අමුද්‍රව්‍ය තුනකින් අඹ අයිස්ක්‍රීම් හදමුද? 

අයිස්ක්‍රීම් කන්න ආස වෙන්න වයසක් ඕන නෑනෙ නේද? 

අයිස්ක්‍රීම් කියන්නෙ අන්න ඒ විදිහට ලොකු පොඩි ඕනැම කෙනෙක් කන්න කැමති ලෝකය පුරාම හරිම ජනප්‍රිය කෑමක්නෙ. 

ශ්‍රී ලංකාවේ අපි සාමාන්‍යයෙන් අතුරුපසක් විදිහට ආහාරයට ගත්තත් දවසෙ ඕනැම වෙලාවක අයිස්ක්‍රීම් කන්න කාගෙන්වත් බාධාවක් නම් නෑ. 

ඉතිං, ඔන්න අපි අද කියන්න සූදානම් වෙන්නෙ හරිම ලේසියෙන් වෙළඳපොලෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය 03 ක් විතරක් භාවිතා කරල අඹ අයිස්ක්‍රීම් හදාගන්නෙ කොහොමද කියලයි. 

ටිකක් වැඩිපුර අඹ හොයාගන්න තියෙන කාලෙක මේ රෙසිපිය අත්හදා බලල පිරිසිදු, සෞඛ්‍යාරක්ෂිත වගේම රසම රස අඹ අයිස්ක්‍රීම් හදල බලන්න ඔයාටත් පුළුවන්.

ඒනන්, මුලින්ම අපි අවශ්‍ය කළමණා සූදානම් කරගෙන ඉමු. 

මුලින්ම, හොඳට ඉඳුණු අඹ ගෙඩියක් හෝ දෙකක් අරගෙන හොඳින් සෝදල පොත්ත ඉවත් කරගෙන, ඇටය ඉවත් කරල, කුඩා කොටු වලට කපා ගන්න ඕන. 

ඒ කපාගත්තු අඹ කෑලි සහ කුඩුකරගත් සීනි කෝප්ප ½ ක් බ්ලෙන්ඩර් එකට දාල කෑලි නැති මෘදු ක්‍රීම් වගේ මිශ්‍රණයක් ලැබෙනකන් හොඳින් අඹරාගන්න ඕන. 

හැබැයි ඔබේ අඹ ගෙඩියේ රස අනුව මේ සීනි ප්‍රමාණය අඩු වැඩි කරගන්න ඔබට පුළුවන්.

මේ විදිහට හදාගත්ත අඹ ක්‍රීම් කෝප්ප 04 ක් අපිට අවශ්‍ය වෙනවා. 

අඹ අඹරාගද්දි වතුර මිශ්‍ර කරන්න නම් එපා.  

ඒත් එක්කම, 

හෙවි ක්‍රීම් (heavy cream) හෝ විපින් ක්‍රීම් (whipping cream)  200 g කුත් අපිට අවශ්‍යයි. 

හොඳයි, දැන් අපි බලමු කොහොමද අඹ අයිස්ක්‍රීම් හදාගන්නෙ කියල. 

හොඳින් පිරිසිදු වියළි භාජනයකට විපින් ක්‍රීම් හෝ හෙවි ක්‍රීම් ටික දමාගෙන බීටරයක් හෝ විස්ක් එකක් ආධාරයෙන් කුඩා පෙණ සහිත ක්‍රීම් එකක් ලැබෙන තුරු හොඳින් බීට් කරගන්න ඕන. 

ඊළඟට, මේ භාජනයටම කලින් හදාගත්ත අඹ මිශ්‍රණය දාල ආයෙමත් විනාඩියක් දෙකක් විතර හොඳින් කලවම් වෙනතුරු බීට් කරගන්න අවශ්‍යයි. 

දැන්, පියන හොඳින් වැසිය හැකි භාජනකට අපි මේ සාදාගත් ක්‍රීම් මිශ්‍රණය දමා ශීතකරණයේ උඩ කොටසේ / freezer දමා පැය 05 ක් 06 ක් පමණ තබා අඹ අයිස්ක්‍රීම් රසවිඳින්න ඔන්න ඔබට පුළුවන්. 

එහෙනම්, හදල බලමු නේද මේ විදිහට අඹ අයිස්ක්‍රීම්?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles