ඉක්මණින් රසම රස මාබල් ස්විස් රෝල් එකක් හදමු 

අද අපි හදන්න කියල දෙන්න සූදානම් වෙන්නෙ රසම රස චොකලට් ක්‍රීම් එකක් මැදිවුණු ස්විස් රෝල් එකකුයි. 

රස වගේම ලස්සන නිසා කන්න කලින්ම ඔබේ ඇස පිනවන්නත් මේ ස්විස් රෝල් එකට පුළුවන්.

පවුලේ හැමෝම එකතු වෙන හවස තේ වෙලාවට වගේම අමුත්තෙක් ආවම වුනත් හදල පිළිගන්වන්න පුළුවන් ස්විස් රෝල් මේ විදිහට හදාගන්න අපිට අවශ්‍ය මොනවද කියල අපි මුලින්ම බලමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

බිත්තර 02 ක් 

සීනි 50g ක් 

ලුණු තේ හැඳි ¼ ක් 

තෙල් 25 g ක් 

වැනිලා තේ හැඳි ¼ ක් 

පිටි 50g ක් 

චොකලට් කුඩු 05 g ක් 

ඩාක් චොකලට් හෝ ඔබ කැමති චොකලට් වර්ගයකින් 100g ක් 150g ක් 

බටර් හෝ මාගරින් මේස හැන්ඳක්

තෙල් කඩදාසියක් අතුරාගත් තරමක් විශාල බේකින් තැටියක් (7’ * 11’)

පිරිසිදු වියළි තරමක් විශාල තුවායක් හෝ රෙදි කැබැල්ලක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම ඔබේ අවන් එක සෙන්ටිග්‍රේට් අංශක 180 ට රත්වීමට තබාගන්න. 

ඊළඟට, භාජනයක් ගෙන එයට බිත්තර, සීනි සහ ලුණු එකතු කර සීනි දියවනතුරු හොඳින් බීට් කරගන්න. 

ඉන්පසු එයට තෙල් සහ වැනිලාත් එකතු කර සුදු පැහැ පෙන වැනි මිශ්‍රණයක් ලැබෙන තෙක් නැවත හොඳින් බීට් කරගන්න. 

දැන් එයට පිටි ටික දමා පැතලි හැන්ඳකින් හොඳින් කලවම් කරගන්න. 

මේ මිශ්‍රණය කොටස් දෙකකට බෙදා එක් කොටසක් බේකින් තැටියට දමා තැටිය පුරා විසිරී යන ලෙස අතුරාගන්න. 

ඉතිරි කොටසට චොකලට් කුඩු එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න. 

චොකලට් දමාගත් පිටි මිශ්‍රණය සිග් සැග් හැඩයට පිටි මිශ්‍රණය උඩින් දමා ඉරටුවක් ආධාරයෙන් දිගට ඉරි ඇඳගන්න. 

දැන් අපි කලින් රත් කරගත් අවන් එකට මේ තැටිය දමා සෙන්ටිග්‍රේට් අංශක 180 වේ විනාඩි 12 ක් 15 ක් පමණ බේක් කරගන්න. 

ඒ අතරතුර චොකලට් සහ බටර් වීදුරු බඳුනකට දමා එය නටන උණුවතුර භාජනයක් මත තබා චොකලට් දියකරගෙන තැවරුමක් සාදාගන්න. 

බේක් කරගත් තැටිය ඉවතට ගෙන තැටිය උඩින් රෙදි කැබල්ල දෙකට නමා අතුරා තැටිය උඩු යටිකුරු කර සාදාගත් කේක් මිශ්‍රණය ප්‍රවේශමෙන් රෙදි කැබැල්ලට දමාගන්න. 

දැන් උඩට හැරී ඇති කොටසේ ඇති තෙල් කඩදාසිය ඉවත් කර ඒ මතට රෙදි කැබැල්ලේ ඉතිරි කොටස දිගහැර රෙදි කැබැල්ලත් සමඟම ප්‍රවේශමෙන් කේක් එක රෝල් කරගන්න. 

කේක් එක නැවත දිගහැර සාදාගත් චොකලට් තැවරුම ඒ මත අතුරා නැවත ප්‍රවේශමෙන් කේක් එක රෝල් කරගන්න. 

ඔන්න අපි රසම රස මාබල් ස්විස් රෝල් එකක් හදන් ඉවරයි. 

හදල බලමු නේද එහෙනම් මේ විදිහට ස්විස් රෝල්? 

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles