතිබව ඔබ සිතනවා නම්, හැකි ඉක්මණින්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අනිවාර්ය බවත් අපි ඔබට මතක් කළ යුතුමයි.
වෛද්‍ය ප්‍රතිකාර වගේම යකඩ ඌණතාවයට ඔබේ ආහාර රටාව නිවැරදිව පවත්වා ගැනීමත් අතිශය වැදගත්.
ඒ සඳහා,
තද කොළ පැහැති කොළ එළවළු,
අමතර යකඩ අඩංගු කර සැකසූ සීරියල් සහ පාන් වර්ග,
මස්
ඇප්රිකොට් සහ මුද්දරප්පලම් වැනි වියළි පළතුරු සහ
බෝංචි, කඩල, පරිප්පු වැනි ඇට වර්ග වැඩිපුර ඔබේ ආහාර වේලට එකතු කරගන්න ඔබ සැළකිලිමත් විය යුතුමයි.
ඊට අමතරව,
තේ,
කෝපි,
කිරි සහ කිරි ආශ්රිත නිෂ්පාදන වගේම සම්පූර්ණ ධාන්‍ය අඩංගු කර සැකසූ ආහාර වර්ග අඩුවෙන් ගැනීමත් වඩා යහපත් බව දැක්වෙනවා.
මොකද මේ ආහාර වැඩි ප්‍රමාණයක් ගැනීමේදී යකඩ අවශෝෂණය කිරීම ඔබේ සිරුරට අපහසු වන නිසයි.
යකඩ ඌණතාවය ඇතිවීමට,
ඇස්ප්‍රීන් වැනි ඖෂධ දීර්ඝකාලීනව භාවිතය,
බඩේ ඇතිවෙන වණ,
ආහාර මාර්ගය ආශ්රිත තුවාල සහ ඉතාම කලාතුරකින් පිළිකා තත්වයන් හේතුවෙන්න පුළුවන් නිසා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අත්‍යාවශ්‍ය බව ඔබ සිහිතබා ගත යුතුමයි.
එහෙනම්, මෙවැනි වැදගත් ලිපියකින් නැවත ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් අපි අද ඔබෙන් සමුගන්නවා.
සටහන – දුලානි නවෝද්‍යා